
බොහෝ කාලයකට පෙර අප්‍රිකාවේ රටක රජෙක් ජීවත් වුණා. මේ රජු බැහැ දැකීමට දිනපතා ලේඛකයන් කවියන් හා සංගීතඥයන් පැමිණියා.
මේ සියල්ලන්ටම වඩා රජු වඩාත් දැකීමට ප්‍රිය කළ වෙනත් අයෙක් සිටියා. ඔහු නමින් මොහොමඩ්. ඔහු බොහෝ උප්පරවැට්ටි දැන සිටියා. එපමණක් නොවෙයි හාස්‍ය ගෙන දෙන සින්දු කියමින් ලස්සනට නැටුවා. මොහු රජු හිනස්සද්දී රටේ ජනතාව කිව්වේ මොහොමඩ් රජු මෝඩයාට අන්දවනවා කියලයි.
සිරුරෙන් කුඩා වුණත් මොහොමඩ්ට උදේ සිට රෑ වෙනතුරු නිතරම කෑම කන්න ඕනෑ. රජු මොහොමඩ්ගේ මේ නිතර කෑම කන එකට නම් අකැමැතියි.
“ඔහොම කෑම කෑවොත් වැඩි කල් යන්න පෙර උඹ මැරිලා යාවි.” දිනක් රජු මොහොමඩ්ට පැවසුවා.
මෙලෙස පැවසූ රජු මාලිගාවේ සියලු දෙනා කැඳවා මොහොමඩ්ට පසු දින කිසිම දෙයක් ආහාරයට නොදෙන ලෙස අණ කළා. එදින මොහොමඩ් සිය රාජකීය කෑම මේසයේ වාඩි නොකරන ලෙසත් අඩුම තරමින් පාන් පොත්තක්වත් නොදෙන ලෙසත් කිව්වා.
පසු දින මොහොමඩ් රජ වාසලට පැමිණියා. ආහාර ගන්නා වේලාවේ මොහොමඩ්ට රාජකීය කෑම මේසයේ තැනක් වෙන් කර තිබුණේ නැහැ. මොහොමඩ්ට මේ ගැන රජුගෙන් අහන්නත් බයයි.
“කවුරුන් හෝ රජු කෝප ගැන්වුවහොත් ඔහු අකාලයේ මැරෙනවා” මෙසේ සිතූ මොහොමඩ් පැත්තකට වුණා.
බිත්තියක් අයිනට ගොස් සිටගත් මොහොමඩ් කොයි මොහොතේ හෝ ඔහුට කෑම ලැබෙතැයි බලා සිටියා. එසේ නමුත් මෙහෙකරුවන් ඔහුට කෑම දුන්නේ නෑ. මේ අතරේ කෑම ආපසු රැගෙන යන මෙහෙකරුවකු අතින් ඉතා කුඩා පාන් කෑල්ලක් බිම වැටෙද්දී මොහොමඩ් වහා එය අහුලා ගෙන සාක්කුවේ දා ගත්තා. රජුට නොපෙනී හොර රහසේ මෙය බුදින්නයි මොහොමඩ්ට අවශ්‍ය වුණේ. මාලිගාවේ ආහාර ගැනීම් අවසානයේ සුපුරුදු පරිදි නර්තන හා ගායනා ආරම්භ වුණා. මොහොමඩ් හෙමින් සීරුවේ සාක්කුවට අත දැම්මා. ඒත් රජු හිටියේ ඔහු දෙස ඇහැ ගහගෙනයි.
රජු මොහොමඩ් තමා ළඟට කැඳවා නොනැවතී ප්‍රශ්න අහන්න ගත්තේ මොහොමඩ්ට පාන් කෑල්ල කන්න අවස්ථාව නොදෙන්නයි.
“ඔබ ළඟ බූරුවෙක් ඉන්නවා නේද? ඌ මිලට ගත්තේ කොහෙන්ද?” රජු විමසුවා.
“ටිපොලි නගරයෙන් රජතුමනි” මොහොමඩ් පිළිතුරු දුන්නා.
“හා එහෙමද?” “රජු අහක බලනකම් ඉඳලා පාන් කෑල්ල කනවා”මෙසේ සිතූ මොහොමඩ් සාක්කුවේ වූ පාන් කැබැල්ලට අත තිබ්බා. එය දුටු රජු ගායකයන් නිහඬ කරවා මොහොමඩ් තමා ළඟට කැඳෙව්වා.
“තමුන් බූරුවා වෙනුවෙන් කීයක් ගෙව්වාද?”
“තඹ රන් කාසි දාසයක් රජතුමනි”
මෙලෙස රජු රෑ වනතුරුම ප්‍රශ්න ඇහුවා. දැන් මොහොමඩ්ට හොඳටම කුසගිනියි. රජ ගෙදර මුළුතැන්ගේත් වහලා. අන්තිමේ මොහොමඩ් සාක්කුවේ තිබූ පාන් කෑල්ල කා තම කාමරයට ගොස් නිදා ගැනීමට උත්සාහ කළා. එහෙත් ඔහුට කුසගින්න නිසා නින්ද යන්නේ නෑ. මදක් කල්පනා කරමින් සිටි ඔහු රජුගේ සයනාගාරයට දිව ගියා. ගිහින් දොරට තට්ටු කළා.
“කවුද මේ මහ රෑ මගේ දොරට තට්ටු කරන්නේ?” රජු විමසුවා.
“අනේ, රජතුමනි ඒ මම. මං ඔබතුමාට කියන්න ඕනේ මං බූරුවා ගත්තේ ට්‍රිපොලි නගරයෙන් නෙවෙයි බෙන්ගාසි නගරයෙන්” මොහොමඩ් පැවසුවා.
“හරි හරි දැන් මෙතනින් පලයන්”රජු පැවසුවා. ඒත් ඉන් ටික වෙලාවකට පසුව මොහොමඩ් යළිත් රජුගේ දොරට තට්ටු කළා.
“අනේ රජතුමනි! මං හවස ඔබ වහන්සේට කිව්වේ බොරු. මං බූරුවා ගත්තේ රන් කාසි විස්සකට”
“හරි මෝඩයෝ, මං උඹේ හිස ගසා දානවා. පලයන් යන්න මට නිදා ගන්න දීලා”
“හොඳමයි රජතුමනි, මං ඒ බව දන්නවා. ඒත් මට මැරෙන්න පෙර කරන්න ඉල්ලීමක් තියෙනවා”
“මොකද්ද ඒ?” රජු විමසුවා.
“සමාවෙන්න රජතුමනි, මට මැරෙන්න පෙර බඩ පිරෙන්න කන්න දෙන්න”මොහොමඩ් පැවසුවා.
රජුට සියල්ල තේරුම් ගියා. මේසයක් පුරවා ආහාර සකසා වහාම මොහොමඩ්ට කන්න දෙන්නැයි රජු සේවකයන්ට අණ කළා. මොහොමඩ් එළිවෙනතුරු කෑම කන අන්දම රජු සිනාසෙමින් බලා සිටියා. ඉන්පසු කිසි දිනක මොහොමඩ්ට කෑම නොලැබී ගියේ නෑ.
(අප්‍රිකානු ජනකතාවකි)
සේමාලි නැන්දා
චිත්‍ර - කුමුදු පීරිස් මාමා