
කැටවල බුද්ධසිරි හිමියන්ගේ පස්වන ගීපද රචනා සංග්‍රහය වන 'නෙත්මි' පසුගිය දිනක ජනගත විය. උන් වහන්සේ ගීපද රචනා ක්ෂේත්‍රයට පිවිස දශකයකට ආසන්න කාලයක් ගත වී ඇත. ඒ කාලය තුළ උන් වහන්සේ ගීත රචනාවලට අමතරව පර්යේෂණ කෘති, කෙටිකතා ආදි ග්‍රන්ථ කිහිපයක්ද එළිදක්වා තිබේ. මෙවර 'සත්මඬල' සංලාපය කැටවල බුද්ධසිරි හිමියන් සමඟිනි.
'නෙත්මි' ගීත නිර්මාණ කෘතිය ඔබ වහන්සේගේ නවතම ගීත නිර්මාණ කෘතියයි. මේ පොත ගැන පැහැදිලි කළොත්?
'නෙත්මි' බොහෝ කාලයක් පුරා සමාජයෙන් මා ලද බොහෝ අත්දැකීම් ගීත නිර්මාණ බවට පත් කළා. ඒ අත්දැකීම් මා හට එකම තැනකට එකතු කර තැබීමේ අවශ්‍යතාව තිබුණා. එහි ප්‍රතිඵලයක් 'නෙත්මි' ගීත රචනා එකතුව. මේ ගීත රචනා කිරීමට පෙර මා තවත් ගීත රචනා කෘති පහක් පමණ රචනා කර තිබෙනවා. මම 1996 වසරේදී ප්‍රථම කාව්‍ය කෘතිය එළිදැක්වුවා 'වැලි මළුවේ හිඳ' යනුවෙන්. ඉන් අනතුරුව 'සඳ එළිය ගලා' 2010 වසරේදී. 'කොඳ මලක සුවඳ', 'බදුලු ඔය' සහ 'කඳුමුදුන සීතලෙන්' යන ගීත රචනා කෘති 2010 වසරේදී නිර්මාණය කළා.
ඔබට ගීත නිර්මාණය කිරීමට ආභාසය ලැබුණු ආකාරය පිළිබඳ කතා කළොත්?
ගීත නිර්මාණ බිහි කිරීමට මට මුලින්ම ආභාසය ලැබුණේ අපේ පැරණි සාහිත්‍ය කෘතිවලින්යැයි කිවුවොත් නිවැරදියි. සුනිල් සාන්තයන් සීගිරි ගීයකට තනුවක් නිර්මණය කර ගයනා කර තිබෙනවා. අපේ ගීත සාහිත්‍යය එතැන් සිට ආරම්භ වුණායැයි කිවහොත් නිවැරදියි. ඒ වගේම කොට්ටේ යුගය වන විට වැඩි ම සන්දේශ කෘති බිහි වෙලා තිබෙන්නේ භික්ෂූන් අතින් කිවුවොත් නිවැරැදියි. වර්තමානය වන විට වඩා ජනප්‍රියත්වයට පත් වී තිබෙන්නේ ගීත සාහිත්‍යයි. භික්ෂුවක විදහට වර්තමානයේ මුලින්ම ගීතයක් නිර්මාණය කරන්නේ වැලිවිටියාවේ ධම්මරක්ඛිත හිමියන්. ඉන් අනතුරුව කිහිප නමක් ගීත නිර්මාණය කිරීමට පෙලඹිලා තිබෙනවා. පසුකාලීනව රඹුකන සිද්ධාර්ථ හිමි වැනි යතිවරුන් බිහි වනවා. සාහිත්‍ය පත-පොත පරිශීලනය කරන කොට නිරායාසයෙන්ම මටත් ගීත නිර්මාණ කිරීමේ උනන්දුවක් උද්යෝගයක් ඇති වුණා.
ප්‍රේමය සම්බන්ධයෙන් භික්ෂුවට යම් සීමා තිබෙනවා නේද?
ඇත්ත වශයෙන්ම යම් සීමා ප්‍රේමයට සීමා තිබුණත් ප්‍රේමය අකැප දෙයක් නොවෙයි. සරලව සඳහන් කළොත් විවිධ වයස් සීමාවල ඉන්න මිනිසුන් මලක සුන්දරත්වය දකින්නේ එක් එක් විදිහට. ඒ වගේම ප්‍රේමය සම්බන්ධයෙන්ද එක් එක් වයස් සීමා සහ එක් එක් අදහස් ඇති අය දකින්නේ එක් එක් ආකාරයටයි. එහෙත් ප්‍රේමය කියන්නේ සියලු දෙනාටම දැනෙන හැඟෙන හැඟීම් මාත්‍රයක් පමණයි. එහි අවසානය දුකක් බව අප කවුරුත් වටහාගත යුතුයි.
'නෙත්මි' ඔබේ නවතම කෘතියේ සඳහන් වන ඇතැම් ගීත රචනා අතර යෞවන ප්‍රේමය ගැන කතා කරනවා. චිංගීස් අයිත්මාතව්ගේ ගුරුගීතයෙහි එන චරිත දෙකක් පාදක කරගෙන රචනා වූ පද මාලාවක පරමාදර්ශි ගුරුවරයකු විසින් තම සිසුවිය හට සිතෙහි ඇති ප්‍රේමය පිළිබඳ ඉඟි කරනවා. මේ ගීතයට පාදක වුණේ ඔබ වහන්සේ ගුරුවරයකු ලෙස ලැබූ අත්දැකීමක් ද?
මගේ විශ්වවිද්‍යාල ජීවිතේ මෙන්ම මා ජීවත් වන අතිදුෂ්කර ගම්මානයේ ගැමියන්ගේ මෙන්ම ගුරුවරයකු ලෙස මා ලද අත්දැකීම් සමුදායක් මේ ග්‍රන්ථවලට ඇතුළත් කර තිබෙනවා. 'සයොනාරා', 'සමනලී', 'දේවතාවියේ', 'ආදරය නුඹයි', 'දිගු සසර', 'සඳ දිය දිගේ රුව මවා', 'කවිකාර හිත ළඟ', 'කුලමල දඬුවැටෙන්' වැනි ගීත ප්‍රේමය විෂය කරගෙන ලියන ලද පද රචනා කිහිපයක්. මේ සියල්ල මා ජීවත් වන පරිසරයෙන් ලද අත්දැකීම්.
වර්තමානය වන විට සුභාවිත ගීතය යටපත්ව, අරුත් සුන් ගීත බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වී තිබෙන බව පෙනෙන්න තිබෙනවා?
ඒක සත්‍යයක්. ඒ වගේ හොඳ ගීත රචකයන් කලකිරීම නිසා අද වන විට ගීත ලිවීමෙන් පවා වැළකී සිටිනවා. අද ඇසෙන ප්‍රේම ගීතය පවා ඕලාරිකයි. එය සැබවින්ම ශෝචනීය තත්ත්වයක්. අද බිහි වන ගීතයෙන් ජනතාව දැනුවත් වීමක් ලැබෙන්නේ නැහැ; අර්ථ රසයක් නැහැ. වින්දනයක් පමණයි. එයින් සමාජයට කිසිදු දෙයක් වෙන්නේ නෑ. අතිමහත් බහුතරයක් අද හරසුන් ගීතවලට යොමු වෙලා ඉන්නේ. සුභාවිත ගීතයට අද කිසිදු ඉඩක් නෑ. රූප රචනා අරමුණු කරගෙන ලියවෙන ගීත වැඩි වැඩියෙන් ප්‍රචාරය වීම නිසා අද මිනිසුන්ගේ රසඥතාව එවැනි ගීතවලට ඇදී ගොස් තිබෙනවා.
ගීතයෙන් සමාජය වෙනස් කළ හැකියි කියා ඔබ වහන්සේ සිතනවාද?
පැහැදිලිවම මා ඒ ස්ථාවරයේ ඉන්නවා. එහෙත් එය ගීත රචකයෝ වන අපට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. එය අතිදුෂ්කර කාර්යභාරයක්. මේ සඳහා මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා. හොඳ ගීත නිර්මාණ ජනතාව අතරට ගෙන යෑමට දායක වීමට මාධ්‍ය විශාල මෙහෙවරක් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.
හොඳ ගීත රචනා ඇගැයීමට ලක් වෙනවා යැයි ඔබ වහන්සේ සිතනවාද?
ඇගැයීමට ලක් වීමට නම් අර්ථාන්විත ගීතය මතු විය යුතුයි. විශේෂයෙන්ම හොඳ නිර්මාණකරුවන්ට ඉදිරියට ඒමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. මුදල් තිබෙනවා නම් ගීත නිර්මාණ එළිදැක්වීමේ රැල්ලට අද බහුතරය පෙලඹී ඉන්නවා. ඇගයීමට ලක් වීමට නම් හොඳ නිර්මාණ මතු කරගත යුතුයි.