ජනපදකලණ - නන්ද ප්‍රේමවත | සිළුමිණ

ජනපදකලණ - නන්ද ප්‍රේමවත

පෙම්වතියගේ ගෙලට මන්නා පහර හතක් ගසා මරා දමා ඒ මන්නයෙන් තම ගෙලද කපා දිවි තොර කරගත් පෙම්වතකුගේ වෛරීය ප්‍රේම පාරමිතාවන් පිළිබඳ මේ නොබොදා වූ වාර්තාව බොහෝ දෙනෙකුගේ හද සසල කරන්නට සමත් විය. දෙහදක් අතර ඇති වූ අසම්මත ප්‍රේමයකට තිත තැබූ පමණින් ම මන්නය එම ප්‍රේමයේ තීරණාත්මක සාධකය වන්නට තරම් මේ සමාජය කෲරත්වයට පත්ව තිබෙයි. උසස් සාහිත්‍යයක ගැඹුරු මිහිර නොලද අඩුම තරමින් ගොළු හදවත නවකතාව හෝ කියවා නොමැති අරුත්සුන් ටෙලි කලාවකින් සහ විකෘති ගීත කලාවකින් මනස ඔද්දල් කළ පරපුරේ නූතන පරපුරේ ඛේදයම මේ තුළ විශද කෙරෙයි.

ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබඳව අංගුත්තර නිකායේ දැක්වෙන පහත සඳහන සියල්ලන් මනාව වටහා ගත යුතුය. “මහණෙනි, යම් රූපයක් මේ අන්දමට ස්ත්‍රී රූපය පුරුෂයාගේ ද, පුරුෂයාගේ රූපය ස්ත්‍රියගේ ද සිත ඇද බැදගෙන සිටී නම්. එවැනි රූපයක් මම නොදනිමි.” බුදුහිමියන්ගේ විග්‍රහය වන්නේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ ද පුරුෂ රූපය ස්ත්‍රියගේ ද සිත ඇද බැද ගන්නා බවයි. මෙය ලෝක ඉතිහාසය පුරාම මානවීය පරිණාමය තුළ සිදු වූ සංසිද්ධියයි. වැඩිදුරටත් විස්තර දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී කියවෙයි.

මේ අනුව ප්‍රේමය වූ කලී ගලා බසිනා ගංගාවක් සේ තමා වෙත පැමිණෙන්නා වූ සියල්ලක් සිහිල් කරනු ලබයි. “නැත ලොවේ අන් රසඳුනා ආදරය සේ සුවදෙනා” යනුවෙන් එදිරිවීර සරච්චන්ද්‍රයෝ දැක්වූයේ එබැවිනි. ඔහුගේ මළගිය ඇත්තෝ නවකථාවෙහි “යනවා නං දෙවොන්දරාසං ගේ සිරුරේ සුවඳ මේ ඇඳුම්වල සුවඳ තියල යන්න” යන ප්‍රකාශනය නොරිකො සං තුළ දෘඪ ප්‍රේමය හා ගැඹුර පසක් කරලයි. “ප්‍රේමයේ ඇති අති මහත් ගම්භීරත්වය කෙතරම්දැයි වෙන්වීමේ නිමේෂය පැමිණෙන තෙක් පෙම්වත්හු නොදනිත්” යනුවෙන් ඛලීල් ජිබ්රාන් පළ කරන්නේ ද ප්‍රේමයේ ඇති විශිෂ්ට බවමයි.

සද්ධර්මරත්නාවලී කථා වස්තූන් අතර අපූර්ව ප්‍රේම මමත්තාන්තයක ලක්ෂණ නන්ද ජනපද කලණ කතාවෙන් පෙන්වයි. මේ කථාව හැදෑරිය යුත්තේ ප්‍රේමයේ මායාව වටහාගනු පිණිසය. නූතන සාහිත්‍යයක දිග හැරෙන බොළඳ ප්‍රේම කතාවක් වෙනුවට ප්‍රේමය තුළ මිනිස් සිත හැසිරෙන ආකාරය වටහා ගැනීම උදෙසා සම්භාව්‍ය සාහිත්‍යයකින් නූතනයට කරන්නේ මහත් බලපෑමකි. මෙම කථා පුවතේ මුල් කොටස දිග හ‍ැරෙන්නේ නන්ද කුමරුගේ රාජාභිෂේක, නව නිවස ගෙවදින, විවාහය සිදු වන ත්‍රිවිධ මංගල්‍යයක් උදෙසා බුදුරදුන් වඩින පුවත මුල් කරගෙනය. බුදු හිමියන් කල්පනා කළේ මේ ත්‍රිවිධ මංගල්‍යයට වඩා නිවන් මංගල්‍යය ම උතුම් බවයි. ඒ සඳහා කළ උපක්‍රමය වන්නේ පාත්‍රය නන්ද කුමරුන්ගේ අතට දීමයි. පාත්‍රය රැගෙන නන්ද කුමරුන්ට බුදුහිමියන් පසු පස නිග්‍රෝධාරාමයට ම යාමට සිදු විය.

මේ රජගෙදර සහ පන්සල අතර බුදුන්ගේ හා නන්ද කුමරුගේ ගමන අපූර්වත්වයෙන් යුතු විය.

එවේලෙහිම ජනපද කලණිය මගුලට සැ‍රසෙයි. ඒ සඳහා ඇය දිය නාමින් සිටී. එවිට මිනිසුන් ගොසින් ජනපද කලණියට කියා සිටින්නේ “බුදුහු පියරජ්ජුරුවන්ගේ මාලිගාවට වැඩි ගමනේ නන්ද කුමරුන් වහන්සේ කැඳවාගෙන වඩනා සේකැ’යි” යනුවෙනි. එබස් ඇසූ ජනපද කලණිය “හිස සෝධමින් සිටි තැනැත්තෝ සෝධා නොනිමි හිසකේ නොබැඳ වහා වහා අවුත් “ගියත් සුළුගෙයි වහා එව’යි කිවූය.” “උන් කියාලු බස නන්ද කුමරුගේ සිත දිවුල්ලාටු මුසු වයිති තරව වැදගන්නා සේ තරයේ ම වැදගත.”

මෙම කථා වස්තුව ඔස්සේ අපූර්ව ප්‍රේමයක් මවන්නේ මෙම කොටස තුළදීය. සද්ධර්මරත්නාවලී කථාකරුවා විශිෂ්ට ප්‍රබන්ධ කරුවෙකු බවට පත් වන්නේ මෙවන් අවස්ථා ගොඩ නංවන විලාසයෙනි. මගේ සිතෙහි මෙම අවස්ථාව මැවෙන්නේ මෙසේය. බුදුහිමියෝ දන් වළඳා සන්සුන්ව වඩිති. මගුලට සැරසුණු නන්ද කුමරුවෝ ද පාත්‍රය ගෙන පසු පස යති. මාර්ගයට ඉහළින් වූ නිවසක ජනපද කලණිය සැරසේ. ඇය දිය නාමින් සිටිනාතර කෙනෙක් පැමිණ මස්සිනා පන්සලට යන බව කියති. ඇය දිව විත් පාර දෙස බලයි. කථාව සත්‍යය. මස්සිනේ ගියත් වහා එන්නැයි ඇය කියයි. ඇ‍ෙග් වචන නන්ද කුමරුගේ සිතෙහි තදින් සනිටුහන් වෙයි.

මේ සිත් සටහන මොන තරම් මනෝ විද්‍යාත්මක නිරූපණයක් ද? මනමාලයකුගේ සිතෙහි ඇති වික්ෂිප්ත බව හොඳින් විශද කරලන්නට කථාකරුවා සමත් වෙයි. මෙහි වැදගත් ම නිර්මාණශීලී යෙදුම වන්නේ කතුවරයා යෙදූ උචිත උපමාවයි. සොබා දහම පිළිබඳ මෙන් ම බිතුසිතවම් කලාව කෙරෙහි ද ධර්මසේන හිමියෝ විශේෂඥයෙකි. වයිති නම් දිය සායම්ය. දිය සායමින් බිත්තියක අඳින සිතුවමක් සදාතනික සිතුවමක් බවට පත්වන්නේ ඒ සඳහා මැලියම් මිශ්‍ර කර ගැනීමෙනි. මැලියම් ලෙස භාවිත කරන්නේ දිවුල් ගසෙන් ලබා ගත් මැලියම්ය. දිවුල් ලාටු මුසු වයිති තරව වැද ගත්තා සේ යනුවෙන් කීයේ ඇඳි සිතුවමක ස්ථාවර බවයි. ජනපද කලනියගේ බස නන්ද කුමරු සිත පැහැර ගත් බවට අන් කවර නිදසුන්ද?

අනතුරුව විහාරයට යන නන්ද කුමරු බුදුන්ගේ ඉල්ලීමෙන් පැවිදි වෙයි. පැවිදි සිතක් නැති පැවිදි ගතක් පමණක් ඇති ඔහු ජනපද කලණිය ගැනම සිත පතා සිව්රු හැර යන්නට සැරසෙන බව දැනගත් බුදුහු ඔහු තව්තිසාවට රැගෙන යති. ඒ අතරතුර නවදැලි සේනත් මවාලා ඒ සේනේ දාගිය කණුවක දා වකගැසී ගිය වැඳිරි මෑල්ලක මවාලා පේන්නට ද සැලැස්වීය. නන්ද තෙරුන් මෙම මැහැලියගේ පිළිකුල් ශරීරය දෙස බලා අසුබ භාවනාවෙද යෙදෙන්නට ඇත. ජනපද කලණ අමතක වන්නට ද ඇත. ඒ සිතුවිල්ලහෙි දෙව්ලොවට පිවිසෙන බුදු හිමියන් පිරිවරා දෙවගනෝ රැස්වෙති.

බුදුහු නන්ද තෙරුන්ගෙන් ඇසුවේ මෙසේය. ‘කුමක්ද නන්දයෙනි රුවින් වූ කලි මේ දෙවගනෝ යහපත්තු ද නොහොත් දනවු කලණ බිසව යහපත්තුදැයි’ විචාල සේක. ස්වාමීනි කුමක් වදාරන නියාද? මේ දෙවගනන් දුටු කලට ඒ දනවුකලණ බිසව නම් අතුරුමග නවදැලි සේනේදි අප දුටු දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලන් වටින්දැයි කී සේක.”

මිනිස් සිතෙහි හැසිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන සුවිශේෂ නිරූපණයකි. කතාකරුවා එය පිළිවෙළින් පෙළ ගැස්වූ පිළිවෙළ ද නන්ද තෙරුන්ගේ කතා වස්තුව විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ්‍යක් බවට පත් කෙරෙයි. කහවණු වැස්සක් වැස්ස ද මිනිසා තෘප්තිමත් කළ නොහැක බව බුදුසමයේ ඉගැන‍්වෙයි. එබැවින් මිනිසා හැම විටම අතෘප්තිකරය. තෘප්ත බවේ සීමා නොමැත. සිතේ ගැලී සිටි ජනපද කලණ පිලිස්සී වක ගැසී ගිය වැඳිරි මැහැල්ලකට උපමා කොට හෙළා දකින්නට මඟ පෙන්වූ නන්ද තෙරුන්ගේ පෘථග්ජන සිත. ලොව පෘථග්ජන ස්ත්‍රී පුරුෂ කවරෙකුගේ හෝ සිතම නොවේද? දුටු දුටු ආකර්ෂණීය වස්තු පසු පස හඹා යන මිනිස් සිත වෙතින් ස්ථාවර ප්‍රේමයක් ආදරයක් දැකිය හැකිද? නූතන පවුල් සංස්ථාවේ අවාසනාවන්ත ඛේදවාචකය බොහෝවිට මේ මත පදනම්ව තිබෙයි.

මෙම සත්‍යය නූතන අරුතකින් ප්‍රතිනිර්මාණය කළ සෝමතිලක ජයමහ කියා සිටින්නේ

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූ සිරි කුමටද

හද දුටු ජනපද කලණ නිසා

යනුවෙනි. ඇස රැවටීමට වඩා හෘදයසාක්ෂිය කෙතරම් අගනේද යන්න එයින් සනාථ කෙරෙයි.

Comments