කාන්තාව ප්‍රතිදීප්ත කළ ලේඛකයා ඩබ්ල්යූ. ඒ. සිල්වා | සිළුමිණ

කාන්තාව ප්‍රතිදීප්ත කළ ලේඛකයා ඩබ්ල්යූ. ඒ. සිල්වා

සිංහල නවකතාව කලාත්මක නව මඟකට යොමු කළ ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු ලෙස ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන් හැඳින්වීම නිවැරදිය. සිංහල සිෙමා සිත්තමට ද ඔහුගේ කැලෑ හඳ, හිඟන කොල්ලා, දෛවයෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි. දේශයේ පිනෙන් පහළ වු එවන් ගත් කතුවරයෙකුගේ නවකතාවල එක් පැතිකඩක් විවරණය කොට දැක්වීම මෙහි අරමුණ ය. එනම් එතුමා සිය නවකතාවලින් කාන්තාව ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීම ය. එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුව ම අද අපට අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙළන දෘෂ්ටිකෝණය අන් කවරදාටත් වඩා ඉතා අනාදරණීය වී ඇති බැවිනි.

ආදරණීය සාහිත්‍ය කෘති වඩ වඩාත් අත්‍යවශ්‍ය වන්නේ අනාදරණීය සමාජයකට ය. කාල් මාක්ස් පවසන අයුරින් කිසියම් සමාජයක ප්‍රගතිය මැන ගත හැකි වන්නේ ඒ සමාජයේ කාන්තාවගේ තත්ත්වය දෙස බැලීමෙනි. එමෙන්ම ගාන්ධිතුමන් පවසා ඇත්තේ සොළොස් හැවිරිදි රූමත් යුවතියකට අන්ධකාරය පැතිරුණ රැයක භාරතයේ එහා කොනෙහි සිට මෙහා කොන දක්වා තනිව කිසිදු බලහත්කාර ක්‍රියාවකට ලක් නොවී යා හැකි නම් ඔහු භාරතය සමෘද්ධිතමත් සහ නිදහස් නිවහල් දේශයක් ලෙසට පිළිගන්නා බවයි. මෙම නිර්වචන ද්විත්වය නිරායාසයෙන් ම අපි සිත් යොමු කරන්නේ අද අප සමාජය ලබා ඇත්තේ කිනම් ප්‍රගතියක් ද යන්න සිහි කිරීමට ය.

පුරුෂයාට මෙන්ම කාන්තාවට ද සම මානුෂික අගයක් එක් කළ ලේඛකයකු ලෙස ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන් ප්‍රමුඛ ය. ඩබ්ල්යූ.ඒ. සිල්වා මහතා සහ මාර්ටින් වික්‍රමසිංහ මහතා ද ස්ත්‍රි චරිතයෙහි මේ ප්‍රශංසාර්හ ගුණාංග ඉදිරිපත් කරති. (සිංහල නවකතා ඉතිහාසය හා විචාරය ප; පිටුව - 12 )

සිල්වා සූරීහු හිඟන ‍කොල්ලා, පාසැල් ගුරුවරි, සුනේත්‍රා, කැලෑහඳ, හඳපාන, දෛවයෝගය, රදළ පිළිරුව වැනි නවකතාවන්හී ඔහු ස්ත්‍රි චරිතයේ ඉහත සඳහන් ප්‍රශංසාර්හ ගුණාංගයන් ප්‍රතීයමාන කළහ.

ඔහුගේ ප්‍රබල හස්තයෙන් මෙලොව එළිය දුටු “සුනේත්‍රා” (1936) කාන්තාව පිළිබඳ ඉහළ අගයක් එක් කළ නවකතාවකි. සිය පියාගේ අභාවයෙහි පටන් අනේකවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිය අරමුණු සඵල කරගත් තරුණියක ලෙසට සුනේත්‍රා නිර්මාණය වී ඇත. විමලධර්ම රජුන් පවසන්නේ, “සේනාධීරයෙනි, සුනේත්‍රා කුමරිය වෙනුවෙන් ආඩම්බර විය යුතුය. පියාණන් මරණයට පත් තැන් පටන් ඈ සිය මෙහෙකරු වන මේ දිනේස කැටුව වෙස් වළා හැසිරෙමින් ගුරු බැවුල තානායමක් පිහිටුවා කොළඹ කොටුවේ සියලු වගතුග දැන ගනිමින් අන්තිමයට රාජසිංහයන්ගේ තානාපතියා හා පිරිස රවටා මගෙන් ලබන ලද උදව් ඇතුව තානාපති වෙස්ගෙන ‍‍කොටුව‍ට ගොස් ඔබ මරණයෙන් මුදා ගත්තාය.” පිටුව: 333

“දෛවයෝගය” (1936) ඓතිහාසික කතා පුවතේ ශීලා කුමරියගෙන් රචකයා නිරතුරුවම නිරූපණය කිරීමට උත්සාහ දරන්නේ කාන්තාවක තුළ පවතින උසස් ගුණ ධර්මයන් ය. විවාහ ජීවිතයට එළැඹි පසු සිය ප්‍රථම පෙම්වතාගේ නිදොස් බව දැන ගත්තද ශීලා කුමරිය ඇයගේ සස්වාමික බව නිරතුරුව ආරක්ෂා කළා ය. ඈ ඔහු හා කතා කිරීම පවා, ඔහු දෙස බැලීම පවා ප්‍රතික්ෂේප කළා ය.

“සිතේ ආශාවට ඉඩ නොදිය යුතුයි. එය නිරාහාරයෙන් දුබල කළ යුතුය. එය නොපිනවිය යුතුය. මුදුන්පත් නොකළ යුතුය” (පිටුව:137)

අවංක ගුණ ධර්මයෙන් හා ස්වාමි භක්තියෙන් බඳන ලද ඇගේ සිත කිසිදු ලෙසකින් සසල කළ නොහැකි විය. ඈ සිය ප්‍රථම පෙම්වතාට පැවසුයේ, “මා සමඟ තවත් කතා නොකළ මැනවි. මා දෙස තවත් නොබලනු මැනවි. වහ වහා මුගලන් සෙනෙවිතුමන්ගේ මේ වාස භවනයෙන් පිටමංව ගොස් ඔබට යන කලක් ඉතින් බලා ගත මැනවි” (පිටුව : 194)

අද සමහර කෘතියක දැක්වෙන පරිද්දෙන් සිල්වා සූරින් “බිරියකගේ උසස් බව පිරිමි කිහිප දෙනෙකු කරා යන දුශ්චරිතයක් ලෙසින් මහත් අභිරුචියකින් වර්ණනා කරමින් බිඳ දැමුවේ නැත. සෑම මනුෂ්‍යයකු තුළම පවතින මානුෂික හැඟීම් ඈ තුළ ද පිහිටුවමින් කතුවරයා පතිනියකගේ පිවිතුරු බව ආරක්ෂා කළේය. ඇය පැවසුවේ, ‘‘කුමාරයනි ඔබ නැති තැන මට නම් සැපයක් නැති. එහෙත් මාගේ ස්වාමි පුරුෂයාගේ ගෞරවය මවිසින් රැකිය යුතුය. මා සස්වාමික බව මවිසින් මතක නැති නොකළ යුතුය” ( පිටුව:157 ) යනුවෙනි. විශේෂයෙන් සමාජයෙහි ස්ත්‍රී - පුරුෂයන් අතර සිදු වන අකටයුතුකම් පුන පුනා වර්ණනා කර දැක්වීමට ලේඛකයන් තම ප්‍රතිභා ශක්තිය වැය කළ යුතු නැත. දුශ්ශීලයෙහි යෙදෙන්නන් සුචරිතයෙහි පිහිටුවාලීමේ සමාජ මෙහෙවර ලේඛකයා සතු බව ඔහු අමතක නොකළ යුතුය.

මින් අදහස් වන්නේ ලේඛකයා ‍චරිත සුදු කළු ලෙස බෙදා ගනිමින් සුදු චරිතම නිරූපණය කළ යුතු බැව් නොවේ. සිල්වා සූරීහු පවා මිනිසාගේ උසස් ගුණ ධර්ම මෙන්ම දුර්වලතා ද මැදිහත් සිතින් දුටහ. විජයබා කොල්ලයෙහි එන නීලමණිය තුළින් ලේඛකයා ගැහැනු සිත මනාව විවරණය කොට දක්වයි.

“අවිචාර නිර්ණයෙන් අගතිගාමී වූ කල්හී ස්ත්‍රී චිත්තය ‍මඩෙහි හිට වූ ඉන්නක් මෙන් චංචල හෙයින් ඒ චංචල්‍යය ජන්ම දායාදය කොට ඇති ස්ත්‍රිය වරදෙහි බැඳීම වි‍නෝදයක් කොට ගන්නීය”(පිටුව : 36)

නීලමණිය නයනාන්දයන් දුටු පසු පළමුව බහ දුන් අසංගයන් කෙරෙන් සිත් වෙනස් වෙයි. නමුදු නයනානන්දයන් මළ බැව් දැනගත්ත පසු යළි ඒ සිත අසංගයන් කෙරෙහි වෙනස් නොවෙයි.

තමාට අභිරුචි වන දෑ හමු වන තුරු මිනිස් සිත වෙනස් වන අයුරුත් ඉන් පසු එම සිතම යළි නොවෙනස්ව පවතින අයුරුත් කතුවරයා එකම ගැහැනු සිතකින් නිරූපණය කර ඇත්තේ ඉතා සූක්ෂ්ම ලෙසත් ය. නීලමණිය අසංගයන්ට මෙසේ පවසයි.

‘‘නීලමණිය ඉදින් මරුවා විනා මේ ජීවිතයේදී අසංගයනට නම් විවාහ නොවන්නීය.’’ (පිටුව : 234)

එතුමන් නිරතුරුවම තම නවකතා මඟින් නිරූපණය කරන්නේ ගැහැනු පිරිමි යන මේ දෙපාර්ශ්වය තුළ ම මිනිසාට හිමි පොදු ගති ලක්ෂණ සම සමව පිහිටා ඇති බව ය. පිරිමින් සතු උසස් ගුණ ධර්ම ගැහැනුන් තුළ ද පවතින බවත් ගැහැනුන් තුළ පවතින දුබලතා පිරිමින් තුළ ද පවතින බවත් ඔහු මැදිහත් සිතින් දුටුවේ ය‍.

සිනෙමා සිතුවමක් ලෙසින් ප්‍රථම වරට සිනෙමාවට එක් වූ නවකතාව 'කැලෑ හඳ' ය. 1933 දී එය බිහිවන්නේ ද සිල්වා ශූරීන් ගේ ශ්‍රී හස්තයෙහි කැලෑ හඳෙහි එන ඇඩා ජයපාල මවක ලෙසින් දෙවැනි විවාහයකට ද අවතීර්ණ නොවී සිය පුත්‍රයා වෙනුවෙන් සිය ජීවිතය කැප කළ උතුම් කාන්තාවකි.

එමෙන් ම එහි එන ඩේසි අත්තනායක ද සිය සැමියා වෙනුවෙන් ම කැප වූ උතුම් ස්ත්‍රී රත්නයකි. එහි සුවිශේෂීතම චරිතය ලෙස මා දකිනා 'මාලිනිය' ද ඉතා උසස් ගුණ ධර්මයෙන් හෙබි බිරියක් පෙම්වතියක් මෙන් ම උතුම් කුල කතකි.

ඈ පිටිසර ගම්මානයක ජීවත්වූ දිළිඳු මෙන් ම ඉතා රූමත් යුවතියකි. නමුත් ඉහළ පෙළේ බලවතුන්ගේ සහ නූගත් ගම්මුන්ගේ බලවත් විරෝධතා මැද තම ප්‍රේමය ජය ගැනීමට අවස්ථාවක් ලබා ගන්නා යථෝක්ත ගැමි ලිය අවසානයේදී ලබන ආත්ම පරාජය ජීවිතය ද මරුවාට කැප කරයි. ඉහළ පෙළේ ධනවත් මෙන් ම කුලවත් සමාජ ස්තරයෙහි වෙසෙන ජෝන් ජයපාල හා හා විවාහ වන මාලිනියගේ විවාහ ජීවිතය තෙමසකින් අවසන් වන අතර ජෝන්ගේ විසිවන වියෙහි මනස තවත් සොඳුරු යුවතියක දෙසට ආකර්ෂණය වෙයි.‍ නමුදු සිය සැමියා වෙනුවෙන් අවංක ගුණ ධර්මයෙන්, අපමණ දුක් ගැහැට විඳිමින් ලොව ප්‍රසිද්ධ නාට්‍යාංගනාවක් වී නැවත පැමිණ සිය සැමියා ලබා ගැනීමේ අවස්ථාව ඇයට ලැබුණ ද ජෝන්ගේ දෙවැනි බිරියගේ ජීවිතයේ සතුට ඈ සිය සතුට වෙනුවෙන් විනාශ කර දැමීමට නොසිතයි. ආදරයේ නියම අරුත පසක් කරමින් ඈ තවත් ස්ත්‍රියක වෙනුවෙන් සිය ප්‍රේමය පරිත්‍යාග කරයි.

'ඔබ කැටුව යන මට සෙරක වෙනුවෙන් නැ‍ඟෙන අපවාදය දුරු කළ නොහැකියි. ඔබේ මතු දියුණුවට අපකාරයක් විනා උපකාරයක් ද කළ නොහැකියි. ඔබ නැතිව යන මට මේ ගමන හැර අන් ගමනක් ද ගිය නොහැකියි. එහෙයින් මම මේ ගමන යන්නෙමි.' (පිටුව: 335)

සිය පෙම්වතාගේ මතු දියුණුව වෙනුවෙන් ඈ මෙලෙසින් ජීවිතයෙන් සමු ගනියි. මේ අයුරින් ම සිරියාලතාහී සිරියාලතා, හිඟන කොල්ලාහි ළමා හාමි, හඳපානහි කුසුමා වැනි තරුණියෝ ද ස්ථර ගුණයෙන් හෙබි පෙම්වතියෝ්ය. හඳපානෙහි එක්තරා නාගරික තරුණියකගේ චපලකමින් වේදනා ලද සේන මුළු ගැහැනු සංහතියටම නිග්‍රහ කරමින් පහත් ලෙස සලකන විට කතුවරයා ඔහුගේ මිතුරා මාර්ගයෙන් පවසන්නේ සියලුම කාන්තාවන් චපල නොවන බවයි.

'නරකම තරුණියගෙන් පාඩම් ඉගෙනගෙන හිතන්න එපා ඔක්කොම එහෙමයි කියා.' (පිටුව 7)

එමෙන් ම ඩබ්ල්යූ.ඒ. සිල්වා නිරූපණය කර ඇති කාන්තාවන්ගේ සුවිශේෂිත්වය ඔවුන් බුද්ධිමත් ය. එතුමන් පුරාතන සහ ආධුනික කාන්තාවගේ ගුණ ස්වභාව දක්වමින් ඉස්මතු කර දැක්වීමට උත්සාහ දරා ඇත්තේ අධ්‍යාපනය කාන්තාවට අත්‍යාවශ්‍ය දායාදයක් බව ය. පුරුෂයාට මෙන් ම ස්ත්‍රියට ද අධ්‍යාපනයෙහි ඇති අවශ්‍යතාවය දක්වමින් උගත් බුද්ධිමත් කාන්තාවට ජීවිතයේ යථාර්ථය දැකීමේ හැකියාව, ජීවිතයේ අභියෝගවලට මුහුණදීමේ හැකියාව, සාර්ථක ලෙස විවාහ ජීවිතය ගෙන යෑමේ හැකියාව ඇති වන බව පෙන්වා දෙයි.

පාසල් ගුරුවරී නවකතාවෙහි එන 'විමලා' රදළ පිළිරුවෙහි එන 'නන්දාවතී', හඳපානෙහි 'කුසුමා' සුනේත්‍රා හි 'සුනේත්‍රා' එවන් චරිතයන්ට ප්‍රබල උදාහරණ වෙති.

පාසල් ගුරුවරී (1924) හි විමලා පාසල් ගුරුවරියක් ලෙස ජීවිතයට තනිව මුහුණ දෙන ආකාරය කතුවරයා දක්වයි. ඇය හා විවාහ වන රොබට් රත්නවීරගේ ජීවිතයෙන් කතුවරයා පිළිබිඹු කිරීමට උත්සාහ දරා ඇත්තේ සාර්ථක මිනිසකු බිහි වීමට දක්ෂ කාන්තාවක් ඉවහල් වන බව දැක්වීමටයි. සිල්වා සූරීන් කාන්තාව පිළිබඳව පාසල් ගුරුවරී හි සඳහන් කොට ඇත්තේ මෙසේ ය.

'පුරුෂයාට කටයුත්තෙහි බුහුටිකම හා ශුර භාවයක්, උද්යෝගයක් ලබා දෙන්නී ස්ත්‍රිය ම ය. ස්ත්‍රිය නොමැති කල පුරුෂයා ආත්මාර්ථකාමී වීමෙන් තමනට නැති වේ. නොහොත් තවුස් බිමට සුදුස්සෙක් වේ. පුරුෂ චිත්තයෙහි ත්‍යාගවත් භාවයත්, සානුකම්පාවත්, දයා පරවශ භාවයත් මවන්නේ ස්ත්‍රියම ය. අනෙකක් තබා ස්ත්‍රී ආගමානුකූල ව්‍යාපාරයන්හි පවා පුරුෂයා ව්‍යාපෘති කරන්නීය. ස්ත්‍රිය නොමැති කල මෙලොව කිසිම ආගමයක් මොහොතක් රැඳෙන්නේ නොවේ.' (පිටුව 70)

මේ අයුරින් බලන කල ඩබ්ල්යූ.ඒ. සිල්වා සූරීන් ඔහුගේ බොහෝ කෘති තුළින් කාන්තාවට ලබා දී ඇත්තේ ඉතා උසස් අගයකි. එතුමන් තම කෘති තුළින්, සිය ලේඛන ශක්තිය මෙහෙයවා උත්සහ දරා ඇත්තේ සමාජය කාන්තාව දෙස හෙළන දෘෂ්ටිය ආදරණීය කරලීමට ය. ‘‘මිනිසා උත්සාහ දැරිය යුත්තේ හඳට යාමට නොව හදවතට ගමන් කිරීමට ය’’ යනුවෙන් අදිකාරම්තුමා පැවසුවාක් මෙන් වත්මන් ලේඛකයා ද උත්සාහ දැරිය යුත්තේ කාන්තාවගේ නිරුවත මහත් අභිරුචියකින්, වර්ණනා කිරීමට නොව කාන්තාවගේ හදවතේ ඇති උතුම් ගති ලක්ෂණ නිරුවත් කොට මිනිස් හදවත් තුළ කාන්තාව පිළිබඳ ව ආදරණීය මෙන් ම ගෞරවනීීය ආකල්පයන් ඇති කොට වර්ධනය කරලීමට ය.

Comments