චිචිකෝෆ්ගේ ඊළඟ ගොදුර | සිළුමිණ

චිචිකෝෆ්ගේ ඊළඟ ගොදුර

“මේ දාසයන් ජීවතුන් අතර නැති වුවත් නීතියේ හැටියට ජීවතුන් වශයෙන් ආණ්ඩුවේ ලියකියවිලිවල ලියාපදිංචි කර තියෙනවා. ඉතින් මේ මළ මිනිසුන් මගේ නමට මාරු කරන්න පුළුවන්ද කියා මහත්මයාගෙන් දැනගන්න කැමැතියි” චිචිකෝෆ් නැවත කීවේ ය.

එහෙත් තවමත් කාරණය හරිහැටි වටහා ගත නොහැකි ව අවුල් ජාලයක වෙළී පැටලී සිටි මනිලෝෆ්ට පිළිතුරු දිය නොහැකි විය. ඔහු කළේ අමුත්තා දෙස පුදුමයෙන් බලා සිටීම පමණි.

“මහත්මයාට ලොකු පටලැවිල්ලක් වෙලා වගෙයි!” ගොළුවකු මෙන් කතා කර ගත නොහැකිව තමා දෙස බලා සිටින මිනිහා අමතා චිචිකෝෆ් කීවේ ය.

“නැහැ, මට කිසිම පටලැවිල්ලක් වෙලා නැහැ” යි කියමින් මනිලෝෆ් පිළිතුරු දුන්නේ ය. “නමුත් මහත්මයාගේ කතාව මට හරිහැටි තේරුම් ගන්න බැරි වුණා... මට සමාවෙන්න... මහත්මයා තරම්, මා උසස් අධ්‍යාපනයක් ලබා ඇති උගතෙක් නොවෙයි. මා මහත්මයා තරම් අදහස් පළ කිරීමේ දක්ෂ කථිකයෙක් නොවෙයි. මහත්මයා ගේ කතාවේ තේරුම් ගන්න අපහසු සැඟවුණු අර්ථයක් තියෙන්න පුළුවනි. කරුණා කරලා ඒ අර්ථය පහදා දෙන්න පුළුවන්ද?”

“මොකද බැරි! ලෙහෙසියෙන් ම පුළුවනි. මගේ කතාවේ කිසිම සැඟවුණු අර්ථයක් නැහැ. මං කිව්වේ මළ දාසයන් ගැනීමට කැමැති බවයි‍.”

“මළ මිනිසුන් විකිණීමට මහත්මයාගේ අකමැත්තක් නැති නම්, දෙයියන්ගේ පිහිටෙන් අපි දැන්ම ඊට අවශ්‍ය ඔප්පුව පිළියෙළ කරමු” යි චිචිකෝෆ් කීවේ ය.

“ඇයි මහත්මයා, මළ මිනිසුන්ට ඔප්පු ලියන්නෙ කොහොමද?

“නැහැ මහත්මයා, ජන ලේඛනය අනුව මේ දාසයන් තවමත් ජීවතුන් අතර ඉන්නවා‍. නීතියට එකඟව වැඩ කිරීමට ගොස් මට බොහොම හිරිහැර කරදර පැමිණ තියෙනවා. නුත් කොතරම් හිරිහැර කරදර පැමිණියත්, නීතියට එකඟව කටයුතු කිරීම මගේ සිරිතයි. ඒ නිසා මේ දාසයන් ජීවතුන් හැටියට ඔප්පු තිරප්පුවලට ඇතුළත් විය යුතුයි.” කොහොම කළත් අප නීතියට ගරු කළ යුතුයි.”

අමුත්තාගේ අවසාන වචන ස්වල්පය මනිලෝෆ්ගේ සිතට සැනසුමක් ලබා දුන්නේ ය. එහෙත් සිදුවන්නේ කුමක්දැයි තව ම ඔහුට හරි හැටි තේරුම්ගත නොහැකි විය.

“මහත්මයා‍ට මේ කාරණය ගැන තවම සැකයක් තියෙනවා වගෙයි?” චිචිකෝෆ් විමසීය.

“නැහැ, නැහැ, සැකයක් නැති බව මට ස්ථිර ව කියන්න පුළුවනි. නමුත් මං කල්පනා කළේ වෙන දෙයක් ගැනයි. සමහර විට මේ වගේ ගනුදෙනුවලින් රුසියාවේ නීති රීතිවලත්, අනාගත දියුණුවේත් කිසියම් වෙනසක් සිදුවෙන්න පුළුවන් නේද?”

මෙසේ පැවසූ මනිලෝෆ් හිස පැත්තට ඇල කොට චිචිකෝෆ් ගේ මුහුණ දෙස තියුණු බැල්මක් හෙළුවේ ය. මීට පෙර කිසිම මනුෂ්‍යයකුගේ මුහුණේ නොවූ විරූ ගැඹුරු හැඟීම් රාශියක් අමුත්තාගේ මුහුණේ දක්නට තිබිණි. එවන් හැඟීම් ඇතැම් විට උපායෙහි සමත් මැති ඇමැතිවරුන්ගේ මුහුණුවල ද දැක ගත හැකි ය.

‍රුසියාවේ නීති සංග්‍රහයට වත්, අනාගත දියුණුවට වත්, මේ ගනුදෙනුවෙන් කිසිදු හානියක් නො වන බව ඉතා සන්සුන්ව පහදා දුන් චිචිකෝෆ්, ඇත්තවශයෙන් මේ ගනුදෙනුවෙන් භාණ්ඩාගාරයට ලාභයක් වන බව කීවේ ය.

“මහත්මයාගේ අදහස හරිද?”

“ඔව්, මගේ කල්පනාවේ හැටියට මේක බොහොම හොඳ අදහසක්.”

“හොඳ දෙයකට නම් මගේ කිසිම අකමැත්තක් නැහැ” යි මනිලෝෆ් කීවේ කාරණය සම්පූර්ණයෙන් ම අවබෝධ වූවකු මෙනි.

“දැන් ඉතින් තියෙන්නේ මළ දාසයන් විකුණන මිල නියම කර ගැනීමයි.”

“මොනවා! මහත්මයාගේ අදහස මළ දාසයන්ට මුදල් ගෙවන්නද?” යි මනිලෝෆ් පුදුමයෙන් ඇසුවේ ය. “මහත්මයා හිතුවද මා මුදලට ජීවතුන් අතර නැති මිනිසුන් විකුණනවාය කියා? මෙවැනි අරුම පුදුම අදහසක් මහත්මයාගේ ඔළුවට ආවේ කොහොමද? මම මළ මිනිසුන් සේරම මහත්මයාගේ නමට ලියා දෙන්නම්. ඔප්පු ගාස්තුවත් ගෙවන්නම්.”

චිචිකෝෆ්ගේ ‘මළ දාස’ ගනුදෙනුවේ මුල්ම ප්‍රයත්නය සාර්ථක වන්නේ එයාකාරයෙනි.”

 

මනිලෝෆ් සමඟ ‘මළ - දාස’ ගනුදෙනුව සාර්ථක ව අවසන් කරන චිචිකෝෆ්, තමාගේ ඊළඟ ගොදුර සොයා ගමනාරම්භ කරන්ට වන්නේ ය. ඔහුගේ ඊළඟ ගොදුර වන්ට යන්නේ සොබාකිවිචි ය. මේ මිනිහාගේ ගෙදරට යන පාර, චිචිකෝෆ්ගේ සාපින් නමැති රියදුරාට හෙළි කොට කියන්නේ ද මනිලෝෆ් ය.

සොබාකිවිච් සොයා යන ගමන අතරවාරයේදී චිචිකෝෆ්ට වෙනත් ගනුදෙනු කාරියක හෙවත් ‘කස්ටමර්’ කෙනෙක් හමුවෙයි. ඔහු ඇගේ නිවසට සේන්දු වන්නේ, දෙගොඩ හරි ජාමයේ, මහ වැස්සේ තෙමීගෙන ය. ඇගේ වාසගම කොරෝබොව්කිනා ය. මුල් නම නතාෂා පැට්රොව්නා ය.

නිකොලායි ගොගොල්, මේ මැහැල්ල හඳුන්වා දෙන්නේ මෙවදන්වලිනි.

“මිනිත්තුවකට පමණ පසු ගෘහිණිය එහි පැමිණියා ය. මැදි වියෙහි වෙසෙන ඕ තොමෝ නිදන විට පලඳින හිස් වැස්මක් සමඟ බෙල්ල වටේ පැනල් සළුවක් ඔතා ගෙන සිටියා ය. හැම විටම නැති බැරිකම් කියමින් මුදල් පොදි බඳින වර්ගයේ ඉඩම් හිමි ධනවත් ගැහැනියක වූ ඕ තොමෝ රූබල් එකේ කාසි එක උරයක ද, කොපෙක් පනහේ කාසි තවත් උරයක ද, කොතෙක් විසිපහේ කාසි වෙනම උරයක ද දමා ලාච්චුවල ඇඳුම් අස්සේ කිසිවකුට නොපෙනෙන සේ සඟවා තබන්නී ය. ලාච්චු ඇර බලන්නකුට ඇඳුම් පැලඳුම් විනා මුදල් සහිත උර නොපෙනෙයි. ඇගේ මරණයෙන් පසු අන්තිම කැමැත්ත අනුව බ‍ූදලය මිනිපිරියට හිමිවන තෙක් ඒ ඇඳුම් හා මුදල් තැබ‍ූ තැන ම තැබූ සැටියට ම තිබෙනවා ඇත.”

චිචිකෝෆ්ට අවශ්‍ය වන්නේ, ඇගේ මාර්ගයෙන් සොබාකිවිචිගේ නිවෙසට යන මගතොට දැන ගැනීම ය. එහෙත් අවසානයේදී ඇය ද ඔහුගේ ගනුදෙනුකාරියක බවට පත් වන්නී ය.

තමාගේ ගනුදෙනුව කිමැයි පහදාදීමත්, එයට මේ මහලු ගැහැනිය නම්මවා ගැනීමත් ඉතා දුෂ්කර බැව් වටහා ගන්නා චිචිකෝෆ්, අන්තිමේදී ඇය මෙල්ල කරන්නේ, තමා “ආණ්ඩුවේ කොන්ත්‍රාත් භාරව වැඩ කරන” බැව් පවසමිනි. එකරුණු වරදවා වටහා ගන්නා ගැහැනිය, තමා සතුව ඇති මී පැණි, ඌරු තෙල්, හරක් මස්, පාන් පිටි, හණ ආදී වෙළෙඳ භාණ්ඩ අමුත්තාව විකුණන්ට ඉදිරිපත් වෙයි. එහෙත් චිචිකෝෆ්ට අවශ්‍ය වන්නේ, මළදාසයන් ම පමණි. දාසයන්ගේ මාතෘකාවට පැමිණි ඉක්බිතිව, තමා සතුව සිටි දාසයකු වන කම්මල්කාරයකු ගින්නෙන් පිලිස්සී මළ පුවත, ඇය විසින් හෙළි කරනු ලැබෙයි. මේ නම්, තමාගේ මාතෘකාවට බහින්ට හොඳම අවස්ථාවයි. ගනුදෙනුව සම්බන්ධයෙන් දෙදෙනා අතර සිදු වන සංවාදයෙන් නොහොත් වාදයෙන් බිඳක් මෙසේ ය. (63)

“මේවා දෙයියන්නේ කැමැත්ත අනුව සිද්ධ වෙන දේවල්” යයි චිචිකෝෆ් සුසුමක් හෙළමින් කීවේ ය. “අපට දෙයියන්ගේ ප්‍රඥාවට විරුද්ධ වෙන්න ශක්තියක් නැහැ... උන් සේරම මට දෙනවා ද?”

“කාවද මහත්තයෝ?”

“මළ මිනිස්සු”

“මං කොහොමද මළ මිනිස්සු මහත්තයාට දෙන්නෙ?”

“ඒක බොහොම ලේසි වැඩක්. කැමති නම් මට විකුණන්න මං උන්ට මුදල් ගෙවන්නම්.”

“මං කොහොමද මළ මිනිස්සු විකුණන්නෙ? මහත්තයාට වුවමනා කරන්නෙ උන් වළලාපු තැන්වලින් ගොඩ ගන්නද?... මහත්තයා කියන දෙය මට තේරුම් ගන්න බැහැ.”

ෙම් මළ මිනිසුන් ලියකියවිලිවල පණ තියෙන මිනිසුන් ලෙස ලියවී තිබෙන හෙයින් මේ ගනුදෙනුව කරන්නේ ලියකියවිලි මඟින් බව චිචිකෝෆ් ගෘහිණියට කෙටියෙන් පහදා දුන්නේ ය.

“මහත්තයාට මොනවට ද මළ මිනිස්සු?” යි ගෘහිණිය ඇසුවේ පුදුමයෙන් නෙත් මහත් කොට චිචිකෝෆ් දෙස බලමිනි.

“ඒත් මගේ වැ‍ඩක්.”

“නමුත් උන් සේරම මැරිලා නොවැ!”

“කවුද කියන්නෙ පණ තියෙන බව? මේ මළ මිනිසුන්ගෙන් අම්මාට කිසිම ප්‍රයෝජනයක් නැහැ.‍ උන් වෙනුවෙන් අම්මා අපරාදේ බදු ගෙවනවා නේද? මං අම්මාව මේ බදු බරින් නිදහස් කරගන්නම්. කියන දෙය තේරුණා නේද? බදු විතරක් නොවෙයි මළ මිනිසුන් වෙනුවෙන් අම්මාට රූබල් පහළොවක් දෙන්නම්. ඉතින් දැන් වත් මං කියන දෙය තේරුණා ද?”

බොහෝ සේ හෙට්ටු කිරීමෙන් අනතුරුව, රූබල් පහළොවක් ගෙවා, මළ දාසයින් පහළොවක් මිලට ගන්ට, චිචිකෝෆ් සමත් වෙයි.

ලබන සතියට

Comments