නිල්වන පිය­සක අසි­රිය කැන්දන සොඳුරු උද්භිද උද්‍යා­නය | සිළුමිණ

නිල්වන පිය­සක අසි­රිය කැන්දන සොඳුරු උද්භිද උද්‍යා­නය

උයන මුදුනත කොටස ඉතා සුන්දර රෝස වගාවකින් අලංකාරව ඇති අතර, උයන මුදුනත සිට අවට සිරි නැරැඹීම සදහා සංචාරකයින් වෙනුවෙන් නැරැඹුම් මැදිරියක් ද මේ වන විට ඉදිවෙමින් පවතියි. එමෙන්ම අක්කර 08 ක ප්‍රමාණයක තේ වගා ව්‍යාප්තියක් ද , මීවන ශාක උයනක්, තාල වර්ගයේ ශාක උයනක්, හා පහත ජල පෝෂක ප්‍රදේශය පුරා ව්‍යාප්ත ගංගා ඇළ දොළ වලට ආවේණික මත්ස්‍ය වර්ග සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ද මෙහි අරඹා තිබේ. ඉදිරියේ දී මනරම් සමනල උයනක් ද මෙහි ඉදිවීමට නියමිතයි.

 

“නිල්වන් කඳු පිස එන සිහින් මන්ද මාරුතය, මැදි කර ගත් තුරුලතා මවන්නේ මනස්කාන්ත සිතුවමකි. කුඩා කදු ගැට , බෑවුම් මෙන්ම සරුවට වැඩුණු තේ දලු යායන් , පසු කරනා විට සීතල නුවර එළියේ කඳුකරයක දැනෙනා සුවදායී හැඟුමක් සිතේ රැඳෙයි. ඉතා සරුවට වැඩුණු රබර් වගාවන් ද , තැනෙක සිහිලැල් දිය කඳුරුද, පිපී හිනැහෙන කැලෑ මල් ද කියා පාන්නේ සොබාදහමේ මනරම් අසිරියයි.“

 

අප මේ පිය නගන්නේ අතිශය ජනාකීර්ණ වූ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි අවිස්සාවේල්ල ප්‍රදේශයේ දැයි සිතා ගැනීමට පවා අපහසුය. කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරට වන්නට පිහිටි අවිස්සාවේල්ල ප්‍රදේශය කෑගල්ල දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි සුන්දර කලාපයකි. විශේෂයෙන්ම කොළඹ පසුකර අවිස්සාවේල්ල දෙසට ඇදෙන විට පරිසරය කෙමෙන් කෙමෙන් නෑකම් කියන්නේ සීතල කඳුකරයටය. ස්වාභාවික වැසි වනාන්තරයනට උරුමකම් කියනා මෙහි කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි එකම හා ප්‍රථම තෙත් කලාපීය උද්භිද උද්‍යානය පිහිටුවා තිබේ.

2008 වර්ෂයේ දී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භීද උද්‍යානය ලෙස බස්නාහිර පළාතේ , අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලද මේ උද්‍යානයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 43 ක් (අක්කර 106 ක් ) පමණ වෙයි. මේ උද්භිද උයනේ අසිරිය ජනතාවට දකින්නට හැකි වන්නේ 2015 වසරේ මාර්තු මස සිටය. සොබාදහමේ සියළු නිමැවුම් එක මිටකට ගෙන මැවූ අසිරිමත් දසුනක් දෙස දයාවෙන් දකින්නටත් එහි සුවය විදින්නටත් දැන් ඔබට අවකාශ තිබේ. ඔබ මෙම උද්‍යෘනයේ අසිරිය විදින්නට අපේක්ෂා කරන්නේ නම් කොළඹ , අවිස්සාවේල්ල මාර්ගයේ , ගමන්කර, කළුඅග්ගල ප්‍රදේශයෙන් ලබුගම, කලටුවාව පෙදෙසට ගමන් කරද්දී හමුවන තුම්මෝදර මංසන්ධියෙන් හැරී කිලෝ මීටර 3 ක් , පමණ ගිය තැන ඉලුක්ඕවිට පිහිටි මේ අසිරිමත් උද්‍යානය කරා ප්‍රවේශ වීමට පුළුවන.

පිවිසුම් දොරටුව අසළින් උද්‍යානයට ප්‍රවේශ වූ විට කොළ පැහැ තණකොළයන්ගෙන් ගහනු වූ ඉතා අපූරු විල්ලුද මිටියාවතක් මැද පිහිටි සුන්දර වැව් තාවුල්ලක අසිරිය ඔබ හමුවේ දිස් වෙයි. අලංකාර හංස බෝට්ටු සවාරි යන්නත් , ඔබේ පවුලේ හිත මිතුරන් සමඟ විනෝදාත්මක හෝරාවන් කිහිපයක් ගෙවන්නටත් මෙම ස්ථානයේ නවතින්නට ඔබට පුළුවන්. සොබා දහමට ඉතාම සමීප වන අයුරින් පිහිටි මනරම් මල් උයනක් ද ඒ ආසන්නයේ ඉදිවෙමින් පවතින අතර, ස්වභාවිකව වැඩුණු අතුපතර විහිදී ගිය වෘක්ෂලතා මැදිකර ගත්, කුඩා කුඩා මංමාවත් ඔස්සේ ගමන් කරන්නට ස්වභාව ධර්මයේ අසිරිය විදින්නට අවශ්‍ය සියළු අවස්ථා මේ උද්‍යානයේ නිමැ වී ඇත.

මෙම උද්‍යානය අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතා අනාගත පරපුර සදහා සංරක්ෂණයට සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස අරඹා ඇති අතර, පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසත්, ආර්ථීක වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූ දර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසත් සුවිශාල කාර්යභාරයක් ඉටු කරයි.

එමෙන්ම දිගුකාලීන වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාක වර්ග දැක බලා ගැනීමටත්, ඖෂධීය ශාක මෙන්ම තෙත් කලාපය තුළ උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපනය හා පුහුණුව ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙසද මහජනතාවට වඩ වඩාත් සේවා සැපයීමේ කදිම අවස්ථාවන් මේ උද්භිද උද්‍යානයෙන් හිමි වෙයි.

අපේ රටේ ඉතාමත් සංවේ දී හා වැඩි විශේෂ විවිධත්වයක් ඇති පහතරට සදාහරිත වැසි වනාන්තර අනෙකුත් වනාන්තර අභිබවා යමින් දිවයිනේ නිරිත දිග පහත රට තෙත් බිම් වල විසිර පවතී.

මේ වනාන්තර වල ජනගහනය වැඩිවීම නිසා ඇති වන දැවැන්ත සංවර්ධන ක්‍රියාකාරකම් නිසා විනාශ වී යාමේ අභියෝගයනට ලක්ව කුඩා කුඩා කොටස්වලට ඛණ්ඩනයව පවතියි. වර්තමානය වන විට රටේ සමස්ථ ඉඩම් ප්‍රමාණයෙන් 2% කට වඩා අඩුවෙන් ද , තෙත් කලාපයේ මුළු බිම් ප්‍රමාණයෙන් 9.6% ක ටද සීමා වී ඇත. එමෙන්ම මෙහි පිහිටි වෘක්ෂලතා අතරින් බොහොමයක් ශීඝ්‍රයෙන් වඳවී යන දිවයිනේ වෙනත් ප්‍රෙද්ශවල සාර්ථකව වැවීම ඉතාම අපහසු පහත රට ඒක දේශීක ශාක වීම ද සුවිශේෂී වේ.

ස්වභාවික වනාන්තරයක්, අත්හැර තිබූ ලඳු කැලෑවක් ප්‍රයෝජනයට ගනිමින් මෙවන් පාරිසරික දායාදයක් සොබාදහම සමග එකට යා කරමින් එහි සුන්දරත්වය නොනසා , අනාගතයට දායාද කිරීමට කටයුතු කිරීම ද පුදුම සහගතය. උද්‍යානයේ නිර්මාණය එහි පිවිසුම් දොරටුවේ සිට අභ්‍යන්තරයට ඇවිද යනමං තීරු දක්වාත් ඉන් ඔබ්බටත් එකසේ සුන්දරව විදීමය හැකි වන අතර, උයන නිර්මාණය කිරීමේ දී ස්වාභාවික පරිසරයේ ශාක විනාශ නොකර , එම වෘක්ෂලතා පන්තීන් ඒ අයුරින්ම රදවා ගනිමින් ස්වභාවික වනාන්තරයක ගමන් ගනිද්දී දැනෙන අපූරු බව රැක ගැනීමට උද්‍යාන නිමැවුම් කරුවාට හැකිවීම ද සුවිශේෂීය.

උයන මුදුනත කොටස ඉතා සුන්දර රෝස වගාවකින් අලංකාරව ඇති අතර, උයන මුදුනත සිට අවට සිරි නැරැඹීම සදහා සංචාරකයින් වෙනුවෙන් නැරැඹුම් මැදිරියක් ද මේ වන විට ඉදිවෙමින් පවතියි. එමෙන්ම අක්කර 08 ක ප්‍රමාණයක තේ වගා ව්‍යාප්තියක් ද , මීවන ශාක උයනක්, තාල වර්ගයේ ශාක උයනක්, හා පහත ජල පෝෂක ප්‍රදේශය පුරා ව්‍යාප්ත ගංගා ඇළ දොළ වලට ආවේණික මත්ස්‍ය වර්ග සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ද මෙහි අරඹා තිබේ. ඉදිරියේ දී මනරම් සමනල උයනක් ද මෙහි ඉදිවීමට නියමිතයි.

උයන පුරාවට විහිදුනු ගිමන් හල් ද සංචාරකයින්ගේ පහසුව පිණිස මෙහි නිර්මාණය වී තිබෙයි. මංගල උත්සව අවස්ථා, ගීත, චිත්‍රපට, ටෙලිනාට්‍ය දර්ශන සදහා මෙම උයන වෙත ඇදී එන්නේ සුවිශාල පිරිසකි. එමෙන්ම ඡායාරූපකරණය උදෙසා මෙහි පැමිණෙන පිරිස ද දිනෙන් දින වැඩිවෙමින් පවතියි.

සුහදශීලී සේවක මඩුල්ලක සහයෝගය පැමිණෙන සංචාරකයින් වෙත නිබද ලබා දෙන්නේ මනා සහයෝගයකි. විවේකය පිණිස මෙන්ම , විනෝදය පිණිසත්,පාරිසරික ගවේෂණය උදෙසාත්, සොබා දහම වෙත ආදරයෙන් සමීප වීමටත් හැකි මේ කදිම උද්‍යානය සුන්දරත්වයේ සිසිල සොයන ඔබට කදිම තෝතැන්නකි.

වැව් දිය ඉවුරක , තුරුලිය ගොමුවක හිනහෙන්නට ඔබ කැමතිද?

නිල් වන පියසක , සිහිලැල් සෙවණක නැළවෙන්නට ඔබ කැමතිද?

එසේ නම් සබද.....සොබා දහමේ අසිරිමත් නිර්මාණය සීතාවක සොදුරු උද්භිද උයනේ අසිරිය විදින්නට අපි ඔබට ඇරයුම් කරමු.

උද්‍යාන ගවේෂණයේ දී තොරතුරු උපදෙස් හා මඟපෙන්වීම ලබා දී සහයෝගය දැක්වූ සීතාවක උද්භිද උද්‍යානයේ කෘෂිකර්ම උපදේශක සම්පත් ඔත්නාපිටිය මහතාට විශේෂ ස්තුතිය පළ කරමු. 

Comments