සන්නිවේදකයන්ට ජනතාව ගැන වගකීමක් තියෙනවා | Page 3 | සිළුමිණ

සන්නිවේදකයන්ට ජනතාව ගැන වගකීමක් තියෙනවා

තුරුණු මඬල

• ඔබ නියැළී සිටින නිවේදන, හඬකැවීම් හා වෙළෙඳ දැන්වීම් යන කලා මාධ්‍ය ත්‍රිත්වය තුළ ම සිදුවන්නේ කටහඬ විසින් ශ්‍රාවක මනස ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලියයි‍. වෙළෙඳ දැන්වීම් කලාව තුළ එය ප්‍රබලව දක්නට ලැබෙන්නක්. මෙසේ වෙළෙඳ දැන්වීම් කලාව තුළ කටහඬ භාවිතය කෙබඳු විය යුතු යැයි ඔබ සිතන්නේ ද?

ගුවන් විදුලි වෙළෙඳ දැන්වීමක ප්‍රධානම අංගය වන්නේ කටහඬයි. එහෙත් එය දැන්වීමේ ස්වභාවය අනුව වෙනස් විය හැකියි. ඇතැම් වෙළෙඳ දැන්වීමක සංග‍ීතය ප්‍රබල වන අවස්ථාත් තිබෙනවා. වෙළෙඳ දැන්වීමකට කටහඬක් තෝරා ගන්නා විට නිවැරැදි උච්චාරණ තිබෙන පැහැදිලි කටහඬක් තමයි නිතරම තෝරාගන්නේ. ඒ වගේ ම කටහ‍ඬෙහි තිබෙන විවිධත්වයත් ඊට වැදගත් වෙනවා. වෙළෙඳ දැන්වීමක දී කටහඬ විවිධ පරාසයන්හි පවත්වා ගැනීමට ඇති හැකියාවත් අත්‍යවශ්‍ය වෙනවා. මක්නිසාද: දැන්වීම ඉලක්කගත වන අවස්ථා අනුව කටහඬ පවත්වාගත යුත්තේ කුමන පරාසයක ද යන්න තීරණය වෙනවා.‍ උදාහරණ විදියට විශේෂ ප්‍රවර්ධන දැන්වීමක් සඳහා අපි දුරට පැතිරෙන ඉහළ සංඛ්‍යාතයක හඬ පරාසයක් සහිත කටහඬක් භාවිත කළත්, රටේ ව්‍යසන තත්ත්වයකට ආධාර උපකාර පතා කරන විශේෂ ප්‍රවර්ධන දැන්වීමකදී එවැනි හඬ පරාසයක් භාවිතා කරන්නේ නෑ. ඒ සඳහා තැන්පත් නිවුණු හඬක් තමයි භාවිත කරන්නේ.

ගුවන් විදුලි හෝ ‍රූපවාහිනී සෑම නිවේදකයකු ම වෙළෙඳ දැන්වීම් හඬ මුසුකරන්නකු නොවන්නේ මේ කාරණා අනුවයි. රූපවාහිනිය හෝ ගුවන්විදුලිය ශ්‍රවණය කරන ඔබට ඕනෑතරම් වෙළෙඳ දැන්වීම් අසන්න ලැබුණත් ඒවායේ ඇසෙන්නේ සීමිත පිරිසකගේ හඬවල් පමණක් වන්නේත් මේ කාරණය නිසාමයි.

• ඔබ කියන මේ ලක්ෂණ ප්‍රගුණ කළ යුතු දෙයක් ද? නැත් නම් උපතින් ම හිමි විය යුතු දෙයක් ද?

මා හිතන්නේ මේ දෙක ම අවශ්‍යයි. මා සම්බන්ධයෙන් ම ගන්නවා නම් මා ක්ෂේත්‍රයට සම්බන්ධ ව‍ූ කාලයේ පටන් ම මේ කලාව ප්‍රගුණ කරනවා. ගමනක් යන විට දකින දැන්වීමක්, බැනරයක් වුණත් කියවා ඊට උචිත රිද්මය සොයනවා. එය ජනතාව අතරට ගෙන යා හැකි හොඳම හඬ පරාසය කුමක් ද කියා උච්චාරණය කර බලනවා. ඒ වගේ ම අපට කලින් පරපුරේ ශිල්පීන් දැන්වීම් කලාව තුළ සිදු කර තිබෙන වැඩ අධ්‍යයනය කරනවා. ඒ නිසා අභ්‍යාස කිරීම අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි මා දකින්නේ.‍

ඒ වගේ ම සුජීව හරිස්චන්ද්‍ර, අජිත් ඉන්ද්‍රජිත්, වජිර ජයවර්ධන වැනි වෙළෙඳ දැන්වීම් සඳහා හඬ මුසු කරන්නන් සියලු දෙනා බිහිවන්නේ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේයි. අපි කාටත් ගුවන්විදුලි වැඩසටහන්වල පූර්ව ප්‍රචාරක දැන්වීම්වල හඬ මුසු කරන්න අවස්ථාව ලැබෙනවා. එය මේ ක්ෂේත්‍රයට එන්න හොඳ අවස්ථාවක් වගේ ම පුහුණුවක් වෙනවා. වෙළෙඳ දැන්වීමකදී අපි පොර බදන්නේ තත්පර ගණනක කෙටි කාලයක් සමඟයි. දැන්වීම් කලාව තුළ මේ කාලය පිළිබඳ ඇති අත්දැකීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේ කටයුත්තට ස්වයං අධ්‍යයනය, සතත අභ්‍යාසය වගේ ම වාසනා ගුණයත් අවශ්‍ය වෙනවා.‍

• ගුවන් විදුලි නිවේදක වෘත්තිය තුළ ප්‍රවෘත්ති කියවීම හා වෙළෙඳ දැන්වීම් හඬ මුසු කිරීම අතර යම් සමාන බවක් තිබෙනවාද?

වෙළෙඳ දැන්වීම් සඳහා හඬ මුසු කරන ශිල්පීන් බොහෝ දෙනා ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදකයන් වීම නිසා කෙනෙකුට එසේ සිතෙන්න පුළුවන්. කටහ‍ඬෙහි පැහැදිලි භාවය හා උච්චාරණය කියන කාරණාවලදී යම් සමාන බවක් මේ දෙකේ ම දක්නට ලැබෙනවා. එහෙත් හඬ උස් පහත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තියකට වඩා වෙළෙඳ දැන්වීමකදී උපයෝගි කරගන්නා විවිධත්වය වඩාත් වැඩියි. ඒ වගේ ම ප්‍රවෘත්තියක් කියවා අවසන් කිරීමට නිශ්චිත කාල පරාසයක් වෙන් කර නැහැ. එහෙත් වෙළෙඳ දැන්වීමක් ඊට අදාළ කාල පරාසය තුළ කියවා අවසන් කළ යුතුයි.

 

• ශ්‍රී ලංකා ගුවන් විදුලිය පමණක් තිබෙන යුගයේ සිටි ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් ප්‍රවෘත්ති කියවන කාල සීමාව තුළ මුළු රට‍ම සිය අණසකට ‍යටත් කරගන්නවා. ඔවුන්ගේ හඬ පෞරුෂය හා උච්චාරණ විලාසය ඊට බලපෑවා. වර්තමානයේ ප්‍රවෘත්ති නිවේදනය ඉතා සරල මට්ටමකට පත් වී තිබෙන බවයි දක්නට ලැබෙන්නේ.

ප්‍රවෘත්තියකදී අදත් හඬ මූලික වීම අවශ්‍යයි. ගුවන් විදුලි මාධ්‍යයේ සියලු දේ සිදුවන්නේ හඬ ඔස්සේ වුණත් වර්තමානයේ ගුවන්විදුලි මාධ්‍යයන්ට තෝරා ගත්තේ හොඳ හඬවල් ද කියන ගැටලුව තිබෙනවා. බොහෝ නාලිකාවල ප්‍රවෘත්ති නිවේදනය කරන්නේත් වැඩසටහන් නිවේදකයන්මයි. ඒ නිසා වැඩසටහන්වල හා ප්‍රවෘත්තිවල වෙනසක් දකින්න නැහැ. ඒ වගේ ම ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධයෙන් නවකයන්ට හොඳ පුහුණුවක් ලැබෙන්නේ නෑ. ඒ වගේ ම ප්‍රවෘත්තියක් අවසානයේ හඬකින් එළියට ආවත් එහි පිටපතත් ඔබ කියන කාරණයට ලොකු බලපෑමක් කරනවා. පිටපතේ ගලා යෑම ගැටලු සහගත නම් හොඳ හඬක් තිබූ පමණින් ප්‍රවෘත්තිය පෞරුෂවත් වන්නේ නෑ. දැන් මාධ්‍ය ක්ෂේත්‍රයේ හැමදේට ම කෙටිකාලීන අවිධිමත් පුහුණුවක් පමණයි ලැබෙන්නේ. ඒ පුහුණුවෙන් එළියට එන්නේ බාගෙට හැදුණු කෙනෙක් විතරයි. ඒ නිසා ගවේෂණශීලී වැඩසටහන් නිර්මාණය වෙන්නේ නෑ. සිද්ධවෙන්නේ එක් මාධ්‍යයක් කරන වැඩක් අනුකරණය කිරීම පමණයි. එක මාධ්‍යයක් උදේට විහිළු කරන්න ගත්තම හැමෝම විහිළු කරනවා. හවසට හැමෝම බාප්පලා වෙනවා. පැය විසි හතරෙන් පැය භාගයක් ගවේෂණාත්මක වැඩසටහනකට වෙන් කරන්නේ නෑ. ඇතැම් වැඩසටහන් හොඳින් නිරීක්ෂණය කළාම දකින්න ලැබෙනවා පැය කීපයක් අරන් කරන්නේ මොනවා හරි බඩු ටිකක් විකුණන වැඩේ විතරයි. ජනතාවට දෙන දෙයක් නෑ. මේ පිළිබඳ ව මාධ්‍ය හිමිකරුවන්ට චෝදනා කිරීම පහසුයි. ඒත් සන්නිවේදකයන් හැටියට අපට ජනතාව වෙනුවෙන් වගකීමක් තිබෙන බවත් සිහි කරගත යුතුයි.

• මාධ්‍ය පුහුණු කිරීමේ වැඩසටහන් හා පාඨමාලා ලබාදීමේ ආයතන කොතෙක් තිබුණත් නිවැරදි මාධ්‍ය භාවිතාවක් සිදු නොවන්නේ ඇයි?

බොහෝ ආයතන තවදුරටත් සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවකට මේ පාඨමාලා සිදු කෙරෙනවා. පුහුණුවෙන් පස්සේ මේ අය කතා කරන්න ඕනෑ පස් යට වැළලුණු අයට නෙවෙයි. මේ පොළොවේ ජීවත් වන අයටයි. ඒ නිසා මේ යුගයේ වෙනස සමඟ පාඨමාලා වෙනස් විය යුතුයි. මා සිදු කරන්නේ අතීත සන්ධිස්ථාන වගේ ම ඒ යාවත්කාලීන වීමත් නව පරපුරට ලබාදීමයි.

Comments