ජාතික ගීයට ඉඩ දුන් ගීත | Page 5 | සිළුමිණ

ජාතික ගීයට ඉඩ දුන් ගීත

අපි නමදින්නේ තුන් පාරයි. ඒත් මේ ගීතයේ දැන් මුලින් දෙවරකුත් අවසානයේ සිව් වරකුත් නමෝ නමෝ කියනවා. එය වැරැදියි. ඒත් සමරකෝන් මහත්මයාගේ අත් අකුරින් ලියූ ගීතයේ එය නිවැරැදිව තිබෙන නිසා අපට හිතන්න පුළුවන් ගීතය කාලයත් සමඟ ව්‍යවහාරයේදී මේ දේවල් සිදු වුණා කියලා.

සිංහල ජන සංගීතය, සාහිත්‍යය, ඡන්දස්, විරිත්, හෙළ, සකු, පාලි, හෙළ හවුල වැනි බොහෝ දෑ පිළිබඳ කතා කරන විට විශාරද වින්සන්ට් සෝමපාල නාමය අමතක කළ නොහැකිය. ඔහුගේ දෙටු පුතු ලෙස පිය උරුමය රකිමින් හෙළ කලා කෙතෙහි සංගීත අස්වැන්න සරු කිරීමට 1958 සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී එදිරිවීර සරච්චන්ද්‍ර මහැදුරාණන්ගේ රත්නාවලී නාටකයේ සංගීත නිර්මාණයේ පටන් මහඟු දායකත්වයක් දැක්වූ සංගිත් නිපුන් ජයන්ත අරවින්ද මහතා අප රටේ පවතින ජාතික ගීය මෙන්ම ඒ හා තරගයට තැනූ ජාතික ගී සමඟ බැඳුණු දශක හතකට එහා අපූරු මතකයන් පෙළක් අප හා බෙදා ගන්නට වූයේ මෙසේය.

"මගේ තාත්තා, විශාරද වින්සන්ට් සෝමපාල. 'වාග් ගේයකරුවෙක්' ඒ කියන්නේ තමන්ම ගී පද ලියලා තනුවත් යොදනවා. ආනන්ද සමරකෝන් මහත්මයාත් ඒ වගේ. ඔහුගේ ගීත සියල්ලම පාහේ වාග් ගේය ගණයට අයිතියි. මේ දෙදෙනාම ඉතා සාර්ථක රසවත් ගීත ලියා තනු සැපයූ අය. සමරකෝන් මහත්මයාගේ ගීත ඔහු විසින්ම මිහිරි ලෙස ගායනා කළා. අපේ තාත්තා ලියූ 'මව් පිය ආදී සොඳුරු තමාගේ', 'ශ්‍රී රාහුල හිමිගේ නාමේ' වැනි ගීත ගැයුවේ රූපසිංහ මාස්ටර්, කෝකිලදේවී වීරතුංග වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්. මට මතකයි මැදවියන්ගොඩ විමලකිත්ති හිමි, අමරදේව මාස්ටර්, කුමරතුඟුවන් වැනි අය සමඟ තාත්තා දේශාභිමානී කරුණු කතා කරනවා. එතකොට මම අවුරුදු අටක දහයක පොඩි කොලුවෙක්. මම මේ කියන්නේ නවසිය හතළිස් හය-හත කාලේ."

දශක හතකට පෙර මතකයන් ධාරාවක් සිනමා පටයක මෙන් ඔහුගේ දෑස් ඉදිරියේ මැවෙන්නට වූවා වැන්න. ඇතැම් විටෙක දෙනෙත් පියාගෙන ඔහු ඒ රස මතක මුදා හරී.

"අපි හිටියේ පානදුර සරික්කාලිමුල්ල කියන ප්‍රදේශයේ. 1945 වගේ තමයි සංගීතය පාසල්වල විෂයයක් බවට පත් වුණේ. එතකල් සංගීතය ඉගැන්වුයේ ගුරුවිද්‍යාලවලින් පිටවුණු සිංහල ගුරුවරුන්. අපේ තාත්තා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ පළමුවැනි සංගීත ගුරුවරයා. අපි ඒ පාසල අසලම නිවෙසක් අරගෙන පිළියන්දල පදිංචියට ආවා. ඊට ටික කාලෙකට පස්සේ තමයි '48 පෙබරවාරියේ නිදහස ලැබිලා ලොකූ උද්යෝගයක් රටේ හැමතැනම ඇති වුණේ. ඒ එක්කම ජාතික ගී තරගයක් ගාන්ධර්ව සභාවෙන් පැවැත්වූවා. ඒ කාලේ එය ඉතාම වැදගත් ආයතනයක්. මේ තරගෙට තාත්තාත් ගීතයක් ඉදිරිපත් කළා. ඒ කාලේ අද වගේ ආදර ගීතවලට නෙවෙයි වැඩි තැනක් තිබුණේ. ස්වභාව සෞන්දර්යය, දෙස, බස, රැස, මව්-පිය ගුණ පිළිබඳ ලියැවෙන ගීතවලටයි. ඒ නිසා ජාතික ගීයක් ලියන්න පසුබිම එයිනුත් සැකසිලා තිබුණා."

මේ තරගයේ විනිසුරු මඬුල්ල ලෙස පත් කර තිබුණේ එස්. එල්. බී. කපුකොටුව, එල්. එල්. කේ. ගුණතුංග, ලයනල් එදිරිසිංහ, පී. බී. ඉලංගසිංහ, ඕ. එච්. ද ඒ. විජේසේකර, මුදලිඳු ඊ. ඒ. අබේසේකර වැන්නවුන් බවට ඉතිහාසය සාක්ෂි දරයි.

"හැබැයි මෙතන වැරැද්දක් වුණා. පී. බී. ඉලංගසිංහ නොතාරිස් රාළහාමිගේ ගේය පද රචනයට සංගීතඥ ලයනල් එදිරිසිංහ තනුවක් යෙදූ ගීතයක් තරගෙට ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලංකා මාතා
පාලා යස මහිමා ජය ජය
සිහිලස ජල ධාරා
ගිරිපෙළ තුරුළිය මනහාරා
ශාස්ත්‍ර කලා ශිල්පාදී විද්‍යා
වීරවිකුම් රණශූර මහා කවි
තේජ රාජ ජනිතා
හින්දු බෞද්ධ මුස්ලිම් ක්‍රිස්තියානි
සමගිව ජය ගී ගයමු රකිමු පුදමු
ශ්‍රී...

තමන්ගේ ගීයක් තිබෙන තරගෙක විනිසුරුවන් වුණාම ගීතය හොඳ නිසා දිනුවත් සමාජයේ වපර ඇහැට ලක් වෙනවා. කොහොම හරි දිනුවෙත් ඒ ගීතයම තමයි. ජාතික ගීයකදි බලන්නේ පද කෙතරම් රසවත්ද? අර්ථවත්ද? වගේ දේවල්. ඉතින් මේ ගීය මිශ්‍ර සිංහල යෙදූ ප්‍රාණවත් බසින්, අනුප්‍රාසය ඇති වන පරිදි, උද්යෝගය දනවන තනුවක් සහිතව ඉදිරිපත් කර තිබුණේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ දේශ්කර් කියන රාගය උපයෝගී කර ගෙනයි. ඒකටත් හේතුවක් තිබෙනවා. රාගධාරී සංගීතයේ විවිධ රාග ගැයීමට වඩාත් සුදුසු යාමය, ගාන සමය කියලා හඳුන්වන්නේ. දේශ්කර් රාගය සර්ව කාලීන රාගයක්. ඒ කියන්නේ දවසේ විශේෂ වෙලාවක් නෑ, ඕනෑ වෙලාවක ගයන්න පුළුවන්. "

ජයන්ත අරවින්ද මහතා කිසිදු විවේචනයක් නොකොට කරුණු පමණක් හෙළි කරන්නට විය. කෙසේ හෝ මෙරට ප්‍රථම ජාතික ගීය ලෙස ගැනෙන බවට ලේඛන ගත වන්නේත් ගායනා කෙරෙන්නේත් ඒ ගීතයයි. ඒ තරගයට විශාරද වින්සන්ට් සෝමපාල මහතා ද පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් ගීතයක් ඉදිරිපත් කර තිබිණි.

"තාත්තාගේ වාග් ගේය රචනය වුණේ;
නමදිමු ශ්‍රී ලංකා මාතා
සැපතැති නො ව හිම් - යසසැති විහිගුම්
ගුණැති පිරී මනරම්/ නමදිමු...
බොදු කිතු මොහමද හින්දු සමයැති නෙක දන රැන්දූ
සිංහල ඉංග්‍රිසි දෙමළ මගස සකු බසිනුදු මන බැන්දූ/ නමදිමු
රාවණ තාරක විජය දෙවන පෑ එළාර දුටු ගැමුණූ
නෙක් පැරකුම් බුදදාස මේ ඈ අබි-සෙව්
ජලයෙන් තෙමුණූ
සාගරයෙනි ඉන්දී- වට කළ සිරි රැන්දී
පිදුරු තලාගල සමනොළ ඈ කඳු
පිරි සැට සත් ලක් ජනතාවකිනුදු
සාගරයෙනි ඉන්දී වටකළ සිරි රැන්දී
මහවැලි කළු නිල්වලාද වළවේ
කැළණිද තව ගංගා
නිබඳ ගලා යන වැව් පොකුණින් සැදි
පලුපල මල් සපිරී- තුරුලිය නිති ගැවසී
නමදිමු ශ්‍රී ලංකා මාතා

තාත්තා මේ ගීතය තරගයට ඉදිරිපත් කරද්දි සිතාරය වාදනය කළේ අවුරුදු දහයක් තරම් පුංචි මම. මේ ගීතයෙන් තව වැදගත් දෙයක් අපට පැහැදිලීයි. ඒ '48 වගේ වෙනකොට අපේ රටේ ජනගහනය හැට හත් ලක්ෂයයි ඉඳලා තියෙන්නේ"

අරවින්ද මහතා සිනාවක් ද සමඟ පෙන්වා දුන්නේය. එහෙත් ඒ ගීයේ විශේෂත්වය සංගීතඥයකුගේ ඇසින් මෙසේ ද විග්‍රහ කරන්නට ඔහු සමත් විය.

"තාත්තාගේ ගීතයේත් සරල බව, සාමූහිකව ගායනා කළ හැකි තනුව, රාගධාරී සංගීතය අතින් ගත්තොත් බිලාවල් මේලය ඇසුරු කිරීම, බටහිර සංගීත ක්‍රමයට නම් මේජර් ස්කේලය යොදා ගැනීම වගේ ජාතික ගීයකට අවශ්‍ය ලක්ෂණ තිබුණා. ඒ වගේම නිරන්තර මේ ගීත ත්‍රිතාල් නැත්නම් ලාවණී හෝ කෙහෙර්වා තාලවලට අනුව නිර්මාණය වුණා. ඒ කියන්නේ තාත්තා හඳුන්වා දුන් ක්‍රමයට නම් මහ තනි තිත. බටහිර සංගීත ක්‍රමයට ක්වඩ්‍රප්ල් ටයිම්... මාත්‍රා හතරෙන් හතරට එන රිද්මය භාවිත වුණා. වම දකුණ වම කියලා තූර්ය වාදන කණ්ඩායම් සමඟ ආචාර පෙළපාළි යන්නත් ලේසි වෙන්නයි එහෙම නිර්මාණය කරන්නේ. අනික ආධුනිකයකුට වුණත් එය පහසුවෙන් ගයන්න පුළුවන් වෙන්න ඕනා."

මේ ලක්ෂණ පිළිබඳ අවබෝධයෙන් ලියූ ගීත මෙන්ම එසේ නොවූ ගීතද තරගයට ඉදිරිපත් වී තිබිණි. එයින් එක් ගීයක ස්වර ප්‍රස්තාරද සමඟින් සුරැකිව ජයන්ත අරවින්ද මහතා ළඟ වසර හැත්තෑවක් පුරා සුරැකිව තිබීම එක්තරා අයුරකින් අපේ පුදුමයටද හේතු විය.

"නූර්ති පිළිබඳ අපේ රටේ නම ගිය නීතිඥ ජෝන් ද සිල්වා මහත්මයාගේ ඥාතියකු වන මාකලන්දගේ සෑම් ද සිල්වාගේ නෑදෑ කමක් ඇති රාණි මාකලන්ද ඉදිරිපත් කළ ගීතය මෙන්න මෙහෙමයි;

ශ්‍රී ලංකා මගෙ ජය භූමී
අපේ ලාංකිකයන්ගේ ලංකා
ලංකාව මගේ ලංකාව අපේ
ලාංකිකයින්ගේ ලංකා
රමණී සරුසාර උදාර සිරි මුනි
කුල භේද හැරා ජාති භේද හැරා
අපි රාජ සසුන් දිලෙතා
දස දේස ලොවේ දස දේස ලොවේ
අපි සමගිය ඇති කරමු
නිදහස අපි රැක ගනිමු
ජය වේ ජය වේ ලක් මාතාගේ
දරු කැළට ජයවේ
ජය වේ ලාංකිකයින්ටා
සිරි ජය සිරි සැප වේ

හැබැයි මේ ගීතයේ පද මාලාවේ නම් අර්ථය කෙසේ වෙතත් රසය ගැන ආපසු හිතන්න වෙනවා වගේ මට දැනෙනවා. අනෙක ඒ අය රාගය ලෙස නම් කර තිබුණේ 'මාකලන්දාවරී' කියන නමකින්. එහෙම රාගයක් නෑ. එය ඔවුන්ගේ වාසගම සඳහන් නමක් මිස." සංගීත් නිපුන් ජයන්ත අරවින්ද මහතා කල්පනා කරන්නට විය. යළිත් කතාව ඇරඹීය.

"මේ සිදු වීම්වලට අවුරුදු දහයකට විතර කලින් 1938-39 කාලේ ආනන්ද සමරකෝන් මහත්මයා ශාන්තිනිකේතනයෙන් සංගීතය හදාරලා ලංකාවට ඇවිත් ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත් වුණා. එතකොට නිදහසක් ගැන හිතලාවත් නැතුව ඇති. හැබැයි මහින්ද විද්‍යාලයත් බොහොම ජාතිකාභිමානය පිළිබඳ කටයුතු කළ පාසලක්. ලේ හෙල්ලුවේ නැතුවට, ත්‍රස්තවාදීන් වගේ යුද්ද නොකළාට අපේ සාහිත්‍යකරුවන්, ස්වාමින්වහන්සේලා, කුමාරතුංග මහත්තයාලා, මාර්ටින් වික්‍රමසිංහලා, පියදාස සිරිසේනලා, අනගාරික ධර්මපාලලා, කන්නන්ගරලා, රැයිපියෙල් තෙන්නකෝන් අපට තිබුණු සෞභාග්‍යමත් ඉතිහාසය පිළිබඳ මතක් කර දුන්නා. කලිසම් ඇන්ද අය ආර්ය සිංහල ඇඳුම අඳින්න ගත්තා. 'God save the King' නැත්නම්

පුණ්‍යවන්ත ජෝජ් නරපතී
නිදුකිනි වෙසේවා සිරින් ගතී

වගේ 'ජාතික ගී' කියලා රජතුමාට ආවඩලා උත්සව පටන්ගන්නවා වෙනුවට පන්සිල් අරගෙන පටන්ගන්න ගත්තා. ඉංග්‍රීසියට තිබුණු ඕන නැති ගැති කම නැති කරන්න මේ දේවල් හේතු වුණා. ඒ අරමුණින් මහින්දේට ආ අර 'වාග්ගේය ගුරුවරයා' දේශාභිමානී ගීතයක් නිර්මාණය කළා, 'නමෝ නමෝ මාතා' කියලා."

මෙය අපේ ජාතික ගීය බවට පත් වන්නේ 1951 වසරේ සිට බව වාර්තාවලින් පෙනී යයි. නව යුගය පුවත් පතේ වරක් සඳහන් වී තිබූ ආකාරයට නමෝ නමෝ මාතා ගීය මුල් වරට ගායනා කෙරුණේ එවක ගාලු පුරපති ඩබ්ලිව්. දහනායක මහතා ඉදිරිපිටදීය. ඉලේන් ද සිල්වා ගායිකාව සමඟ ගැයු එය පසුව ගුවන් විදුලි සරල ගී වැඩසටහනේ එච් එම් වී තැටියකට ගැයුවේ සමරකෝන් සංගීතඥයාගේ බොහෝ යුග ගී සඳහා දායක වුණු ස්වර්ණා ද සිල්වා ගායිකාව සමඟය. ජාතික ගී තරගය පැවැත්වෙන අවස්ථාව වන විට සමරකෝන් මහතා යළි ඉන්දියාවට ගොස් තිබිණි. ඒ වන විට උපාධි අපේක්ෂිකාවක් ව සිටි ස්වර්ණා ද සිල්වා තවත් මිතුරියන් කීපදෙනකු සමඟ මේ ගීය තරගයේ දී ගායනා කළාය. ප්‍රවීණ නර්තනවේදී චිත්‍රසේනයන්ගේ සොහොයුරු සරත්සේන, ටෙනිසන් රොද්‍රිගූ, පැට්‍රික් රොද්‍රිගූ වැන්නන්ගේ සහායද ඇතිව ගැයුණු මේ ගීය වඩාත්ම සුදුසු ජාතික ගීය ලෙස තෝරා ගැන්ම විනිසුරු මඬුල්ලේ තීරණය වි්ය. 1951 දී මියුසියස් විද්‍යාල ශිෂ්‍යාවන් කිහිපදෙනකු සමඟ නිදහස් දින උළෙලේ ගැයීමත් සමඟ අපේ ජාතික ගීය වූයේ නමෝ නමෝ මාතා ගීතයයි.

"මට මතකයි '51 අපේ තාත්තාට විදුලි පණිවිඩයක් ආවා පාර්ලිමේන්තුවට ඇවිත් ජේ. ආර්. ජයවර්ධන මුදල් ඇමතිතුමා හමු වන්න කියලා. අපේ තාත්තා මේ ලියුම අතේ තියාගෙන සෑහෙන කැලඹිලා හිටිය හැටි මට මතකයි. හේතුවක් දන්නෙත් නෑනේ. ඒත් යා යුතු නිසා ගියා. ජයවර්ධන මහත්තයා තාත්තාව ගෙන්වලා තියෙන්නේ 'නමෝ නමෝ මාතා' ජාතික ගීය 'ශ්‍රී ලංකා මාතා' කියලා පටන් ගත්තොත් හොඳද කියලා අහන්න. මොකද නමෝ නමෝ කියලා පටන් ගත්තාම 'න' යන්න අපායාක්ෂරයක් නිසාත් ගණය අනිෂ්ඨ බව කියන නිසාත් එයින් රටට රෝ දුක් බිය ඇති වනවා කියලා එය සුබ අක්ෂරයකින් සහ සුබ ගණයකින් පටන් ගැනීම අවශ්‍ය වුණා. තාත්තාට තිබූ දැනුම ලබා ගන්නයි ඔහුට ආරාධනා කර තිබුණේ.

ඩී. ඇස්. සේනානායක මහත්තයා අශ්වයා පිටින් වැටිලා මිය ගියේත්, මැති ඇමතිවරුන්ට වැඩ කරගන්න බැරි වන්නේත් ජාතික ගීයේ ගණ හොඳ නැති නිසා කියලයි කතාව ගියේ. පස්සේ 'ශ්‍රී ලංකා මාතා' හැටියට මේ ගීතය වෙනස් වුණා. ඊට පස්සෙත් බණ්ඩාරනායක මහත්මයාට වෙඩි වැදුණා. ගේය පද ලියූ සමරකෝන් මහත්මයාත් බොහොම දුක්ඛිත අවසානයකට උරුමකම් කීවා. සමහරු කීවේ ගීය වෙනස් කළ දුකට කියලා. තවත් සමහරු වෙන වෙන හේතුත් කීවා. මගේ විශ්වාසය නම් ගීයකින් ඒ තරම් දෙයක් වෙන්න බෑ.

කොහොම වුණත් ජාතික ගී තරගෙට ආ සෑම ගීයටම වගේ 'ශ්‍රී ලංකා මාතා' කියන වචන ටික නම් තිබුණා. මේ අපේ ජාතික ගීයේ හොඳ සහ නරක කීපයක් තිබෙනවා." මෙසේ කියමින් සරපුවරුව මත ඇඟිලි හසුරවමින් සංගීත් නිපුන් ජයන්ත අරවින්ද මහතා එය විග්‍රහ කරන්නට විය.

"අපි නමදින්නේ තුන් පාරයි. ඒත් මේ ගීතයේ දැන් මුලින් දෙවරකුත් අවසානයේ සිව් වරකුත් නමෝ නමෝ කියනවා. එය වැරැදියි. ඒත් සමරකෝන් මහත්මයාගේ අත් අකුරින් ලියූ ගීතයේ එය නිවැරැදිව තිබෙන නිසා අපට හිතන්න පුළුවන් ගීතය කාලයත් සමඟ ව්‍යවහාරයේදී මේ දේවල් සිදු වුණා කියලා. ඇත්තෙන්ම නමෝ කියන්නේ පාලි වචනයක්.

ඒ නිසා නමදිමි, නමාමි වගේ සිංහල වචනයක් ආවා නම් හොඳයි කියා තාත්තාගෙත් මතයක් තිබුණා. තනුව ප්‍රස්තාර ගත කරන විටත් මාත්‍රා හතරක අතිරික්තයක් තිබෙනවා. ඒත් එය ගීය ගැයීමේ පහසුවට පසුව ඇතිවූවක්ද කීයාත් හිතෙනවා. මොකද අනෙක් සියලු පාද මාත්‍රා 16න් ඉවරවෙනවානේ...

මීට අතරව මහාචාර්ය සුනිල් ආරියරත්න ජාතික ගීය පිළිබඳ ලියූ පොතක බන්කිම් චන්ද්‍ර චැටර්ජි ලියූ 'වන්දේ මාතරම්' ගීතයේ තුමී විද්‍යා කියන්නෙ ඔබ වේ අප විද්‍යා, තුමී සත්‍යා, තුමී ශක්තී, ඔබමය අප සත්‍යා, ඔබ වේ අප ශක්තී යන පදවල සාම්‍යයක් තිබෙන බව කියා තිබෙනවා. තනුව සැලකූ විට රබීන්ද්‍රනාත් තාගෝර්තුමා තැනූ ඉන්දීය ජාතික ගීය 'ජන ගන මන අධි නායක ජයහේ' ගීතයේ තනුවට ළඟින් යන ගතියකුත්, 'පිළිගනු මැන අප භක්තී පූජා' කොටස 'ඕලු නෙළාලා මාල ගොතාලා' තනුවට සමාන ගතියක් පෙන්නුම් කරනවා. මේවා කියන්නේ වැරැදි හැටියට නොවේ. කලාකරුවන් දෙදෙනකුට එකම ආකාරයේ නාද රටා එක විට මැවෙන්න පුළුවන්. අදහස් මතු වන්නත් පුළුවන්. එය සාමාන්‍ය දෙයක්."

මේසේ කියූ සංගීත් නිපුන් ජයන්ත අරවින්දයන් අපේ ජාතික ගීයේ වටිනාකම පිළිබඳවද පැවසුවේ තවත් සැසඳුමක් සමඟය.

"ආනන්ද සමරකෝන් වාග් ගේයකරුවකු හැටියට ලියූ ඒ පාසල් ගීයේ ලස්සන වචන සමූහය හා තනුව මම බොහෝ අගය කරනවා. එහි ඇති ප්‍රාණවත්, උද්යෝගී ස්වභාවය ජාතික ගීයකට ගැළපෙනවා. වරින් වර ජාතික ගීය වෙනස් කළ යුතුයි කියා ' මන රංජන දර්ශනීය ලංකා' වැනි ගීත යෝජනා වුණත් ඒවා සාමූහිකව ගැයීම අපහසුයි. ඉන්දියාවේත් ජාතික ගීය පිළිබඳ වරින් වර ගැටලු ඇති වෙලා තමයි එක ගීයක් තෝරා ගත්තේ. සැම දෙනාටම තේරුම් ගත හැකි සැම දෙනාටම ගායනා කළ හැකි ගීයක් තමයි ජාතික ගීය වශයෙන් තෝරා ගත යුත්තේ. ඒ අතින් අපේ ජාතික ගීය සාර්ථකයි."

Comments