
බිලියන 1.6 ක් පමණ වු ලෝක බෞද්ධ ජනගහනයකින් යුත් බෞද්ධ රටවල් දහ හතරකින් නියෝජිතයින් මෙන්ම එම රටවල රාජ්‍ය නියෝජිතයින් ද සහභාගි වන බෞද්ධ සම්මේලනයක් කුරුණෑගල වයඹ රාජධානියේ මෙම වෙසක් දිනවල පැවැත්වෙයි. එය පැවැත්වෙන්නේ පඬුවස්නුවර බද පන්සල් පහක් මුල් කරගෙනය. කුවේණිය සම්බන්ධ බොහෝ ස්ථාන මෙන්ම ජනප්‍රවාද ද වයඹ මුල් කොට ඇති මේ ප්‍රදේශයේ පෞරාණික බව පෙන්වයි.
පුරාණයේදී එම ස්ථාන පංචමුල නොහොත් පංචායනය යනුවෙන් හඳුන්වා ඇත. අද එම සිද්ධස්ථාන සමහරක් නුතන පුත්තලම පාලන දිස්ත්‍රික්කයට ද අයත්ව ඇත. පඬුවස් නුවර යන නම ලැබී ඇත්තේ පඬාවැව් පෙදෙස ජනාවාස කළ මහා පැරකුම්බා රජු ගොඩ නැගූ ජනාවාස නිසාය. මහා පැරකුම්බාවන්ගේ පළමු වැව වුයේ මේ පඬාවාපි ය. අද වැව නටබුන්ව සොරොව්ව පමණක් ඉතිරි වී ඇත. තව කලකින් එයද විනාශ වී යන බවට රජය මෙන්ම අදාළ අංශ ද දැනුවත් කර ඇතත් ඒ පිළිබඳව මේ දක්වා කිසිම කාර්යයක් සිදු වී නැත.
මහා පැරකුම්බා කුමාරයා පොලොන්නරුවට ගියේ මෙහි සිටය. ඊට පෙර ඔහු දැදිගම සිට ඇත. මේ සා දිර්ඝ ඉතිහාසයක් මේ ප්‍රදේශය සතු වේ. පොලොන්නරුවෙන් යාපහුවටත් එතැනින් දඹදෙණියටත් පසුව කුරුණෑගලටත් දළදා වහන්සේ ආරක්ෂාව පිණිස ගෙන ගොස් දළදා මාළිගාවල තබන ලදී. බොහෝ කාලයක් දළදාව ආරක්ෂා කර ඇත්තේ මෙම රාජධානිවලය. අද බෞද්ධයින්ගේ මන්ත්‍රයක් බඳු ‘දළදා හිමි සරණයි සිරිමා බෝ හිමි සරණයි’ යන්න කීමට හැකිව ඇත්තේ ද මෙම වයඹ රාජධානියේ පිරිසක් ශ්‍රී මහා බෝධිය හා දැනට සෝමාවතී චෛත්‍යයෙහි නිදන් කොට ඇති දක්ෂිණ දළදාව ලංකාවට ගෙන ආ බැවිනි.
ප්‍රධාන උත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දී මැයි 30 දින පැවැත්වේ. බිංගිරිය දේවගිරි රජමහා විහාරය ප්‍රධාන කොට ප්‍රදේශයේ සියලුම සිද්ධස්ථාන සහභාගි කරගෙන පඬුවස් නුවර බද සිද්ධස්ථානවලය. අපේ ආදිතම රැජිණිය වු කුවේණිය හා සම්බන්ධ බොහෝ ස්ථාන වයඹ මුල්කොටගෙන ඇත. ලංකාවේ අවසාන රහතන් වහන්සේ වු මලියදේව මහරහතන් වහන්සේ ද අයත් වන්නේ මෙම ප්‍රදේශයට ය. වයඹ කීර්තිමත් ඉතිහාසය කෝට්ටේ යුගය තෙක් පැවතියේය. කෝට්ටේ යුගයේ අගමැති වු ජයපාල මැතිඳුද හලාවතිනි. සකලකලා වල්ලභ හා තනිවල්ලභ දෙසොහොයුරු කුමරුවන්ද ප්‍රදේශයේ වෙසෙමින් එහි දියුණුවට වාරි කර්මාන්ත ආරම්භ කළාය.
ඒ පිළිබඳ විස්තර මෙම ලිපියෙන්ම පසුවට දන්වා ඇත. බෞද්ධ ඉතිහාස / සාහිත්‍යයෙහි සඳහන් පණ පිටින්ම තව්තිසාවට ගොස් ආපසු පැමිණි මලියදේව මහරහතන් වහන්සේ මෙන්ම ‘සුලුගුලු’ උපාසක ද (හුලුගල්ල) අයත් මෙම ප්‍රදේශයට ය. මලියදේව රහතන් වහන්සේ දෙව් ලොවින් රැගෙන ආ දිවසළු නිදන් කොට ගොඩ නැගූ චෛත්‍යයක්ද මෙම ප්‍රදේශයේ ඇත. චෛත්‍යය නිධන් හොරුන් විසින් කඩා දමා ඇති බවට මා වෙත වාර්තා වී කාලයක් ගතව ඇත.
මෙවැනි ඓතිහාසික හා පුජනීය වැදගත්කමක් ඇති ප්‍රදේශයක ලෝක බෞද්ධ සම්මේලනයක් / හමුවක් පැවැත්වීම අතිශයින්ම වැදගත් ය. මෙම අනගි අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන රටට ලබා දීම බෞද්ධ ශාසන, පුරාවිද්‍යා, සංස්කෘතික අංශවලට භාර වන වගකීමකි. සම්මේනලයෙන් පසුව ඒ පිළිබඳ සිතා බැලීම හා නිසි පියවර ගැනීමට ක්‍රියා කළහොත් යටගිය දවස ප්‍රදේශයේ පැවති කීර්තිය යළි උදාකර දිය හැක.
මෙම ප්‍රදේශය ධර්මාශෝක අධිරාජයාගේ මස්සිනාවරුන් වු බෝධිගුප්ත, ධර්මගුප්ත හා ජුතින්දර කුමරුන් විසින් ද දියුණු කර ඇත. ශ්‍රී මහා බෝධිය රැගෙන ඒමට හා ආරක්ෂා කර ජාතියට දායාද කිරීමේ පුණ්‍ය කර්මයට ද මෙහි පිරිස් දායක වී ඇත. සුමිත්ත කුමාරයාගෙන් පැවත එන පිරිසක් සිටියේ ද කිඹුල්වානා ඔයෙන් එගොඩ ගමකය. අද එය හිරියාල හත්පත්තුවට අයත් ය. සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි භද්ද මහා හිමියන්ගේ ශිෂ්‍ය ජයසේන හිමි භාරතයේ තිබු දකුණු දළදාව ලාංකාවට ගෙන ආ මහින්ද නම් හිමි ද ‘කිලින් කස්දා’ ලේනව පරපුරෙන් වු බව චුල වංශය හා බෝධි වංශය පවසන්නේ මෙසේය.
‘සෝම විහාරයේ රමණීය - සමුද්දාපුරේ නිරින්දෝ
ගිරි රාජවංශෝ මහින්ද ථෙරො - අරිට්ට වංශේ බුද්ධධාතු දක්ඛිණං
මේ සියලු දෙනාම පුරාණ වයඹ රාජධානියේ අය ය. ගෞතම බුද්ධ ශාසනය වර්ෂ 5000ක් රැකෙන බව ශාසන ඉතිහාසයෙහි කියයි. අප ඉන් අවුරුදු 2561 ක් ගෙවා ඇති අතර, තව අවුරුදු දෙදහස් හාරසිය තිස් නවයක් ශ්‍රී දළදා වහන්සේ ලෝක බෞද්ධ ජනතාවගේ පූජාවට ලක් වෙයි. මේ ගෞරවය ද වැඩිපුර අයත් වන්නේ ද වයඹ ජනතාවට ය.
අප අපට පියවි ඇසෙන් වම් දළදාව දැකිය හැකි ය. දකුණු දළදාව ද අප පොළොවේම තිබුණත් එය සෝමාවතී චෛත්‍යයෙහි නිධන් කොට ඇති අතර පියවි ඇසට නොපෙනෙෙයි, තව දන්ත ධාතුවක් දෙව්ලොව සිළුමිණ සෑයෙහි තිබුණත් එහි යා හැකි වුයේ මලියදේව මහරහතන් වහන්සේට හා උන්වහන්සේගේ ප්‍රධාන උපාසක වු සුලුගුලු උපාසක මහතාට පමණය.