
සමාජ සංස්ථාව මේ වන විට නොයෙක් හැල හැප්පිලි, බිඳවැටීම්වලට ගොදුරුව පිරිහීමකට ඇදෙමින් පවතියි. රජරට නුවරකලාවියේ අහුමුලු අවුස්සා බලන කොට අතීත අපේ ගම මෙබඳු උවදුරුවලින් වැළකුණ වටිනා සංකල්පවලින් පිරිපැවතුණ බව පෙනේ. ඒ අතරින් පළමු තැන ලැබුණේ නෑදෑවරිගක්කාරකමටයි. පුද්ගලයා, පවුල, ගම, එකතු කළ ඒ උතුම් බැම්ම වූයේ ඥාතිකත්ව ප්‍රතිපත්තියයි. මේ බැඳීම බන්ධුත්වය ලෙසින්ද කියවුණි. අද නෑකමට යට වී ඕනෑකම, මුදල, බලය, ඒ තැන ලබාගෙන ඇත. තවමත් අපේ කොටුගම්වල යම් පමණකට නෑදෑවරිගක්කාරකම්වල ගුණ සුවඳ රැකගෙන සිටීමද සතුටකි.
නෑදෑකමේ මුල මව, පියා හා දරුවායි. මේ පවුල තවත් පවුල්වලට සබඳ වූයේ ඥාතිත්වය මතින්ය. ලේ කැටි බිලිඳාට දසමසක් කුස තුළම රැක බිහි කරන දරුවාට පළමු නෑදෑයා මවයි. මව දරුවාට පියා හඳුන්වයි; සිටී නම් සොහොයුරු සොහොයුරියන්ද පෙන්වා දෙයි. අනතුරුව හතර වරිගක්කාරකම එයින් මතු වෙයි. ඒ දරුවාගේ මව සහ පියාගේ දෙමාපිය හතර වරිගයට නෑකම් ඇති වීමෙන්ය.
දරුවාට දෙමවුපියන්ගේ මවු පිය හතර දෙනාම එක සේ ඥාතීහු වූහ. ඒ අත්තප්පලා හා අත්තම්මලා වශයෙනි. මවුපියන්ට ඒ ඇත්තෝ නැන්දම්මා හා මාමායැයි ඇමතුම තබා නෑකම කීය. මේ හතර වරිගයටම අයත් වන අනෙකුත් සියලු නෑකම් ලද්දන් එකට බැඳුණේ සම්මුතියෙනි. සම්මුතිය ලබාගත්තේ සිය වරිගයාගේ එකතුවෙන්මය. ඒ කාණ්ඩායම එක් සභාවකට එකතු වූහ. එය වරිගසභාව ලෙස නම් කරගත්හ. නෑදෑකම් ඇති කරගැනීමේ පමණක් නොව සියලු සමාජ පැවතුම්වල තීන්දු තීරණ ක්‍රියාත්මක වූයේ වරිග සභාව මඟිනි. එය ප්‍රාථමික අධිකරණ මණ්ඩලයකි. ඇතැම්විට වරිග තහංචි කඩා බිඳ විවාහ, අවාහ, ඇති කරගත් අවස්ථා තිබේ. සහලේ එකබඩවැල කඩාගෙන ආඥති විවාහයන් සදාකල් කුල ගෙවද්දා නොගත්තේය. ඒ අය සමාජය ඉදිරියේද උපහාස අපහාස වදනින් (මෝගෙ මිනිහා, නැන්දගෙ මිනිහා, නංගිගේ මිනිහා) වැනි අවමන් ලැබූහ.
මවගේ සහෝදර සහෝදරියන් මාමලා නැන්දලා වූ සේම, පියාගේ සහෝදර සහෝදරියන් බාප්පලා ලොකු අප්පලා හා නැන්දලාම වූහ. මාපිය දෙපරාදූවට නෑකම් බිඳී ගියේය. නිවැරැදි කළ නොහැකි සබඳතා ඇති වීමෙන් නෑකම් බිඳවැටුණි.
කෙල්ලී හොඳයි වැඩපළවල සරි වෙච්චී
හොල්ලා යනෙන ගමනට වහ වැටිච්චී
බල්ලා මුර කළත් උගෙ ඇහැ වැහිච්චී
කොල්ලා කළ හදිය නෑකම් බිඳිච්චී
හෙළයන්ගේ නෑකම් රෑන් ගියේ මවුපිය දෙපරාදූවටය. එය කාටත් පොදුය. එහෙත් නුවරකලාවියේ අපේ ඇත්තන් ඊට භාවිත කළ ආමන්ත්‍රණ නාම ළෙන්ගතුය; අරුත්බරය. පියා: අපේ තාත්තා, අපේ අප්පච්චීය. මව: අපේ අම්මාය. පියාගේ පියා: අපේ අත්තපාය; මව: අපේ අත්තම්මාය. ඇතැම් කොටුගමක කිරිඅත්තා හා කිරිඅම්මාද කියනු ලැබිණ. පිටස්තර පළාත් සබඳතා ඇති අය අතර ඔවුන්ට මහප්පා, මහම්මා, සීයා, ආච්චි, වදන්ද කියන අවස්ථා ඇත. අපේ ඇත්තෝ දූවලා හැඳින්වීමේදී ඇයට මයෙ පුතායැයි කියති. පියාගේ වැඩිමහලු සහෝදරයෝ ලොකු අප්පච්චීලාය, ලොකු තාත්තලා ය; බාලයෝ බාප්පලාය; කුඩප්පච්චී හීංබාප්පලා ය. එසේම සහෝදරියෝ අපේ ලොකු නැන්දලා, නැන්දම්මලා සහ අපේ හීං නැන්දම්මලාම වූහ. ඇතැම් ගමක කුඩප්පච්චී කීවේ මවුගේ දෙවන හිමිටයි. මවුගේ සහෝදර සහෝදරියෝද අපේ මාමලා නැන්දලාම වූහ. මාමලට ගෞරවය පිණිස මාමණ්ඩී කීහ. මේ යෙදුම බාල සහෝදරයන්ට බලයණ්ඩී, වැඩිමලුන්ට අයියණ්ඩී, අක්කණ්ඩී සහ නඟණ්ඩී වශයෙන්ද යොදාගැනේ. අම්මාගේ නඟා පුංචම්මා, හීංඅම්මා, බාලම්මා හෝ පුන්නම්මාය. වැඩිමහල් සොහොයුරියන්ට මහම්මා, ලොකුඅම්මා, බත්අම්මා කියනු ලැබීය. පියාගේ දෙවන විවාහක බිරියට කීවේ කුඩම්මා කියාය.
මල්ලියි මමයි අමිතිරිගලු ගියෙම්මා
අමු කොටලා බත් දුන්නයි කුඩම්මා
මොනරමාළු උඩහල්ලේ තියෙම්මා
අපට මාළු අලකොළ දෙයි කුඩම්මා
ඇයට පරමෝ කියන ලද අතර, මවගේ දෙවන විවාහකයාට පරඅප්පා කියනු ලැබීය. සහෝදර සහෝදරියන් අතර මැද්දෑවේ අයට නෑකමට අමතරව මද්දු, මද්දුමයා, මද්දුමී යැයි යෙදිණි. සෑම නෑදෑකමක්ම අපේ, මගේ, මයේ, යෙදුමින් වඩාත් ළං කරගත්තේය. අප්පා, අම්මා යන පොදු ආමන්ත්‍රණද, මයෙ දෙයියා යන්නද ළෙන්ගතුකම තහවුරු කළේය.
දරුවන්ගේ දරුවවෝත් දරු මුනුපුරු-මිනිපිරියෝම වූහ. නැන්දා මාමලාගේ දරුවන් හූරා, මස්සිනාලා, නෑනලාය. විවාහක කාලත්‍රයාගේ සහෝදර සහෝදරියෝද නෑනලා මස්සිනාලාම වූහ.
අපේ පරම්පරාපේරුව හත්මුතු පරපුරකට සීමා කර දක්වනු. අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, මීමුත්තා වශයෙනි. පියාට ඉහළින් සිටින පුතා අතිජාතද, පියාගේ අඩිපාරේම යන පුතා අනුජාතද, පියාට නැති පහත් ක්‍රියා ඇති පුතා අවජාතද වෙති. සම්මත පියකු නැතිව උපත්වන්නෝද අවජාතවම සලකයි.
ඥාති බැම්මේ ගෞරවනීය නෑදෑකම මවු පදවියයි.
නෙතට විල තමයි කඳුළැලි වැගිරීම
කයට බල තමයි රස මවුකිරි බීම
මරුට බල තමයි ලෙඩ දුක් පැමිණීම
දුකට මුල තමයි වැදු මවු නැති වීම