කිසිදා සිනා නොවූ මිනිසා | Page 2 | සිළුමිණ

කිසිදා සිනා නොවූ මිනිසා

(පසුගිය සතියෙන් ඉතිරි)

සාලෙම් හිතුවේ දොර ඇතුළේ කාමරයක රත්රන් පුරවා ඇතැයි කියලා. එහෙත් කාමරයේ අඳුර අතරින් ඔහු දුටුවේ පටු කොරිඩෝවකුයි. සාලෙම් පහනකුත් රැගෙන කොරිඩෝව දිගේ ගියා. ඒ යද්දී සාලෙම්ට දැනුණේ තමා පොළොව යටට යනවා වගෙයි. මෙහෙම පැය ගණනක් ගොස් ගුහාවකට පිවිසි සාලෙම් එළියට පැමිණියේ මුහුදක් අද්දරින්. වෙරළේ සිට කුමක් කළ යුතුදැයි බලා සිටින සාලෙම්ට ඈත අහසේ යමක් පාවෙනවාක් මෙන් පෙනුණා. ඒ පාවෙන දේ කුමක්දැයි සාලෙම් දුටුවේ එය ළඟට ආවිටයි. ඒ විශාල කුරුල්ලෙක්. එ‍හෙත් සාලෙම්ට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබා මේ කුරුල්ලා එක්වරම පහත්වී නිය පහුරෙන් සාලෙම් ඩැහැගෙන අහසට නැග්ගා.

මෙලෙස සාලෙම් රැගත් කුරුල්ලා මුහුදට උඩින් රාත්‍රිය පුරා ඈතට ඈතට පියාඹුවා.

කළ හැකි දෙයක් නොමැති සාලෙම් උඩින් යන අතරවාරේ නිදා ගත්තා. පසුදා උදෑසන වෙද්දී කුරුල්ලා දූපතක් උඩින් පියාඹා දූපතට පාත් වුණා. ඒ දූපතේ මිනිස්සු සාලෙම් බලාපොරොත්තුවෙන් උඩ බලාගෙන සිටිද්දී කුරුල්ලා මිනිසුන් මැදට සාලෙම් අත්හැරියා. මිනිසුන් බිමට වැටුණු සාලෙම් වටකර ගත්තා. එසේ සිටියදී කෙනෙක් පැමිණ ඔහු‍ගේ හිසට ඔටුන්නක් පැලැන්දුවා.

පසුව අශ්වයකු පිට සාලෙම් හිඳුවා ගත් මිනිස්සු අලංකාර ගෙවතු හා මන්දිර අතරින් ඔහු රැගෙන තවත් විශාල මන්දිරයකට ගෙන ගොස් කාමරයකට කැටුව ගියා. එහි වූයේ මැණික් එබ්බවූ පුටු දෙකක්. මින් එකක වාඩිවී සිටි ලස්සන කුමාරිකාවක්,

“මේ රටේ රැජන මමයි. මං දිගු කාලයක සිට ඔබ එනතුරු බලා සිටියා. මේ දූපතේ එකක් හැර සියලු දේ ඔබ සතුයි.” එසේ පවසා තමා සිටි කාමරයේ දොරක් ළඟට සාලෙම් කැටුව ගියා.

කාමරයේ කොනක දොරක් තිබෙනවා සාලෙම් දුටුවේ එතකොටයි. “කිසිම දිනෙක මේ දොර හරින්න එපා. මගේ කීම නොඅසා මේ දොර හැරියොත් ඔබට මුළු ජීවිත කාලයම අසතුටින් ගත කරන්න වෙයි” කුමාරිකාව පැවසුවා.

“මට අවශ්‍ය සියලු දේ මෙහි තිබියදී ඒ දොර අරින්නේ කුමටදැයි” සාලෙම් ද කුමරියගේ අත ගනිමින් කිව්වා.

තවත් කොටසක් ලබන සතියේ

සේමාලි නැන්දා
සිතුවම - කුමුදු පීරිස් මාමා

Comments