ජන­පති අපේක්ෂා ඉව­තට ලුලා යළිත් දඟ­ගෙට | Page 3 | සිළුමිණ

ජන­පති අපේක්ෂා ඉව­තට ලුලා යළිත් දඟ­ගෙට

පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදි බදාදා නඩු තීන්දුව ලුලාද සිල්වාට ඉතා බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙන ලකුණු පෙන්නුම් කරයි. ඒ මන්ද එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව ලබාදුන් තීන්දුවකි. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේදි ඊට අභියෝගයක් එල්ල වීමේ ඉඩකඩ ඉතා අඩු බව නීති ක්ෂේත්‍රයේ අදහසයි. එය එසේ වන්නේ නම් ලුලාද සිල්වා නම් වු ජනප්‍රිය ලතින් අමෙරිකානු නායකයාගේ දේශපාලන ගමනේ අවසානය උදා වීමට වැඩි කල් ගත නොවන බවක් පෙනී යන්නේය.

 

“ බලය මිනිසා දූෂිත නොකරයි, එහෙත් අඥානයන් බලයට පත්වූ කළ ඔවුහු බලය දූෂණය කරති“ - ජෝර්ජ් බර්නාඩ් ෂෝ

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන මේ දිනවල දූෂණය වංචාව හා හොරමැරකම් යන්න මෙරට දේශපාලන වේදිකාවේ නිතර රැව්දෙන වදනකි. විවිධ අපවාද හා අයථා ගණුදෙනු සම්බන්ධයෙන් දේශපාලනඥයෝ එකිනෙකාට චෝදනා කරගනිති. බලය ඇතිකල දූෂණයේ යෙදෙන දේශපාලනඥයන් බලය නැතිවු කළ තමන් කළ කී දෑට වන්දි ගෙවති. මෙය දැන් පොදු ලක්ෂණයක් වී තිබේ. දේශපාලනය හා දූෂණය අතර ඇත්තේ ඉතා සමීප සබදතාවකි. බලයට පත් දේශපාලනඥයන් දූෂණය කරා යොමුවන බවට ලොව පුරා ජන සමාජ වල ඇත්තේ පොදු පිළිගැනීමකි. විශේෂයෙන්ම දියුණු දේශපාලනික රටාවක් පවතින රටවල් අතලොස්සක හැර සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් බහුතරයක විවිධ දූෂණ අපවාදයන් පවතින ආකාරය දැකගත හැකිය. ජපානය ඉතාලිය වැනි ඉහළ දියුණුවක් පවතින රටවලත් ඉන්දියාව වැනි කලාපීය බලවතුන්ගේත් චීනය හා වියට්නාමය වැනි සමාජවාදි පාලනයක් සහිත රටවලත් පොදුවේ බොහෝ ආසියානු අප්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවලත් දේශපාලනය හා බැදුණු අපවාද බොහෝය. වංවාව හා දූෂණය පිටුදැකීමට රාජ්‍ය මට්ටමින් විවිධ ක්‍රියාමාර්ග උපයෝගී කරගැනේ. උදාහරණයක් වශයෙන් සිංගප්පුරුව දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරින්ට ඉතා ඉහළ වැටුප් හා දීමනා පිරිනමන්නේ ඔවුන් දූෂණය කරා යොමුවීම වැළැක්වීමටයි. එසේම චීනය දූෂිත නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට සෘජුවම මරණ දඩුවම ලබාදෙයි. වර්තමාන දියුණු ජනසමාජය තුල පවතින පොදු ජන ක්‍රියාකාරිත්වය හා බහුජන සංවිධානවල මෙහෙයුම් නිසා දූෂිත දේශපාලනඥයන්ට අතීතයේ මෙන් තම අයථා ක්‍රියාවල යෙදීම පහසු කටයුත්තක් නොවේ.

මේ දීර්ඝ පූර්විකාව තුලින් අප පිවිසෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් අතර ඉහල තැනක් හොබවන හා ලතින් අමෙරිකානු කලාපයේ බලවතා වන බ්‍රසීලයේ දේශපාලනය වෙලාගත් දූෂන අපවාදයන් හා බැදුනු තවත් වැදගත් නඩු තීන්දුවක් ගැන ලෝකය කතාබහ කිරීම ඇරඹීම හේතුවෙනි.

පසුගිය බදාදා පැවති අභියාචනාධිකරණ නඩු තීන්දුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා වැරැදිකරු බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේය. එපමණක් නොව 2017 දී ඔහුට පනවා තිබු වසර 9 ක සිරදඩුවම වසර 12ක් දක්වා දීර්ඝ කළේය. එහෙත් ලූලාට සෘජුව බන්ධනාගාර ගතවීමේ අවදානමක් නැත. ඒ වෙනුවට ඔහුට යළි අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වේ. එතෙක් නිදහස් මිනිසෙකු ලෙස ජීවත් වීමට ඔහුට හැකියාව ඇත. ප්‍රශ්නය වන්නේ සිරදඩුවම ගෙවීමට සිදුවේද නැද්ද යන්න නොවේ.

බදාදා නඩු තීන්දුව හරහා ලූලාද සිල්වාගේ අනාගත දේශපාලන අපේක්ෂා බොද වීමයි. ඔහු මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වැදීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

ඔහුගේ නායකත්වයෙන් යුත් බ්‍රසීල කම්කරු පක්ෂය තම අපේක්ෂකයා ලෙස දැනටමන් නම්කර ඇත්තේ ලූලාද සිල්වාය. ඔහු ඉතා ජනප්‍රිය දේශපාලනඥයෙකි. ලූලාගේ ජනප්‍රියත්වයට ආසන්න වීමට හෝ අපේක්ෂකයෙක් දැනට ප්‍රතිපක්ෂ අපේක්ෂකයන් අතර නැති බව බ්‍රසිලයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි. ඔහු තම ආසන්නතම ප්‍රතිවාදියාට වඩා දෙගුණයක ජනප්‍රියත්වයක් උසුලන බව වාර්තා වේ. ලූලාද සිල්වා ඉතා පහසුවෙන් මෙවර ජනාධිපතිවරණය ජයගනු ඇතැයි යන්න බ්‍රසීලයේ සියලුම පාර්ශව කිසිදු බේදයකින් තොරව පිළිගන්නා කරුණකි. ඔහුට අභියෝග කිරිම පවා සෙසු දේශපාලන පක්ෂවලට ප්‍රශ්නයක් වී තිබේ.

එහෙත් නඩුතීන්දුවත් සමඟ සියල්ල කණපිට හැරෙන ලකුණු පලවී තිබේ. ලූලා ද සිල්වා අධිකරණය හමුවේ තුන්වැනි හා අවසන් වරට වරදකරුවෙකු වුවහොත් ඔහුට කිසි විටෙකත් ජනාධිපති වීමේ වරම නොලැබෙයි.

දැනට පවතින තත්ත්වය සැළකිල්ලට ගැනීමේදි බදාදා නඩු තීන්දුව ලුලාද සිල්වාට ඉතා බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන ලකුණු පෙන්නුම් කරයි. ඒ මන්ද එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව ලබාදුන් තීන්දුවකි. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේදි ඊට අභියෝගයක් එල්ල වීමේ ඉඩකඩ ඉතා අඩුබව නීති ක්ෂේත්‍රෙය් අදහසයි. එය එසේ වන්නේ නම් ලුලාද සිල්වා නම් වු ජනප්‍රිය ලතින් අමෙරිකානු නායකයාගේ දේශපාලන ගමනේ අවසානය උදා වීමට වැඩි කල් ගත නොවන බවක් පෙනී යන්නේය.

ලූලාද සිල්වා යනු කවරෙක්ද? නව සහස්‍රකය උදාවෙද්දී ලතින් අමෙරිකානු කලාපය තුල නව දේශපාලනික පිබිදීමක් හටගත්තේ කලාපය පුරා වාමාංශික රැල්ලක් හමායාම හේතුවෙනි. සාමාන්‍යෙයන් ලතින් අමෙරිකානු රටවල් ප්‍රසිද්ධ වුයේ අන්ත දක්ෂිනාංශික අධිකාරිවාදි හමුදා හෝ සන්නද්ධ කල්ලි ප්‍රධානින්ගෙන් සමන්විත ජනතා පීඩක ආණ්ඩු වලටයි. චිලියේ පිනෝෂේ ආජන්ටිනාවේ හමුදා පාලකයන් පෙරූ රාජ්‍යෙය් ඇල්බර්ටෝ ෆුජිමෝරි, නිකරගුවාවේ සොමෝසෝ ගාසියා, මෙක්සිකෝවේ පොෆිරියෝ ඩයස් වැන්නවුන් මේ ඒකාධිපති හා අධිකාරිවාදි පාලකයන් අතරින් මුල් තැනක් ගනී. මොවුන්ගෙන් බොහෝ දෙනා අමෙරිකාව ඇතුළු බටහිර රටවල සහය ලැබුවන් බව ප්‍රකට රහසකි.

අප කලින් සදහන් කළ පරිදි මේ ජනපීඩක ආණ්ඩු වෙනුවට ජනතාවාදි ආණ්ඩු බිහිවීමේ ප්‍රවණතාවක් මේ සහස්‍රකය ආරම්භයේ ලතින් අමෙරිකාවෙන් වාර්තා විය. වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, බොලිවියාවේ ඉවෝ මොරලේස්, චිලියේ මිෂෙල් බැෂලේ ආජන්ටිනාවේ ක්‍රිස්ටීනා පර්නැන්ඩෙස්, නිකරගුවාවේ ඩැනියෙල් ඔටේගා වැනි නායකයෝ මේ වාමාංශික රැල්ල හරහා බලයට පත්වු අය වුහ. මෙය මාධ්‍ය විසින් හැඳින්වුයේ PINK TIDE හෙවත් රෝස රැල්ල යනුවෙනි.

එය එම යුගයේ එක්තරා ආකාරයක දේශපාලනික වසන්තයක් විය. වාමාංශික ක්‍රියාකාරින් මෙය සැලකුවේ කාන්තාරයට ඇදවැටුනු මල් වරුසාවක් ලෙසිනි. රෝස රැල්ල බ්‍රසීලය හරහාද හමා ගියේය. එහි ප්‍රතිඵලය බ්‍රසීලයේ කම්කරු පක්ෂය නියෝජනය කළ ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා 2003 වසරේදි එරට ජනාධිපති පදවියට පත්වීමයි. එය එක්තරා ආකරයක ජනතා අපේක්ෂාවක් විය.

ඔහු කම්කරු හා වාමාංශික නායකයකු ලෙස චිර ප්‍රසිද්ධියක් ලබා සිටියේය. ඒ නිසා ඔහුගේ ජනාධිපති සමය ඉතා විශාල ජනතා අපේක්ෂාවන් රැසක් පෙරදැරි කරගත් යුගය ආරම්භය විය.

ජනතාව අපේක්ෂා කළ පරිදිම ලූලාද සිල්වාගේ පාලන සමය ඉතා පුළුල් වර්ධනයක් බ්‍රසීලයට ගෙන ආවේය. ඔහු බලයෙන් ඉවත්වු 2010 වසර වනවිට බ්‍රසීලය 7.5%ක ආර්ථික වර්ධන වේගයක් අත් කරගෙන සිටියේය. විසි ලක්ෂයක් ජනයා අන්ත දිළිදු කමේ සීමාවෙන් බැහැරවීමට සමත්වූහ.

බොහෝ සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන පරිදි නව රැකියා අවස්ථා දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඔහුගේ පාලන සමය තුලදී උත්පාදනය විය.

බ්‍රසීලය ලතින් අමෙරිකානු ආර්ථිකයේ මෙහෙයුම් කරු බවට පත්විය. මේ නිසාම ලූලාද සිල්වා බ්‍රසීලයේ හොදම ජනාධිපති යන විරුදාවලියෙන් පිදුම් ලැබීය. අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා වරෙක කියා සිටියේ තමා ලූලාද සිල්වාගේ පාලන ශෛලියට ඇළුම් කරන බවයි.

2003 සිට 2011 දක්වා බ්‍රසීලය පාලනය කළ ලූලා ජනාධිපති පදවියෙන් ඉවත්වෙද්දීද එවකට සිටි සියලු ජනාධිපති අපේක්ෂකයන්ට වඩා ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටියේය.

එහෙත් බොහෝ ජනනායකයන්ගේ ජනතාවාදි මුහුණුවරට වැසි ගිය අඩු ලුහුඩුකම් හා දුර්ගුණ පැවතීම පොදු ලක්ෂණයකි. ඔවුන් ඇතැම්විට ජනසමාජයට රහසිගතව සිදුකරන දෑ හෙලිවන්නේ කලක් ගතවු පසුය. 2014 වසරේ බ්‍රසීලයේ OPERATION CAR WASH යනුවෙන් දුෂණ විමර්ශණයක් ආරම්භ වුයේ එරට ප්‍රධාන ඉදිකිරිම් සමාගම හා පෙට්‍රොබාස් නැමැති රාජ්‍ය තෙල් සමාගම කේන්ද්‍රකරගත් දුෂණ හා වංචා සෙවීම සදහාය. පරික්ෂණ සිදුවෙද්දී එරට මුල්පෙළේ දේශපාලනඥයන් 80කට පමණ චෝදනා එල්ල වීමට පටන් ගත්තේය. හිටපු ජනාධිපති ලූලාද සිල්වා මෙහි ඉලක්කයක් බවට පත්වුයේ ඔහු රාජ්‍ය තෙල් සමාගමෙන් අයථා ලෙස සුඛෝපබෝගී නිවසක් ලබාගැනීමේ චෝදනා එල්ල වීමත් සමඟයි. මුදල් විශුද්ධිකරණය හා බලය අයථා ලෙස පාචිච්චි කිරිම වැනි චෝදනාද ඔහුට එල්ල විය.

2017 අවුරුද්දේ නඩු විභාගයෙන් ලූලාද සිල්වා වැරදිකරු වන්නේ ඉහත සදහන් කළ චෝදනාවන්ටය.

එපමණක්ද නොවේ ඔහුගේ අනුප්‍රාප්තික හිටපු ජනාධිපතිනි ඩිල්මා රුසෙෆ් දෝෂාභියෝගයක් මත බලයෙන් පහකෙරෙන්නේද කාර් වොෂ් පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ හරහා බ්‍රසීලයේ වාමාංශික ව්‍යාපාරය නායකත්වය හිඟ දුර්වල දේශපාලන බලවේගයක් බවට පත්වීමේ අවදානමට මුහුණ දී සිටිි.

එහෙත් මෙය දුෂණ අපවාදයක් නොව ලුලා හා බ්‍රසීලයේ වාමංශික ව්‍යාපාරයට එරෙහි කුමන්ත්‍රණයක් බවට බ්‍රසීලයේ හා ගෝලීය වාමාංශික ක්‍රියාකාරිහු චෝදනා කරති. ඔවුන් පෙන්වා දෙන්නේ අධිකරණය දක්ෂිනාංශික බලවේගවලට යටත්ව ඇතිබවයි.

බදාදා නඩු තීන්දුව දුන් විනිසුරුවරු තිදෙනාම ප්‍රකට දක්ෂිනාංශික සාමාජිකයන් බවට වාමාංශික බලවේග චෝදනා කරයි. මෙය වීථිවල සිදුවු විරෝධතා වලදී කැපී පෙනුනු මතවාදයකි.

මේ මතබේද කෙසේ වෙතත් අවසානයේ ගම්‍ය වන වැදගත් කරුණක් වන්නේ තම පාලන කාලය තුලදි වැරැදි කරන පාලකයන්ට කුමන හෝ අවස්ථාවක ඊට වන්දි ගෙවීමට සිදුවන බවයි. එම ලෝක සත්‍යය යළි යළිත් විවිධ රටවලදී තහවුරු වෙමින් පවතී 

 

Comments

පිටු