
හිරු ගිනි බෝලයක් සේ බටහිර අහසේ බැස යමින් තිබිණ. හිරු ගිලී යෑමත් සමග ගුවනේ විචිත රටා මවන වලාකුළු මගේ නෙත ගැටේ. ඒ සුන්දරත්වය මා පිනවයි. උදෑසන අහර සොයා කැදැලිවලින් නික්ම ගිය සියොත්හු කැදලි කරා යළි පියාඹති. දවසේ මෙහෙවර නිමා කර නිවෙස් බලා ඇදෙන ජනයා වෙතින් දිස් වන්නේ විඩාබර පෙනුමකි.
පාරවල දිස් වන්නේ තරමක නොසන්සුන්බවකි. සැමගේම පාහේ ගමන ඉක්මන්ය. අවට මෙතෙක් තිබූ උණුසුම ටිකින් ටික හීනවෙයි. මෙවන් සැන්දෑ කාලයේ වෙරළ අද්දර හා වැව් පිටි කෙතරම් චමත්කාරදැයි මට සිතේ. මුහුදේ ඈතින් හිරු රක්ත වර්ණ බෝලයක් මෙන් ගිලී යන අන්දම මට මැවී පෙනේ. හිරු ගිලී යෑමත් සමඟ සඳ රන් කැටියක් මෙන් පායා එයි.
වත්තේ ඇති නිදිකුම්බා, තෝර, මාර හා කතුරුමුරුංගා වැනි ශාක සිය පත්‍ර හකුළුවා ගනිමින් නින්දට සැරැසේ. සමහරක් මල් සවස් යාමයේ මුකුළිත වෙද්දී හෙන්දිරික්කා රෑ කුමාරි හා කුමුදු මල් විකසිත වෙමින් සුවඳ විහිදුවයි. ඒ සමඟම වවුලන් වැනි නිශාචර පක්ෂීහූ රෑන් පිටින් අහස පුරා ඇදී යති.
උදෑසන සිට විවේක ගත් පාරේ පහන් කණු දැන් රාජකාරි ඇරැඹීමට සූදානම් වන්නාක් මෙන් එළිය විහිදුවයි. මෙවන් වූ සවස් කාලය කෙතරම් සුන්දරද?