
එක කාලයක ධනවත් මිනිසෙක් තමන් සන්තක සියලු දේ සිය පුත්‍රයාට ඉතිරි කර මියගියා. සාලෙම් නම් වූ මේ පුතා ඒ ධනය නිසි ලෙස පරිහරණය කරගන්න තරම් තරුණ වැඩියි. ඒ නිසා වැඩි කාලයක් යෑමට පෙර ඔහු ඒ ධනය නිකරුණේ වියදම් කර ගේ දොර ඉඩ කඩම් ද අහිමි කර ගත්තා. අවසානයේ සාලෙම් මහපාරට වී කාගේ හෝ කුලී වැඩක් කරදී එදිනෙදා මුදලක් සොයා ගන්න තත්ත්වයට පත් වුණා.
දිනක් මෙලෙස සාලෙම් මහ මඟ ගසක් යටට වී කුලියක් ලැබෙනතුරු බලා සිටිද්දී එක් මහලු මනුස්සයෙක් ඔහු ළඟට පැමිණියා.
“පුතා, උඹ මීට පෙර සැපවත් ජීවිතයක් ගත කළ අයෙක් බව පේනවා. මං ජීවත් වෙන්නේ එකම නිවෙසක තවත් මාවැනිම වයසක මිනිසුන් දස දෙනෙකු සමඟයි. අපේ නිවෙසට ඇවිත් අපත් බලාගෙන අපේ මෙහෙකරු ලෙස වැඩ කරන්න උඹට පුළුවන්. දෙවියෝ සමහරවිට මින් පෙර ගත කල ජීවිතය නුඹට ලබාදේවි.” ඔහු පැවසුවා.
සාලෙම් ඔහු හා එකඟවී මහලු මිනිසාගේ නිවෙසට ගියා. නිවෙසට ඇතුළු වීමට පෙර ආපසු හැරුණු මහලු මිනිසා මෙසේ කිව්වා. “මේ නිවෙස ගැන යමක් නුඹට කිව යුතුයි. මේ නිවෙස අසතුට පිරුණු නිවෙසක්. එහෙත් එයට හේතු අසන්න එපා.”
සාලෙම් එයට එකඟවී නිවෙසට ගියා. ඒ නිවෙසේ පිටත පෙනුම කෙසේ වෙතත් ඇතුළතින් ඉතා අලංකාරයි. ඇතුළු වෙද්දීම සාලෙම්ට ඇසුණේ අනෙක් වයසක මිනිසුන්ගේ දුක් සෝ සුසුම් හඬයි. ඔවුන් සිය කාමර තුළට වී දෙවියන් යදිමින් සිටියා. සාලෙම්ට නතර වීමට ලැබුණේ ඔහු කැටිව ගිය මහලු මිනිසාගේ කාමරයයි. එහිදී මහලු මිනිසා සාලෙම්ට පෙට්ටියක් දී එහි ඇති රන් කාසි ඇතිතරම් ගෙන සාලෙම්ගේ ප්‍රයෝජනයට මෙන්ම නිවෙසේ කටයුතු සඳහා ද ගන්නැයි පැවසුවා.
මේ මහලු මිනිසාගේ කාමරයේ කොනක එක් දොරක් අගුළු හා ඉබි යතුරු රැසක් යොදා වසා තිබෙනවා සාලෙම් දුටුවා. ඒත් ඔහු ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ.
වසර ගණනක් ගත වුණා. සාලෙම් ඒ නිවෙසේ වැඩ කටයුතු කරමින් සිටියදී වයසක මිනිසුන් වරින් වර මිය ගියා. ඒ සියලු දෙනාම එම නිවෙසේ වත්තේ භූමදානය කළා. අන්තිමට ඉතිරි වුණේ සාලෙම් කැටිව ආ මහලු මිනිසා පමණයි.
කලක් යද්දී ඔහු ද රෝගාතුර වුණා.
“මහත්මයා, දැන් ඔබත් මිය යන්න ආසන්නයි. ඔබ සැම මෙතරම් දුකින් පසුවූ කාරණාව දැන්වත් මට කියනවද?” මහලු මිනිසා ළඟට ගිය සාලෙම් විමසුවා.
“ඒ රහස මා සමඟම මිය ගියාදෙන් පුතා. එහෙත් උඹට සතුටින් ඉන්න අවශ්‍යනම් කිසිදා මගේ කාමරයේ ඇති අර රහස් දොර අරින්න එපා.” මෙසේ පැවසූ මහලු මිනිසා ටික දිනකින් මිය ගියා.
සාලෙම් දැන් අර සියලු දෙයෙහි හිමිකාරයා වුණා. ඔහු තනියම ඒ නිවෙසේ ජීවත් වෙනවා. මෙසේ කාලයක් සිටියදී ඔහුට අර කාමරය ඇර බලන්න හිතුණා.
“මෙය ඇර බැලීමෙන් කාටවත් හානියක් වෙන එකක් නැහැ. මං දොර ඇරලා බලනවා” මෙසේ සිතූ සාලෙම් දොර ඇරියා.
(අරාබි නිසොල්ලාසයේ කතාවකි)
ඉතිරි කොටස ලබන සතියේ