ට්‍රම්ප්ට හිසරදයක් වන කොරි­යානු සාමය | Page 3 | සිළුමිණ

ට්‍රම්ප්ට හිසරදයක් වන කොරි­යානු සාමය

උතුරු කොරියාව අමෙරිකාවට තර්ජනය කරමින් දකුණට ඔලිව් අත්ත දිගු කිරීම එක්තරා ආකාරයක දේශපාලනික උපායක් සේ සැලකේ. මේ වන විට උතුරු කොරියාවට එරෙහිව ඉතා දැඩි සම්බාධක ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් අමෙරිකාව සමත්ව සිටී. මේ අතුරින් වඩාත් බරපතළ වන්නේ ඛණිජ තෙල් තහනමයි. එය උතුරු කොරියාවේ ආර්ථිකය පමණක් නොව සමස්ත ජනජීවිතයම කඩා වැට්ටවිය හැකි ආකාරයේ බරපතළ පියවරකි.

2018 වසරේ උදාව ලෝකයට නව බලාපොරොත්තු හා ගෙවී-ගිය වසරේ වැරැදි පිටුදැක නව ආරම්භයක් ලබාගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස ලෝක ප්‍රජාව සලකයි. ඔවුන් උත්සව පවත්වා නව වසරේ උදාව පිළිගත්තේ එය තම ජීවිතවල නව ආරම්භයක් සඳහා වන සංකේතාත්මක අවස්ථාවක් ලෙස සලකමිනි. අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ගැන සුබවාදි ආකල්ප තවත් තහවුරු කරමින් කොරියානු අර්ධද්වීපයෙන් සාමය ගැන අලුත් බලාපොරොත්තුවක් පහළ වී තිබේ. ඒ උතුරු කොරියානු නායක කිම් ජොං අන් දකුණු කොරියාව වෙත සාමයේ ඔලිව් අත්ත දිගු කිරීම හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ක්ෂණිකව එය පිළිගැනීමත් සමඟයි. ඒ හා සමඟම සුබවාදි ක්‍රියාකාරකම් කිහිපයක්ම දෙරටෙන්ම වාර්තා විය. පළමුවැන්න: උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර ස්ථාපනය කර තිබී පසුකාලීනව කපා-හරිනු ලැබු දුරකතන සබඳතාව යළි ස්ථාපනය කිරිමයි. දෙවැන්න ඉහළ පෙළේ සාකච්ඡාවක් සඳහා උතුරත් දකුණත් මූලික වශයෙන් එකඟතාවකට එළැඹීමයි.

සාම ක්‍රියාදාමය පිළිබඳ අපේක්ෂා දැල්වෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් නව අවුරුදු උදාව වෙනුවෙන් කළ දේශනයත් සමඟයි. එහිදී ඔහු පැහැදිලිව කියා සිටියේ 2018 වසරෙදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල වැඩපිළිවෙළ නොවෙනස්ව දිගටම ක්‍රියාත්මක කෙරෙන බවයි.

අමෙරිකාව ඇතුළු පසමිතුරු රාජ්‍යයන්ගේ තර්ජන හා බලපෑමවලින් මිදීම සඳහා උතුරු කොරියාවට න්‍යෂ්ටික සහ මිසයිල බලය අත්‍යවශ්‍ය බව කිම් ජොං අන් ප්‍රකාශ කළේය. එපමණක් නොව; අමෙරිකාවට තර්ජනයක් එල්ල කිරීමටද කිම් ජොං අන් පසුබට වූයේ නැත. අවශ්‍ය වුව හොත් අමෙරිකාව දෙසට එල්ල කර ඇති න්‍යෂ්ටික මිසයිල ක්‍රියාත්මක කිරීමේ බොත්තම තමා අත සූදානමින් පවතින්නේයැයි කිම් ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සුපුරුදු කටෝර ට්විටර් පණිවිඩයක් මඟින් දන්වා ඇත්තේ තමන් සතුව වඩා විශාල න්‍යෂ්ටික බොත්තමක් සූදානමින් පවතින බවයි. එමඟින් ට්‍රම්ප් අදහස් කර ඇත්තේ අමෙරිකාව සතු විශාල න්‍යෂ්ටික අවි තොගය ප්‍රහාරයක් සඳහා සූදානම් බවක් උතුරු කොරියානු නායකයාට සිහිකැඳවීමයි.

උතුරු කොරියාව අමෙරිකාවට තර්ජනය කරමින් දකුණට ඔලිව් අත්ත දිගු කිරීම එක්තරා ආකාරයක දේශපාලනික උපායක් සේ සැලකේ. මේ වන විට උතුරු කොරියාවට එරෙහිව ඉතා දැඩි සම්බාධක ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් අමෙරිකාව සමත්ව සිටී. මේ අතුරින් වඩාත් බරපතළ වන්නේ ඛණිජ තෙල් තහනමයි.

එය උතුරු කොරියාවේ ආර්ථිකය පමණක් නොව සමස්ත ජනජීවිතයම කඩා වැට්ටවිය හැකි ආකාරයේ බරපතළ පියවරකි. මේ තහනම ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වන බවට ඉඟියක් ලැබුණේ පසුගිය සතියේ උතුරු කොරියාවට රහසිගතව තෙල් සැපයූ හොංකොංහි ලියා පදිංචි තායිවාන නැවක් දකුණු කොරියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

උතුරු කොරියානු නැවක් මහමුහුදේදී රහසිගතව තායිවාන නැවෙන් තෙල් ලබාගන්නා ආකාරය අමෙරිකානු බුද්ධි අංශ චන්ද්‍රිකාවක කැමරාවට හසු වී තිබිණි. උතුරු කොරියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරු වන චීනයට චෝදනා මුඛයෙන් කථා කිරිමට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් උත්සුක වී තිබුණේ උතුරු කොරියාවට තෙල් සැපයීම සම්බන්ධයෙන් චීනය ඍජුව වගකිව යුතු බවට තර්ජනාත්මක ප්‍රකාශයක්ද කරමිනි.

එහෙත් චීනය ඊට වහා පිළිතුරු සපයමින් කියා සිටියේ තමා කිසි සේත් එක්සත් ජාතීන්ගේ සම්බාධක වැඩපිළිවෙළ උල්ලංඝනය නොකරන බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් නැඟූ චෝදනා පදනම් විරහිත බව සනාථ කිරීමට තායිවාන නෞකා සිද්ධිය ප්‍රමාණවත් බව චීන විදේශ අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ මඟින් පිළිබිඹු වන්නේ උතුරු කොරියාවට එරෙහි සම්බාධක වැඩපිළිවෙළට එරෙහිව නැඟී සිටීමට එරට සමීපතම හිතවතා වන චීනයටද හැකියාවක් නැති බවයි. එනිසා පෙර පැනවු සම්බාධක මෙන් නොව, මෙවර සම්බාධක නිසා ඇති විය හැකි බලපෑම ඉතා බරපතළ බව උතුරු කොරියානු නායකත්වයද අවබෝධ කරගෙන ඇති බවක් පෙනේ.

දකුණු කොරියාවට සාමයේ ඔලිව් අත්ත දිගු කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් තම නව අවුරුදු පණිවිඩයෙන් උත්සාහ ගත්තේ මෙවැනි වාතාවරණයකය. උතුරු කොරියාවේ යුදබෙර හඬ මඳක් යටපත් කොට ,සාමයේ සීනු හඬවා සම්බාධක ලිහිල් කරගැනීමේ උපාය මාර්ගයක් කෙරෙහි කිම් ජොං අන්ගේ අවධානය යොමු වී ඇති බවක් මේ සමස්ත ක්‍රියාවලිය කෙරෙන් පෙන්නුම් කෙරේ.

අනෙක් අතට ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වන කරුණ වන්නේ උතුරු කොරියාව හා දකුණු කොරියාව යනු ලෝක බලවතුන්ගේ අවශ්‍යතා මත දේශපාලනික මතවාදයක් ඔස්සේ බෙදී-ගිය එකම රාජ්‍යයක් බවයි. උතුරේත් දකුණේත් ජීවත් වන්නේ එකම ජනකොටසකි. ඔවුහු ඥාතීහු වෙති. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ සෝවියට් දේශයේ හා අමෙරිකාවේ මැදිහත් වීමෙන් කොරියානු අර්ධද්වීපය 'කොමියුනිස්ට් උතුරු කොරියාව' හා 'ධනවාදි දකුණු කොරියාව' වශයෙන් බෙදා වෙන් කරගනිද්දී දෙරටේ ජීවත් වූ ඥාති වර්ගයා රටවල් දෙක අතර බෙදී-ගියහ. දෙරටේම ආශීර්වාදයෙන් එවැනි ඥාතීන්ට එකිනෙකා මුණගැසීමට 1990 දශකයේ හා 2000 වසරින් පසු අවස්ථා කිහිපයක් හිමි විය.

දේශපාලනික එදිරිවාදිකම් පැවතුණද උතුරත් දකුණත් තමන් එකම ජනවර්ගයක් බව අවස්ථා ගණනාවකදී ඔප්පු කර තිබේ. 1990 දශකයේ අගභාගයේදී උතුරු කොරියාව දැඩි සාගතයෙන් පීඩා විඳිද්දී දකුණු කොරියාවේ සුපිරි ව්‍යාපාරික හයිඋන්ඩායි සමාගමේ ප්‍රධානියා උතුරු කොරියාවට නොමිලේ ගවයන් සැපයීමට පියවර ගත්තේ ය. දෙරට අතර සබඳතා වඩාත්ම ඉහළ තලයකට පැමිණියේ 1998 වසරේ එවකට සිටි ජනාධිපති කිම් දේ ජුං ප්‍රකාශයට පත් කළ 'සන්ෂයින් පොලිසි' හෙවත් 'සූර්ය කිරණ පිළිවෙත' මඟිනි. ඒ යුගයේදී දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඍජු සාකාච්ඡාවක් පවා පැවති අතර, දකුණු කොරියානු ජනාධිපතිවරයා ඉතිහාසයේ මුල් වරට දේශසීමාව හරහා ගමන් කරමින් සාකච්ඡා සදහා උතුරු කොරියාවේ පියොං යෑං අගනුවරට ළඟා විය. 1990 දශකයේ අග හා 2000 දශකයේ මුල භාගයේ දෙරට අතර ගැටුම්කාරි බව බොහෝ දුරට අඩු වූ අතර, අංශ රැසකින් සබඳතා වර්ධනය විය. ඒ යුගයේ චීනය අබිබවා දකුණු කොරියාව උතුරු කොරියාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරු බවට පත් විය. දේශසීමාවේ ඒකාබද්ධ කර්මාන්ත පුරවරයක් හා සංචාරක කලාපයක් ස්ථාපනය කෙරිණි.

සුර්ය කිරණ පිළිවෙත අවසන් වූයේ 2010 වසරේ දකුණු කොරියානු යුද නැවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ වීමත් සමඟිනි. එහි මූලික සැකකරුවා වූයේ උතුරු කොරියාවයි. ඒ මත පදනම්ව සන්ෂයින් පොලිසි අත්හැරීමට ලී ම්‍යුං බක් ජනාධිපතිවරයා තීන්දු කළේය. ඒ හා සමඟම දකුණු කොරියාව උතුර සමඟ පැවති බොහෝ සබඳතා අත්හැරියේය. එහෙත් සාමය කෙරෙහි වැඩි අපේක්ෂාවක් තබන වත්මන් ජනාධිපතිවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ අවංක අපේක්ෂාවෙන් පසු-වෙයි.

උතුරු කොරියාව හා අමෙරිකාව අතර සබඳතා කෙරෙහි අවධානය යොමු කිරීමේදී 1990 දශකයෙන් පසු ක්ලින්ටන් යුගයේදී සබඳකම් යම් සාධනීය තත්ත්වයක් පෙන්නුම් කළ අවධිය සැලකිල්ලට ගත යුතු වේ. ඒ යුගයේදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ වෙනස් කිරීම සඳහා යම් සහනයන් පවා ප්‍රදානය කෙරිණි. පසුකාලීනව රටවල් හයක -එනම්: අමෙරිකාව, රුසියාව, ජපානය, චීනය, දකුණු කොරියාව හා උතුරු කොරියාවේ සහභාගිත්වයෙන් ශඩ්-පාක්ෂික සාකච්ඡා පැවැත්වුණේ උතුරේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීමේ මාර්ගයක් පාදාගැනීම සදහායි. එහෙත් ඒ වැඩපිළිවෙළ අසාර්ථක විය.

වර්තමානයේ අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ උතුරු කොරියාව යනු දියුණු න්‍යෂ්ටික අවි පද්ධතියක් හා ඒවා එල්ල කළ හැකි මිසයිල පද්ධතියක් ඇති රටක් වශයෙනි. එවැනි රටක් සමඟ සංග්‍රාමික ක්‍රියාවලියක යෙදීම අතිශය අනතුරුදායක ක්‍රියාවකි. මෙය දකුණු කොරියාවේ වත්මන් නායකත්වය හොඳින් අවබෝධ කරගෙන තිබේ. යුද කලාව පිළිබඳ වත්මන් ලෝකයේ ඉතා ඉහළ දැනුමක් ඇති රාජ්‍ය නායකයකු වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වරෙක ප්‍රකාශ කළේ යුද්ධයක පළමු පැය ඇතුළතදී දකුණු කොරියාවේ සෝල් ඇතුළු දේශසීමාබද නගර විනාශ කිරීමට උතුරු කොරියාවට ශක්තිය ඇති බවයි. අමෙරිකාව මිසයිල ආරක්ෂණ පද්ධතිය මඟින් උතුරු කොරියානු මිසයිල නතර කළද එල්ල කර ඇති කාලතුවක්කු හා රොකට් මඟින් සිදු වන විනාශය නැවැත්වීම අපහසු බව පුටින් පෙන්වා දී තිබේ. එබැවින් අවශ්‍ය වන්නේ වඩාත් සාධනීය ක්‍රියාවලියකි. එය උතුරු කොරියාවේ යුද අභිලාෂයන් සුරකින වැඩසටහනක් නොවිය යුතු සේම ගැටුම්කාරි වැඩපිළිවෙළක්ද නොවිය යුතුය. උතුරු කොරියානු නායකයා කර ඇති සාමයෝජනාවේ තවත් යටි අරුතක් වන්නේ දකුණු කොරියාව අමෙරිකානු සබඳතාවෙන් දුරස් කිරීමයි. ට්‍රම්ප්ගේ බලපෑම් නොතකා උතුරු කොරියාවට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට දකුණු කොරියානු නායකත්වය ඉදිරිපත් වීම එහි ආරම්භක ලක්ෂණයකි. එහෙත් යම් සුබවාදි අපේක්ෂාවක් තබාගැනීමට වත්මන් තත්ත්වය ගැන වේලාසන වැඩි බවක් පෙන්නුම් කරයි.

 

Comments

උතුරැ කොරියානු සාමයේ හස්තය සැබෑ දේශපාලනික උපාය මාර්ගයක් වනුයේ ,පටු පරමාර්ථ මත නොපිහිටා අවංකවම දෙරට අතර සම්බන්ධය යලි ගොඩනැගීම තුල රඳා පවතින බව මගේ හැගීමයි

පිටු