මහ බැංකුව සීරුවෙන් | Page 8 | සිළුමිණ

මහ බැංකුව සීරුවෙන්

මෙරට ක්‍රියාත්මක වන විවිධාකාර මූල්‍ය ආයතන සහ සමාගම් සම්බන්ධයෙන් දැඩි සුපරීක්ෂණයක් පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කැර තිබේ. ඒ යටතේ දැනට පවතින කොන්දේසි ඉහළ දැමීම සහ එකී මූල්‍ය සමාගම් දැඩි නියාමනයකට ලක් කිරීම සිදුවන බවත් මෙහි අරමුණ වන්නේ මුදල් තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සහ හිමිකම් සුරක්ෂිත කිරීම බවත් වාර්තා වෙයි.

මේ නව කොන්දේසි යටතේ බැංකු නොවන යම් මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යෑම සඳහා අවම වශයෙන් රුපියල් බිලියනයක ආයෝජනයක් සිදුකළ යුතු අතර එකී සීමාවට වඩා අඩු ආයෝජන සහිත මූල්‍ය සමාගම් පවත්වා ගෙන යෑම නීති විරෝධී වනු ඇත. දැනට රට පුරා බැංකු නොවන මූල්‍ය සමාගම් හෝ ආයතන 50 ක් පමණ පවතින බවත් අනාවරණය වෙයි.

මීට අමතරව කිසියම් මූල්‍ය සමාගමක් විසින් ලබා ගන්නා තැන්පතු සහ ඔවුන්ගේ මුල් ආයෝජනය අතර සාපේක්ෂ සීමාවක් පවත්වා ගැනීමත් අනිවාර්‍ය වනු ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍ය ආයතන සුපරික්ෂණය සඳහා වන දෙපාර්තමේන්තුවක් ද ස්ථාපිත කරනු ලැබේ. මූල්‍ය ආයතනවල පවතින පවතින පරිපාලන හෝ කලමනාකරණ දුර්වලතා මෙහිදී පරීක්ෂාවට ලක්වෙයි.

ඇතැම් මූල්‍ය ආයතනවලින් යම් අවස්ථාවලදී තැන්පත්කරුවන්ට බලවත් අසාධාරණකම් සිදු වී ඇති අතර ඔවුනට තම පොළී ලාභාංශය පමණක් නොව තැන්පත් මුදල පවා නැවත ලබාගත නොහැකි වීමේ බරපතළ සිදුවීම් ගණනාවක් පසුගිය කාලයේදී වාර්තා විය. තැන්පත්කරුවන්ට ඉතා ඉහළ පොළියක් ලබා දෙන බවට ආකර්ශනීය පෙළැඹීම් සිදු කොට මුදල් ලබා ගන්නා නමුත් ඇතැම් අවස්ථාවල එම ලාභාංශ එලෙසම නොලැබුණු අවස්ථාවන් ද වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍ය ආයතන සදහා මේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ තැන්පත්කරුවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම සදහාය.

Comments

පිටු