
කළගෙඩිහේනේ දන්සල් සමිතියේ ලේකම්ධූරය දැරූ සොයිසා කියවන්නට ම උපන් රුසියෙකි. අතට හසුවන ඕනෑම පොතක පතක මුල් පිටුවේ සිට එහි ඉම් ප්‍රින්ට් එක දක්වා ම තොල් මතුරමින් කියවන ඔහු මහජන පුස්තකාලයේදී නම් කාගේත් අප්‍රසාදයට ලක්ව සිටි කරදරකාරයකු විය. දිනපතා පුවත්පත සියල්ලන්ටම පෙර අතට ගන්නා හෙතෙම එහි අකුරක් නෑර පැයක් හමාරක් යනතුරු යළි යළි කියවන්නේ අනෙක් කිසිවකුට පුවත්පත කියවීමට ඉඩක් නොදෙමිනි. එසේ කියවීමෙන් අනතුරුව පවා පත්තරය තම අත් ග්රහණයෙන් නිදහස් නොකරන ඔහු අනෙක් පාඨකයන්ට තමා විසින් කියවන ලද ප්රවෘත්ති සහ ලිපි යනාදිය තමාගේ කට වචනයෙන් විස්තර විග්රහ කිරීමට යන්නේ අන් අයට තමාට තරම් දක්ෂ ලෙස පුවත්පත කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැති බැව් නොකියා කියන සෙයියාවෙනි. ඉන් නොනවතින සොයිසා තම බයිසිකලයට නැග ගම පුරා කරක් ගසමින් හමුවන හමුවන හැමෝටම තමා පුවත්පතින් කියවූ තොරතුරු උද්වේගකර ලීලාවෙන් බෙදා හරින්නේය.
එක් දිනෙක උදේ 8-00 සිට 10.30 දක්වා එකම පුවත්පත යළි යළි කියවමින් සිටි සොයිසාට කටකාර ගැටවරයකු සමඟ ගැටෙන්නට සිදුවිණ. ' ...අංකල් ඔයා පත්තරේ අකුරු කියවනවද නැත්තං කටපාඩම් කරනවද ..දැං පැය ගානක් තිස්සේ ඔයා එකම දේ ආපහු ආපහු හරෝ හරෝ බලනවා ..අපිටත් ඕක කියවන්න ඉතුරු කරන්න කෝ ..' යි ගැටයා කාටත් ඇසෙන ලෙස උස් හඬින් කී අතර මේ වැනි අවස්ථාවක් කවදා නම් උදාවේදැයි දින කල් බලමින් සිටියාක් මෙන් සිටි සෙසු පිරිස ඒ සමඟම ඊට අනුකූලතාව පළ කරමින් මහ හඬින් සිනාසුණෝය. ' තමුසෙට හදිසි නං කඩෙන් පත්තරයක් අරගෙන කියවනවකෝ ... මං කොහොමත් පත්තරේ කියවන්නේ මට ඕන හැටියට තමා ...මොකෝ මේක කාටත් පොදු තැනක් නේ ..' යි සොයිසා ද වේගයෙන් කීවේය. ඒ ඇසූ සැණින් ගැටවරයා නාට්‍යානුසාරයෙන් දෑත් ඉනට තබා බැඳගත් ලීලාවෙන් පපුව කෙළින් කැර ගෙන සොයිසාව දවා හළු කරන්නාක් බඳු බැල්මක් හෙළුවේය. ' අනේ ද කියන්නේ ඔයා කියන එක ගැලපෙන්නේ ඔයාටම තමා.
ඔයාට ඕන හැටියට ඔහොම පත්තරේ අයිති කරගන්න නං ඔයා ගිහිං කඩෙන් පත්තරයක් ගන්න එකයි ඇත්තේ ...ඊට පස්සේ ඒක කියවන්න බැරි නං ..දියකරගෙන බිව්වත් අපිට මොකෝ ..' යි කියමින් ඔහු ගැටුමකටම අර ඇන්දේය. ' මං මේ බොහොම වැදගත් ප්‍රවෘත්තියක් කියෙව්වේ .. කාට කාටත් හරි ප්‍රයෝජනයි .. මේං.. මේ හෘද රෝග විශේෂඥ දොස්තර කියනව පොල් තෙල් පොල් කිරි ඇඟට බොහොම මාරකයි ..ලු .. හදවත් රෝග වැඩිවෙලා තියෙන්නේ මේ පොල් කෑම නිසා කියලා විද්‍යාත්මකව කරුණු කාරණා පෙන්නලා දීලා තියෙනව .. අපේ මිනිස්සු ඉතිං මෙව්වා දන්නව යෑ ... ඔහේ මෝඩ කමට කාගෙන කාගෙන යනව මිසක් .. ' යි සොයිසා කියවන්නට ගත්තේ තමා කියවමින් සිටි ඉතා වැදගත් ප්‍රවෘත්තිය හරහා තමාට ද වටිනාකමක් හිමිකැර ගන්නා අතර තමාට එරෙහිව ආ තරුණයා කිසිවක් නොදන්නා මෝඩ පොල් කාවයියකු බැව් සෙසු අයට ඉඟි කරමිනි.
ප්‍රජා මණ්ඩලයේ පොදු පුස්තකාලයෙන් නික්ම බයිසිකලයට නැගි සොයිසා කෙළින්ම සිරිපාල මුදලාලිගේ 'ගඟසිරියට' ගියේය. පැරණි ලංදේසි පන්නයේ සොල්දර ගොඩනැගිල්ලක් වූ එහි එක් පැත්තක සිල්ලර/ තොග කඩයක් ද අනෙක් පැත්තේ තේ කඩයක් ද විය. අහළ පහළ ප්‍රත්‍යන්ත ගම්මාන හැම එකකටම පාහේ තොග මිලට සිල්ලර බඩු දුන්නේ 'ගඟසිරි'යෙනි. සාරවත් පොහොසත් ව්‍යාපාරිකයකු වූවත් සිරිපාල මුදලාලි විහිලුවටවත් පොතක් පතක් කියවීමට රුචි වූ අයකු නොවූවා සේම ඔහු තදබල හෘදරෝගයකින්ද පිඩා විඳීමින් වුන්නේය.
' මුදලාලි මහත්තයා දන්නවද අලුත්ම කතාව .. ' යි කියමින් සොයිසා කතාව පටන් ගත්තේය. ' වැඩිකල් යන්න කලියෙං පොල් කෙරුවාවට කෙළවෙන්නයි යන්නේ ..මට ආණ්ඩුවේම ලොකු තැනකිං තමා මේ ආරංචිය ලැබුණේ ... පොල් තෙල් තහනං භාණ්ඩයක් වෙයි බොහොම ඉක්මනට ..මොකෝ ඔය පොල් තෙල් පපුවට හරිම විසයිලු ..පොල් කිරි ඊටත් වඩා මාරාන්තිකයිලු .. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලොකු දොස්තර කෙනෙක් පරීක්ෂණයක් කරලා හොයා ගෙන තියෙනව පොල් හන්දා ඔය කොලෙස්ට්‍රෝල් අරව මේවා වගේම හෘදය වස්තුව විනාශ කරන දේකුත් සිද්ධ වෙනවාය කියලා ... දැං ඔය අමෙරිකාව වගේ ලොකු රටවල්වල මිනිස්සු කන්නෙම එළවළු තෙල් නේ ... එහෙම නැත්තං පාම් ඔයිල් කියලා පපුවට ගුණ තෙලක් තියෙනවලු ..
ඒ මිනිස්සු පොල් දැකලවත් නැතිලු නේ .. ' යි සොයිසා කීවේය. ' හැබෑට පොල් මේ තරං විසයි කියලා අපි දැනගෙන වුන්නෑනේ බං ... එකත් එකට දැං බලපං කෝ මටත් ඔය පපුවේ ලෙඩේ බෝ වුණානේ ...අපේ ගෙදරත් පොල් කනව නෙවෙයි පොල් කිරිවලින් නානවා නේ ' යි සිරිපාල මුදලාලි හිස වනමින් උත්තර දුන්නේය. ' දැං විද්‍යාව බොහොම දියුණුයි නේ මුදලාලි ..පරණ කාලේ වගේ නෙවෙයි නේ දැං ' යි කී සොයිසා බයිසිකලයට නැග්ගේ තවත් තැන් කිහිපයකටම යා යුතු බවට හදිසි වෙමිනි.
මාස කිහිපයක් ගෙවී ගියේය. අත්තනගලු ඔය ඉවුරේ තිබූ ගම් හතකටම ප්‍රසිද්ධ 'ගඟසිරි' තොග වෙළෙඳසැලේ පොල් සහ පොල් තෙල් විකිණීම සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් සිරිපාල මුදලාලි ඒ වෙනුවට පපුවට හොඳ පාම් තෙල් තොගේට සහ සිල්ලරට අලෙවි කෙළේය. එයින් සති හයක් ගිය තැන ඔහු තම අක්කර හතක පැළ පොල් ඉඩම පවා කැබලි කොට වෙන්දේසි කෙළේ පැළ පොල් ගහක් ඇහැට වත් පෙනෙන්නට නොතිබීම පිනක් බැව් කියමිනි. ' මං බීඩී සුරුට්ටු බොන්නෙත් නෑ විකුණන්නෙත් නෑ ..රා අරක්කු බොන්නෙත් නෑ විකුණන්නෙත් නෑ ... මිං ඉදිරියට මං පොල් කන්නෙත් නෑ විකුණන්නෙත් නෑ ...වස විස විකුණලා කෝටි ප්‍රකෝටියක් ධනය ලැබුණත් මිනිස්සු ලෙඩ්ඩු කරලා අපි කොයි අපායට යන්නද බං ..මේ පේන්නැද්ද ...පපුවේ අමාරුව නිසා මං විඳින දුකක් ..' යි ඔහු ඉතා හැඟීම්බරව කීවේය.
මේ අතර තවත් දවසක සුපුරුදු ලෙස ම ප්‍රජා මණ්ඩල පුස්තකාලයෙන් දිනපතා පුවත්පත කියවූ සොයිසා හැකි පමණ වේගයෙන් බයිසිකලය පැදගෙන 'ගඟසිරි'යට එනවිට ඔහු ඉහින් කනින් දහදියෙන් පෙගී සිටියේය. ' සිරිපාල මුදලාලි මහත්තයෝ ...අනේ මන්දා මේ ආරංචි වෙන එව්වා ඇහුවම අපි කාලයක් තිස්සේ කරලා තියෙන මරිමෝඩකම් මෙතෙකැයි කියන්න බෑනේ ...ඔන්න ආණ්ඩුවේ තවත් විශේෂඥ දොස්තර කෙනෙක් පරීක්ෂණයක් කරලා තියෙනව කුළුබඩු ගැන ... එව්වා කන්න හොඳ නැතිලු පිළිකා හැදෙන්න අක්මාවේ වකුගඩුවේ භයානක ලෙඩ හැදෙන්න ලොකුම හේතුවක්ලු ඔය කුළුබඩු තුනපහ ... ඔන්න සේරම විස්තරේ විද්‍යාත්මකව පහදලා දීලා තියෙනව ...ආයේ කට උත්තර නෑ ...' යි සොයිසා කියමින් සිටින අතරතුර සිරිපාල මුදලාලි කල්පනාවට වැටුණේය. ඔහු කාලයක සිට මී පැණි සහ කුරුඳු මිශ්‍රණයක් අනුභව කරමින් සිටියේ එය මධුමේහය පාලනය කිරීමට යෝග්‍ය යැයි වෙද මහත්මයකු විසින් කියන ලද හෙයිනි. ' මට හිතුණා බං ඕක ...නැත්තං මෙහෙම ලෙඩ කන්දරාවක් කොහෙන් මතු වුණාද ..මාත් දැං කාලයක ඉඳන් මී පැණිත් එක්ක කුරුදු කුඩු බොනව. සමහරදාට තේ එකටත් කුරුඳු දාගෙන බොනව හ්ම් ..එහෙනං ඒකත් දැං නතර කරන්න කාලේ හරි ..' යි ඔහු පසුතැවිලි වෙමින් කීවේය. ' දැං මේ විද්‍යාව දියුණු නිසා ..ඉතිං පරණ මරිමෝඩකම් අතටම අහුවෙනව ..මං හිතන්නේ අපේ හාමිනේගේ අම්මා මැරුණෙත් ඔය තුනපහ ලෙඩේ නිසා වෙන්න ඇති. ' යි කී සොයිසා තවත් තැන් කිහිපයකට යා යුතු බව කියමින් හදිසි විය.
කළගෙඩිහේනේ දන්සල් සමිතියේ අතීතය වසර තිහකටත් එහාට දිවෙයි. වෙසක් උත්සවය නිමිත්තෙන් සතියක් පුරා මහා දන්සලක් පැවැත්වීම සමිතියේ ප්‍රධාන අරමුණ වෙයි. ඒ සඳහා දින ළංවෙමින් තිබීම නිසා එහි ලේකම් සොයිසා විසින් එක් සෙනසුරාදාවක සමිතිය රැස් කරන ලදි. ' අපි මේ වතාවෙත් හොඳට දන්සැල සංවිධානය කරන්න ඕනෑ ... හැබැයි මේ වතාවේ අපිට ලොකු බාධක අභියෝගයකුත් තියෙනව .. මොකෝ පොල් කිරි පොල් තෙල් විතරක් නෙවෙයි කුළුබඩු ගැනත් දැං නරක ආරංචි ලැබිලා තියෙන්නේ ...විද්‍යාත්මකව උගත් දොස්තර මහත්තුරු පෙන්වා දීල තියෙන හැටියට පොල් සහ කුළුබඩු අපේ දන්සැලේ ආහාර පාන හදන්න යොදා ගන්න බෑ ...මොකෝ මේ උතුම් පිංකම දවසේ දාස් ගාණකට වසවිස කෑම දීලා සමූහ පාප කර්මයකට දායක වෙන්න අපි කවුරුත් කැමති නෑ ..... ' යි සොයිසා කතා කරමින් සිටියදී සභාවෙන් නැඟුණේ කසුකුසුවකි. ' ඔහොම ගියොත් ඉතිං කිරිබතක් කැවුමක් තියා ලුනු මිරිසක්වත් හදා ගන්න බෑනේ ..එතකොට අඩුම ගානේ කඩල ඇට ටිකක් තම්බ ගත්තත් කන්න දෙයක් නෑනේ.. මොන විකාරද අප්පා ..මේ කියන්නේ ..' යි සොයිසාට එරෙහිව විරෝධතා මතුව ආ නමුත් දන්සල් සමිතියේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ සිරිපාල මුදලාලි ද සොයිසාගේ මතයම දැරූ හෙයින් සභා රැස්වීම බොහෝ දෙනෙකුට අප්‍රසන්න අත්දැකීමක් විය. එහි එකම ප්‍රතිඵලය වූයේ දශක තුනකටත් වඩා අතීතයක් හිමි වී තිබූ දන්සල් සමිතිය සීසීකඩ බිඳී විසිරී යෑමය.
වෙසක් පොහොය දින උදේ වරුවේ සිට සොයිසා සිරිපාල මුදලාලි සහ තවත් දෙතුන් දෙනෙකු විසින් දන්සල පවත්වා ගෙන ගිය අතර එහි එන සෑම කෙනෙකුටම පිරිනැමුණේ අමු පැපොල් සහ කෙසෙල් ය. මේවා අතට ගත් වන්දනාකරුවන් ගෙන් ඇතැමෙක් විසින් ඒවා මහ පාරේ වීසී කොට දමාගොස් තිබූ හෙයින් යන එන රථ වාහනවලට හසු වූ පැපොල් කෙසෙල් පාර පුරා චප්ප වී තිබිණ. ' ඕං ..කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු ... මේං බලහංකො සොයිසගෙ විද්‍යාත්මක දන්සල් කෙරුවාව ..' යි කී ගැමියන් ඒවා පෙන්වමින් උසුළු විසුළු කරන්නට වූ හෙයින් හත් දවසක් කරන්නට සුදානම්ව තිබූ දන්සල පළමුවැනි දවසේ ඉර මුදුන් වීමටත් පෙර අවසන් කෙරිණ.
මේ සිද්ධියෙන් පසු චන්ද්‍ර මාසයක් ගෙවී පොසොන් පෝය උදාවන්නට දින දෙකක් ඉතිරිව තිබියදී සිරිපාල මුදලාලි හදිසි හෘදයාබාධයකට ගොදුරුව මිය ගියේය. ඇසළ පොහොයට දින දෙකක් ඉතිරිව තිබියදී කවුරුත් විස්මයෙන් භීතියට පත් කරවමින් සොයිසා ද මියගියේ හදිසි හෘදයාබාධයකට ගොදුරු වීමෙනි. '...අන්තිම කාලේ මේ දෙන්නම බොහොම කළකිරීමෙන් හුදෙකලා වෙලා වගේ නෙ උන්නේ ..ඔහොම තමා ඉතිං ජීවිතේ හැටි ..' යි කී ගැමියෝ අවංකව ම තම සාතිශය සංවේගය පළ කළෝය.
සොයිසා නැති අඩුව ප්‍රජා මණ්ඩලේ පුස්තකාලයට පමණක් නොව එහි දිනපතා පුවත්පතේ පිටුවලට පවා කාන්සියක් පාලුවක් ගෙන දුන්නේය. සිරිපාල මුදලාලි නැති අඩුව නම් කාටත් ප්‍රශ්නයක් නොවූයේ 'ගඟසිරි'ය දිගටම කරගෙන යෑමට ඔහුගේ පවුලේ උදවිය ඉදිරිපත් වීම නිසාය.
කාටත් නොදැනී කාලය ගෙවී ගියේය. එක් දිනෙක දිනපතා පුවත්පතේ ඇතුළු පිටුවක අපූරූ පුවතක් පළ වී තිබිණ. // පොල් සහ පොල් තෙල් සිරුරට අහිතකර නෑ // ' ... පොල් සහ පොල් තෙල් පරිභෝජනය හේතු කොට ගෙන හෘදයාබාධ වැලඳෙන බවට පසුගිය කාලයේ පැවති මතය සම්පූර්ණයෙන් සාවධ්‍ය එකක් බවත් පොල් සහ පොල් තෙල් සිරුරට ඉතා ගුණදායක ස්වාභාවික සංඝටකයන් ගෙන් පොහොසත් බවත් අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබේ. හෘදයාබාධ ඇතුළු මාරාන්තික රෝග ගණනාවක්ම වළක්වන ස්වාභාවික රසායනික සංයෝග රැසක් පොල්වල අඩංගු වන අතර එය පෝෂණ ගුණයෙන් පොහොසත් ආහාරයක් බවත් මේ පර්යේෂණයෙන් සොයා ගෙන තිබේ ..පසුගිය කාලයේ පොල් තෙල් වෙනුවට ආදේශකයක් ලෙස බහුලව යොදා ගත් ආනයනික පාම් තෙල් නිසා හෘදයාබාධ හටගැනීම සහ තවත් රෝග රැසකට හේතුවක් බවත් මේ පර්යේෂණයෙන් තහවුරු වී තිබේ. ...' / යැයි එකී පුවත්පතේ පළ වී තිබිණ. එහෙත් ඒ ආරංචිය ගම පුරා ගෙන යෑමට සොයිසා කෙනෙකු නොසිටියේ ය.
මීට සති දෙක තුනකට පෙර මගේ සමීප මිතුරකු මෙරට ඉහළම පෙළේ බටහිර වෛද්‍ය විශේෂඥයකු හමුවට ගියේ ඔහුට වැළඳී තිබූ දියවැඩියා රෝග තත්ත්වය පරීක්ෂා කැර ගැනීමටය. එතැනදී ඔහුට ලැබී තිබුණේ සිත් කාවදින වෛද්‍ය උපදේශයකි. /' තේ පානයක් හැටියට හෝ කුරුඳු කුඩු තේ හැන්දක් දිනපතා ගත්තොත් බොහොම පහසුවෙන් දියවැඩියාව පාලනය කර ගන්න පුළුවන් ' / ඒ කතාව ඇසූ සැණින් මට නැවත වතාවක් සිරිපාල මුදලාලි සිහියට නැගිණ.
මළා වුණත් විද්‍යාත්මක සොයිසා අවසන් ගමන් ගියේ නැත !