අපායේ දොරට තට්ටු කරන ගිනි රකුසෝ | සිළුමිණ

අපායේ දොරට තට්ටු කරන ගිනි රකුසෝ

මෙම මහ පොළොව මත ජීවත්වන අප සියලු දෙනා අතර තිරිසන් සිව්පා සත්තු සිටිති. බඩ ගා යන නයි පොළොඟුන් වැනි විෂකුරු සර්පයෝ සිටිති. අහසේ ඉගිල යන පක්ෂීන් සිටිති. එයින් කපුටා කළු අවලක්ෂණ වූවත් නුවණැති කපටි පක්ෂියෙකි. මොණරා වැනි අලංකාර පක්ෂීන්ද මේ අතර සිටී. මෙවැනි විවිධ ජීවීන් අප අතර මෙම මහ පොළොව මත ජීවත් වේ. මෙම කිසිම ජීවියෙක් හිරිහැර කිරීමක්, බිය වැද්දීමක් නොකළ හොත් අප හට ප්‍රතිප්‍රහාර දීමට, කේලාම් කියා කෙටවීමට, ඊෂ්‍යා කිරීමට, ක්‍රෝධ කිරීමට, හානි කිරීමට නොපැමිණේ. සියලුම සත්ත්වයෝ නිදහසේ කාබී සැරි සරමින් ජීවත් වෙති.

නමුත් මහ පොළොවේ ජීවත්වෙන මනුෂ්‍යා අතර ඉහත කී සතුන්ටත් වඩා බොහෝ වෙනස්කම් ඇති පුද්ගලයෝ සිටිති. සිව්පාවෙකුට ආහාරයක් දුන හොත් එය කොපමණ කල් ගියත් සතාගේ ගුණය මතකයේ පවතී. නමුත් බොහෝ මිනිසුන්ට කළ ගුණ අමතක වේ. දෙමාපියන්ට වූවත් ක්‍රෝධය වෛර කරන්නේ පුතුන්ය. වාසියක් තිබේ නම් පමණක් බොහොම ලයාදර වේ.

එය නැත්නම් යා‍ළුවොත් නැත. යම් කෙනෙක් යාන්තමින් හෝ නැඟිටිනවාට කැමති නැත. නැගිට්ටොත් වැට්ටවීමට කේලාම් කියනු ඇත. ගිනි දල්වනු ඇත. ක්‍රෝධ කරනු ඇත. වැටුනු වහාම නැවත නැගිටිනවාද කියා හොර ඇසින් බලා සිටිනවා ඇත. මෙවැනි නින්දිත ගුණමකු පුද්ලගයින්ගේ ග්‍රහ බලය කෙසේද යන්න සොයා බලමු. ඊට මත්තෙන් පැරණි ගුත්තිල කතුවරයා ගුත්තිල කාව්‍යයේ මේ ආකාරයෙන් පෙන්වා දී ඇති සැටි බලන්න.

කොපමණ ගුණ කළත්,

දුදනෝ නොවෙති, යහපත්,

කිරි දියෙහි දෙව්වත්,

අඟුරු සුදුවෙන කලෙක නම් නැත්,

ගුත්තිල හා මුසිල ගුරු ගෝල වාදයේ දී මනුෂ්‍යා තුළ පවතින මෙවැනි පවිටු අදහස් මැනවින් විග්‍රහ කර ඇත.

එවැනි දුර්ජන මනුෂ්‍යයින්ට කොපමණ සැලකුවත් කිසිම ගුණයක් නැති බවත් එය කෙසේවත් වෙනස් නොකළ හැකි බවත් මැනවින් කියා ඇත. මෙය අද වර්තමානයට කාලෝචිත කියමනක් බව මට නම් වැටහේ.

යම් අයෙකුගේ උපන් කේන්ද්‍රයේ රවි හා කුජ යෝගය ලග්නයේ යෙදී ඇත්තේ ද? ස්ත්‍රී හෝ පුරුෂ කවුරු වුවත් මෙම සංයෝගය ලග්නයේ පිහිටා ඇත්නම් මාන්නාධික ගාම්භීර තමන්ට වඩා ඉහළින් යන අයට වළ කපන තමන්ගේම වාසියට කටයුතු කරන දඩබ්බර වචනවලින් කථා කරන ගුණමකු පුද්ගලයෝය.

මෙවැනි පුද්ගල‍යෝ අන් අයගේ දියුණුවට වළ කපනවා මෙන්ම තද ආත්මාර්ථකාමී බවින් පිරුනු අය වෙති. මෙම කවියේ පරිදි එම ගණයට අයිති පුද්ගලයෝය. ස්ත්‍රියකගේ මෙම පිහිටීම ලද හොත් ලැබෙන පුරුෂයාට සිදුවන්නේ උයා පිහා කවා පොවා ඇයගේ සියලු කටයුතු කිරීමටය. නමුත් කිසිම ගුණයක් නැති ‍ෙමවැනි ස්ත්‍රින් සමඟ යහපත් මනුෂ්‍යයෙකුට දීග කෑ නොහැක. මෙම සංයෝගය කේන්ද්‍රයේ අටවැන්නේ පිහිටිය හොත් පවිටු අදහස් නිසා සමාජයට අප්‍රියකර වීමෙන් කොන් කිරීමක් සිදුවේ. බොරු පෙත්සම් ගැසීමට මෙවැන්නෝ අති දක්ෂ වෙති. අන් අය අමාරුවට පත් කිරීම මෙම අයගේ සිරිතය.

මෙවැනි හේතුන් නිසා කොයි මොහොතේ හෝ මෙවැනි අයට සතුරන්ගෙන් පහර කෑමට සිදුවේ. ආයුෂ අඩු වීමට ද හේතු වේ. හීන බල සඳු සමඟ කුජ බුධ සංයෝග වී ලග්නයේ සිටීම ද අන් අයට රහසිගතව කුමන්ත්‍රණය කරන චරිතයකට හැඩ ගැසීමට හේතු වේ.

මෙවැනි පුද්ගලයෝ ඇසුරු කිරීමේ දී ඉතා පරෙස්සම් විය යුතුය. අන් අයගේ දියුණුව දුටුවිට එය දරා ගැනීමට නොහැකි මෙවැනි පුද්ගලයෝ බොරුචාටු බස් දොඩා ඇසුරට එන්නේ කුමක් හෝ කපටි සූත්තරයකට බව දැනගත යුතු වේ. දිය යටින් ගින්දර ගෙන යන්නේ මෙවැනි පුද්ගලයෝය. වෘශ්චික ලග්නය වී දොළොස්වැන්නේ කුජ, ගුරු, ශනි, ත්‍රිග්‍රහ සංයෝගය යෙදුණු පුද්ගලයා එන්ට එන්ටම ප්‍රපාතයට වැටෙන අතර අන් අයගේ දියුණුවට අකුල් හෙලන ක්‍රෑර පුද්ගලයෙක් බවට ද පත් වේ.

කේලාම් කීම, බොරු කීම, අන් අය කෙටවීම ආදී පහත් වැඩ කිරීම මේ අයගේ සිරිතය. ගිනි දෙන ගුණ මකුවෝද වෙති. ලග්නාධිපති සතුරු රාශියක සතුරු ග්‍රහයෙක් සමඟ සංයෝග වී දොළොස්වැන්නේ සිටීම ඔහු අන් අයගේ දියුණුව දැකීමට නොහැකි ඊර්ෂ්‍යා කරන ගුණමකු පුද්ගලයෙකි. වංචාසහගත කපටි දුෂ්ට චරිතයක් ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයෙකි. කිසි දා දියුණුවක් ලැබිය නොහැකි අයෙකි. ඇසුරු කිරීමට ද සුබ නොවේ.

ලග්නාධිපති සමග හයවැන්න හා දොළොස්වැන්න අධිපතියන් සංයෝග වී ලග්නයේ සිටීමෙන් එම පුද්ගලයාට කොපමණ උත්සාහ දැරුවද දියුණුව අඩාල වේ. කුමක් හෝ ධන හානියකට මුල් ‍ෙව්. නඩු හබවලට පැටලේ.

ඔහු‍ගේ හෝ ඇයගේ චරිතයද ඊර්ෂ්‍යාවෙන් පිරි පවතී. අන් අය‍ගේ දියුණුවට නොයෙකුත් බාධා කිරීම ගති ලක්ෂණ වේ. ලග්නාධිපති ගුරු හැර වෙනත් සුබග්‍රහයෙක් සඳු, බුධ, සිකුරු වූයේ නම් දොළොස්වැන්න, හයවැන්න, අධිපතිනියන් කෲර පාප ග්‍රහයෙක් වී සංයෝග වී ලග්නයේ වූයේ ද එම පුද්ගලයාගේ ජීවිතය අන් අයට අප්‍රිය සහගත වෙනවා මෙන්ම ගුණ ධර්ම පළාතකවත් නැති පුද්ගලයෝය. අන් අයට ගිනි දැල්වීමට මෙම අය ඉතා දක්ෂ වේ.

අව සඳු, සමඟ කුජ සංයෝගය, අවසඳු සමඟ රාහු කුජ සංයෝගය, බුධ රාහු කුජ සංයෝගවීම, කුජ රවි රාහු සිකුරු සමඟ යෙදීම මේ ආදී වශයෙන් සුබ ග්‍රහයෙක් ලග්නාධිපති වී ඊට 6,12 අධිපතියන් පාපයින් හා කෲර ග්‍රහයින් වශයෙන් සංයෝගවීමෙන් ඉතාම අරිටු පුද්ගලයින් වන්නේය.

මෙවැනි සංයෝග ලග්නයේ දසවැන්න, එකොළොස්වැන්නේ යෙදුන හොත් අධාර්මික ක්‍රියාවලින් මුදල් උපයන නමුත් ඒ සියල්ල විනාශ වේ. ධනයෙන්, බලයෙන් යුක්ත යහපත් අයට මෙවැන්නෝ ගරහති. ඒ අතර අන් අය හට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, කේලාම් කියා ‍ෙකටවීම, මෙම දුෂ්ඨ අදහස්වලින්ද පිරී පවතී.

එම නිසා සියල්ල දැන ජීවත්වීමේ කාලය එළඹ ඇති බව දැනගත යුතුයි.

 

Comments