කලාව වර්ගවාදී කරන්නේ දේශපාලනයයි | Page 3 | සිළුමිණ

කලාව වර්ගවාදී කරන්නේ දේශපාලනයයි

තුරු (2002), හමුවීම (2009), පෝරිසාදයා (හොඳ ම නාට්‍ය හා හොඳ ම නාට්‍ය අධ්‍යක්ෂණය යෞවන සම්මාන - 2012 ), පිටස්තරයා (2013) යන නාට්‍ය හා කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය කරන පාලිත අබේලාල් වසර 2003 සිට මේ දක්වා ම පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ජන කරළිය නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. එමෙන් ම Faith (2012) සහ The Play (හොඳ ම කෙටි චිත්‍රපටය හා හොඳ ම අධ්‍යක්ෂණය Mobile Film Festival 2014) යන කෙටි චිත්‍රපට ද ඔහුගේ අධ්‍යක්ෂණයන් ය. රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් ඔබ්බට යන පාලිත අබේලාල් හොඳ ම අංගරචනය වෙනුවෙන් චරන්දාස් (2006), මැටි කරත්තය (2010), සෙක්කුව (2010), පයනිහල් (2011) සඳහා රාජ්‍ය සම්මාන ද මේ තුවක්කුවක් නොවේ (2013) වෙනුවෙන් හොඳ ම අංගරචනයට හිමි යෞවන සම්මානය ද හිමි කර ගත්තේ ය. මෙවර තුරුණු මඬල සංලාපය සම්මානනීය නාට්‍ය ශිල්පී පාලිත අබේලාල් සමඟ ය.

ඔබ නාට්‍යකරුවකු ලෙස සිංහල මෙන් ම දෙමළ නාට්‍ය සඳහා ද ඔබගේ දායකත්වය දක්වනවා. සිංහල නාට්‍ය සහ දෙමළ නාට්‍ය අතර ඔබ දකින වෙනස කුමක්ද?

භාෂාව පදනම් කරගනිමින් අපි බෙදීමක් ගොඩනගාගෙන තිබුණත් මා දකින ආකාරයට සිංහල හෝ දෙමළ ලෙස නාට්‍ය බෙදන්න බැහැ. එහෙම ජන වර්ග ලෙස කොටස්වලට බෙදන්නේ පරිපාලන පහසුවටයි. එතැන තියෙන්නේ දේශපාලනයයි. කලාව එහෙම බෙදන්න බැහැ. ඒත් අපි දකිනවා කලාකරුවන්වත් මේ ආකාරයට බෙදා දැක්වීම් තිබෙනවා. මහා කලාකරුවෝ, චූල කලාකරුවෝ, ග්‍රාමීය කලාකරුවෝ, ජන කලාකරුවෝ ආදී වශයෙන්. කලාව හෝ කලාකරුවා එසේ බෙදන්න පුළුවන්ද? කලාව කියන්නේ මිනිසුන්ගේ හැඟීම් ප්‍රකාශන මාධ්‍යයක්. ඒ ප්‍රකාශනයේ මහා හෝ චූල කියා බෙදන්න තියෙන්නේ මොනවද? එසේ බෙදන්න තියන මිනුම්දඬු හා ඒවා නිර්ණය කරන්නේ කවුද? එහෙම මිනුම්දඬු හදන අයව මනින්න තියන මිනුම් දණ්ඩ මොකද්ද? එවැනි මිනුම් දඬු හදන කෙනා තීරණය වන තැන තමයි දේශපාලනය කියන්නේ.අපි අද කතා කරන දේශපාලන පක්ෂ නිර්මාණය වෙන්නේත් එතැනින්.නාට්‍යයේත් සිංහල දෙමළ කියලා බෙදීම ඇති වෙන්නේ මේ දේශපාලනය තුළයි.කලාව තුළ විවිධත්වය අත්‍යාවශ්‍යයි. ඒත් එය වර්ගවාදී වියයුතු නෑ. ඒ නිසා මා මේ දෙකේ වෙනසක් දකින්නේ නෑ.

එහෙත් අපට ලාංකේය නාට්‍ය කලාවක් තව ම බිහිවී නැහැ. ශ්‍රී ලාංකේයත්වය පෙන්වන්න තවමත් තිබෙන්නේ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ, දයානන්ද ගුණවර්ධනයන්ගේ වැනි සිහල නාට්‍යකරුවන්ගේ නිර්මාණයි. ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවක් වෙනුවෙන් දෙමළ නාට්‍යකරුවන්ගේ දායකත්වය කෝ?

සිංහල නාට්‍ය කලාවක් පිළිබඳ කතා කළාට මේ සියල්ල අපිත් ආනයනය කළ දේවල්.සංස්කෘතියක් හුදෙකලාව නිර්මාණය වෙන්නේ නෑ. ඒ තුළ තිබෙන්නේ සම්මිශ්‍රණයක්. ලෝකයේ හැම රටක ම තිබෙන සංස්කෘතික ලක්ෂණ අප තුළත් තිබෙනවා. ඒ සංස්කෘතිය යටතේ තිබෙන නාට්‍ය කලාව විතරක් සිංහල හෝ දෙමළ කියා බෙදන්න බැහැ. අපි රට, ජාතිය, කුලය කියන කුලකගත වීම් එක්ක මෙසේ බෙදනවා. අපට වඩා භාෂා විවිධත්වයක් තිබෙන ඉන්දියාව පන්ජාබයේ නාට්‍යත්, දිල්ලියේ නාට්‍යත්, කේරළයේ නාට්‍යත් මොන ප්‍රදේශයේ ද කුමණ භාෂාවේද කියා නොසලකා ඉන්දියාණු නිෂ්පාදන ලෙස පිළිගන්නවා. ඒ වුණත් අපි මේ කුඩා දිවයිනේ බෙදීම් ඇතිකරගෙන තිබෙනවා. එහෙම කොහොමද ශ්‍රී ලාංකේය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනගන්නේ?

නාට්‍ය පිළිබඳ අධ්‍යයනයේදී විවිධ නාට්‍ය සම්ප්‍රදායන්හි ආවේණික ලක්ෂණ පිළිබඳව හඳුනාගත හැකි වෙනවා. දෙමළ ජනතාවගේ නාට්‍ය කලාව ඇසුරින් සිංහල නාට්‍ය පෝෂණය වූ අවදි තබෙනවා. වර්තමාන සිංහල තරුණ නාට්‍ය ශිල්පීන් තමන්ගේ නිර්මාණයන්ට ඒ ආභාසය ලබාගෙන තිබෙනවාද?

එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන වැන්නන් වගේ තරුණ ශිල්පීන් පර්යේෂණයේ යෙදෙන ප්‍රමාණය ඉතා අඩුයි. ඒ නිසා තරුණ නාට්‍යකරුවන්ට බොහෝ දේ මඟහැරී තිබෙනවා. අපි තාම සොකරි කෝළම් වගේ ජන නාටක පමණයි හදාරන්නේ. ඇයි අපට වඩමෝඩි, තෙන්මෝඩි අධ්‍යයනය කරන්න බැරි? සිංහල සාම්ප්‍රදායික නාට්‍යවලට වඩා දෙමළ සාම්ප්‍රදායික නාට්‍යවල දියුණු නාට්‍යමය ලක්ෂණ දකින්න ලැබෙනවා. මොකද ඔවුන්ගේ සාහිත්‍යයත් නාට්‍යානුරූපී සාහිත්‍යයක්. මහා භාරතය, රාමායනය ගත්තම ඒවා අතිශය ප්‍රාසංගිකයි. මේ සාහිත්‍යය නාට්‍යයට යොදාගන්නා විට ඔවුන්ට ප්‍රබල නිරූණ ක්‍රමවේද භාවිතා කරන්න වෙනවා. අපේ ජන නාට්‍ය තුළ තිබෙන්නේ කාව්‍යාත්මක ලක්ෂණ. කෝළම්, සොකරි ආදියේ යම් තරමකට නාට්‍යලක්ෂණ දකින්න ලැබුණත් අපේ ශාන්තිකර්ම තුළ දක්නට ලැබෙන්නේ නාට්‍ය ලක්ෂණවලට වඩා පූජාකර්ම ලක්ෂණයි. අපේ ජන නාට්‍ය තුළ නිරූපණ ශිල්ප ක්‍රමවලට වඩා දෙමළ ජන නාට්‍යවල නිරූපණ ක්‍රම දියුණුයි. ඔවුන් භරත නාට්‍යම් වැනි නර්තන ක්‍රම ඔස්සේ භාව ප්‍රකාශන දියුණු තලයකට වර්ධනය කර තිබෙනවා. අපේ තරුණ නාට්‍යකරුවා ඒ අඩවියටත් පය තැබිය යුතුයි. ඒ භූමිය තුළ අපේ නිර්මාණවලට අවශ්‍ය බොහෝදේ තිබෙනවා. සරච්චන්ද්‍රයන් පවා අපේ සිංහල නාඩගමින් ආභාසය ලබනවා. ඒත් දෙමළ නාඩගම ස්පර්ශ කරන්නේ නෑ. අපි ඒ සංස්කෘතිය ඔස්සේ අනෙකා වටහා ගැනීම අත්‍යවශ්‍යයි. එවිටයි සංස්කෘතික ගරුත්වය ඇති වන්නේ සහ අපේ කලාව දියුණු වෙන්නේ.

 

විශ්වවිද්‍යාලයන් මඟින් නාට්‍ය හා රංගකලාව පිළිබඳ උපාධිධාරීන් ප්‍රමාණවත් පරිදි බිහි වෙනවා. වෙනත් ආයතනවලින් ද නාට්‍ය පාඨමාලාලාභීන් හෝ පුහුණුලාභීන් බිහි වෙනවා. එහෙත් මේ විද්‍යාර්ථින්ගේ ප්‍රමාණයට සමානුපාතිකව නිර්මාණය වන ප්‍රශස්ත නාට්‍ය ප්‍රමාණයේ අඩුවක් තිබෙනවා නොවේද?

විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබන බොහෝ විද්‍යාර්ථින් ගුරු වෘත්තියටයි යොමු වන්නේ. ඒ අතර කෙනෙක් නාට්‍යකරණයේත් යෙදෙනවා. බොහෝදෙනා සාම්ප්‍රදායිකව ගුරු භූමිකාවේ නියැළෙනවා. පර්යේෂණයේ නියැළී නාට්‍ය කරන කීපදෙනෙක් ඉතිරි වී ඔවුන් නාට්‍ය කළත් එ්වා පවත්වාගෙන යාමට උචිත වටපිටාවක් නිර්මාණය වී නැහැ. සරච්චන්ද්‍රයන් නාට්‍ය කරන විට ඒවායේ පැවැත්මට බාහිරින් ලැබුණු විචාර බලපෑවා. අද එවැනි විචාරයකුත් නෑ. අද තියෙන්නේ බොරුවට කරන පිට කසාගැනීම්.

සරච්චන්ද්‍ර යුගයේ තිබූ පුවත්පත් විචාරය අබිබවා ගිය නව මාධ්‍ය සම්ප්‍රදායක් වර්තමානයේ ප්‍රචලිතව පවතිනවා.තරුණ ප්‍රජාව මේ නව මාධ්‍ය සමඟ නිරන්තරයෙන් බැඳී සිටිනවා. තරුණ නාට්‍යකරුවා සිය නිර්මාණ උදෙසා මේ සම්පත් භාවිත කරන්නේ නැද්ද?

වර්තමානයේ ප්‍රේක්ෂක රසඥතාවයේත් ගැටලු තිබෙනවා. ඒ වගේම තරුණ නාට්‍යකරුවා තුළත් අලස ගති තිබෙනවා. තමන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙන යන්න නව මාධ්‍යය ම අවශ්‍යත් නෑ. කල්කටාවල මගේ මිතුරෙක් ඔහුගේ නාට්‍ය ප්‍රධාන රංගශාලාවල වේදිකාගත වන අතර ඔහු තවත් කීපදෙනකු සමඟ බයිසිකලයෙන් ගම් වටා ගොසින් කෙටි නාට්‍ය රඟ දක්වනවා. ඔහු එයින් නාට්‍ය සංස්කෘතියක් බිහි කරන්න උත්සාහ කරනවා. අපි තවමත් ප්‍රධාන ධාරාවේ නාට්‍ය ශාලාවලට තරඟ කරනවා.

ඔබ පවසන්නේ වීදි නාට්‍ය කලාව ඊට ප්‍රවේශයක් බව ද?

පරාක්‍රම නිරිඇල්ල මහතා ජන කරළියෙන් වීදි නාට්‍යයයි වේදිකා නාට්‍යයයි එක තලයකට ගන්නවා. එය මෑත කාලීනව බිහිවූ සාර්ථක සොයාගැනීමක්. මෙවැනි සොයා ගැනීම් තව තවත් එළියට එන්න ඕනැ. අපේ බොහෝ දෙනා අනිත් අය හදපු පිට්ටනිවල සෙල්ලම් කරනවා. තමනුත් තැනක් හෙළි පෙහෙළි කරන්නේ නෑ. අපේ ජනතාවට තවමත් කලාව අවශ්‍ය නෑ. කලාවක් අවශ්‍ය වන්නනම් ඊට පෙර සපුරා ගතයුතු අවශ්‍යතා තිබෙනවා. ඒ මූලික අවශ්‍යතාවලින් බැහැරවයි අපේ රටේ කලාව තිබෙන්නේ. අපේ කලාව ඒ තැනට ගන්නනම් තරුණ කලාකරුවාට ලොකු කැප කිරීමක් කරන්න වෙනවා.

සංලාපය - බුද්ධික සමන් ගුණවර්ධන

Comments