ගූගල් චීනයට රිංගයි | සිළුමිණ

ගූගල් චීනයට රිංගයි

 සමාගම් ලෙස තම ක්‍රියාකාරිත්වට කොතරම් බාධා එල්ල කළද ඒ කිසිවක් මායිම් නොකරමින් තම ප්‍රථම ආසියාතික කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කිරීමේ මධ්‍යස්ථානය චීනයේ බෙයිජිං නගරයේ ස්ථාපිත කිරීමට ගූගල් සමාගම පසුගියදා කටයුතු කළේය.

මේ අවස්ථාවට එක්වෙමින් ගූගල් සමාගමේ ප්‍රධාන විද්‍යාඥ ෆෙයි-ෆෙයි ලී මහතා පවසා සිටියේ විද්‍යාවට සීමා මායිම් නැතිවා සේම විද්‍යාවේ ප්‍රතිඵල භුක්ති විඳීමේදීද සීමා මායිම් නොමැති බවයි.

මේ පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම ගූගල් සමාගමට මෙන්ම චීනයටද සුවිශේෂ අවස්ථාවක් වන්නේ දෙපාර්ශ්වයේ ප්‍රබල නම්‍යශීලී බවක් මේ සමගින් විද්‍යමාන වන නිසාය.

ආරම්භයේ පටන්ම චීනය තම රට තුළ ක්‍රියාත්මක වීම සඳහා ගූගල් සමාගමට ලබා දුන්නේ අවම ඉඩකි. මේ වන තුරුම චීනයේ ගූගල් සෙවුම් යන්ත්‍රය මෙන්ම යූ ටියුබ්ද, ගූගල් විද්යුත් තැපැල් ක්‍රමය වන ජීමේල් ද තහනම්ය. මේ අන්දමින් අන්තර්ජාලය පරිහරණයේදී චීන ජාතිකයන්ට පනවා ඇති සීමා මායිම් චීනයේදී හඳුන්වන්නේ 'මහා ගිනි ප්‍රාකාරය' යන නමිනි. තම සමාගමට රට තුළ ක්‍රියාත්මක වීමේ ඉඩකඩ අවහිර කිරීම හේතුවෙන් චීන රජය සමග අමනාපයට පත් වූ ගූගල් සමාගම 2010 වසරේදී සම්පූර්ණයෙන් චීනයෙන් ඉවත් විය. එහෙත් ව්‍යාපාරවලදී අමනාපකම් සදාකාලික නොවන බවට තවත් උදාහරණයක් දෙමින් ගූගල් සමාගම යළිත් ක්‍රමක්‍රමයෙන් චීනයට ප්‍රවිශ්ට වීමේ මාර්ග සොයන්නට වූයේ මිලියන 730ක පාරිභෝගිකයන් තමන්ට එතරම්ම වටිනා බැවිනි.

මීට මාස කිහිපයකට පෙර, එනම් පසුගිය මැයි මාසයේදී ගූගල් සමාගම විසින් චීනයේ පැවැත්වීමට සියලුම කටයුතු යොදා තිබූ මිනිසාට එරෙහිව පරිගනකය නම් වූ ප්‍රසංග - ප්‍රදර්ශනය අවසන් මොහොතේදී චීන රජය විසින් අවලංගු කිරීමට කටයුතු යොදනු ලැබීය. මේ ප්‍රදර්ශනය දින පහක් පුරා පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබිණ.

එහෙත් තම උත්සාහය අත් නොහැරි ගූගල් සමාගම මෙවර නම් චීන රජයේ සහය ලබා ගැනීමට සමත් වී තිබේ. කෘත්‍රීම බුද්ධිය වර්ධනය කිරීමේ වැදගත්කම වටහා ගෙන සිටින චීන රජය ඒ සම්බන්ධයෙන් තම රටේදී පර්යේෂණ පැවැත්වීමේ වරප්‍රසාදය සමග රජය සමග එක්ව වැඩ කිරීමේ වරප්‍රසාදයද ගූගල් සමාගමට ලබා දී තිබේ. මේ පර්යේෂණ මධ්‍යස්ථානය ආරම්භ කරණු ලැබ තිබෙන්නේ ඒ අනුවය.

පසුගිය දිනකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබුණේ අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය‍ේ නායකයා වන්නේ කවුද ඔහු ලෝකයේ පාලකයා වනු ඇති බවයි. පුටින් මෙය හුදෙක් ප්‍රකාශයක් ලෙස සිදු කළද ගූගල් සමාගමට තම රට තුළ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමේ අවසරය ලබා දීමෙන් චීන රජය නම් පුටින්ගේ මේ ප්‍රකාශය මහා ඉහළින් පිළිගෙන ඇති බව නම් පැහැදිලිය.


පුටින් සිරියාවේදී ජයග්‍රහණය ගැන කියයි

හදිසියේම සිරියාවේ සංචාරයක නිරත වූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අයිඑස් අයිඑස් ත්‍රස්තවාදීන් සමග මෙතෙක් කල් සිදු කළ යුද්ධයේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියේය. එහිදී ඔහු පවසා සිටියේ වසර දෙකක් පුරා අයිඑස් ත්‍රස්තවාදීන් සමග සිදු කළ යුද්ධය සාර්ථකව අවසන් කළ බවයි. තම රට සිරියාවේ පැවති යුද්ධයට එක් වූයේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හුදෙකලාව ත්‍රස්තවාදීන් සමග නිරත වූ සටනට සහය දීමක් වශයෙන් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. දැන් යුද්ධය අවසන් බැවින් රුසියානු හමුදා සෙබලුන්ට නැවත සිය රට බලා යෑමේ හැකියාව පවතින බවද එළෙස ඔවුන් නැවත සිය රට යන්නේ පැමිණි අරමුණු ඉටු කර ගත් ජයග්‍රහී හමුදාවක් වශයෙන් බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

පුටින් මේ අදහස් දක්වා සිටියේ සිරියාවේ ලටාකියා ප්‍රාන්තයේ හෙමිමිම් ගුවන් හමුදා කඳවුරේදීය. ඔහු මේ සඳහා හෙමිමිම් ගුවන් කඳවුරම තෝරා ගැනීම සිදු කර ඇත්තේ හේතු සාධක සහිතව බව විචාරකයන්ගේ මතය වී තිබේ. හෙමිමිම් ගුවන් කඳවුර අයිඑස් ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථානයක් වූ අතර එයට අමතරව මේ භූමි ප්‍රදේශය මීට පෙර අවස්ථා කිහිපයකදීම සිරියාවේ අසල්වැසි ඊජිප්තුවේ සහ ලිබියාවේ අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලටද ලක් විය.

මෙහිදී පුටින්ගේ කථා ශෛලිය සහ ශරීර භාශාවද, කථාවේ යටිපෙළද විචාරයට ලක් කළ විදෙස් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබෙුණේ මෙහිදී පුටින් ආමන්ත්‍රණය කරන්නේ හුදෙක් ත්‍රස්තවාදයට පමණක් නොවන බවයි. සිරියාවේ අසල්වැසි රටවලට මෙන්ම මැදපෙරදිග කලාපයටද ඔහු මේ මගින් කිසියම් දැනුම් දීමක් සිදු කරන බව විචාරකයන්ගේ මතය වී තිබේ.

තවත් ධූර කාලයක් සඳහා ජනතාවගෙන් වරම් ඉල්ලීමේ අදහසක් තමා තුළ පවතින බව පුටින් පසුගියදා රුසියාවේදී ඉඟි කර සිටියේය. එබැවින් මෙවැනි සිදුවීම් මගින් තමන්ගේ ප්‍රතිරූපය තව තවත් ඉහළ නංවා ගැනීමේ උත්සාහයක රුසියානු ජනාධිපතිවරයා නිරතව සිටින බව විචාරකයන්ගේ මතය වී තිබේ. ඒ කෙසේ වුවද විචාරකයන් වැඩිදුරටත් පවසා සිටින්නේ මෙවැනි උත්සාහයන්ගෙන් තොරව වුවද තවත් ධූර කාලයකට පුටින්ට රුසියාව බාර දීමට කිසිදු රුසියානුවකු දෙවරක් නොසිතනු ඇති බවයි. 

 

Comments