
ඇතෑන්ස් සීන්ස් දෙව් මැදුර සෑදීමට පටන් ගත්තේ බොහෝ කලක සිටය. මේ දෙව් මැදුර සෑදීමේදී බොහෝ අඟ හිඟකම් මතු වුවත් ප්‍රැන්සිස්කෝ පියතුමාට මෙය අත් හැරීමට සිත් නොවීය. ඔහු මේ පිළිබඳ නොයෙක් ධනවතුන්ට කියමින් ඔවුන්ගේ උදව් ඉල්ලුවේය. එහෙත් ඉන් පලක් නොවීය. අවසානයේ ඔහු ඒ සියල්ල අතහැර දමා අධෛර්යවත්ව සිටියේය. බොහෝ පුද්ගලයන් දෙව් මැදුරට ආ ගිය ද ඔවුහු ද ඒ ගැන කිසිදු තැකීමක් නොකළහ.
ඒ ඇතෑන්ස් නුවරට ග්‍රීස්මය එළඹි වකවානුවයි. ප්‍රැන්සිස්කෝ පියතුමාට දුර බැහැරට යාමට සිදු විය. වෙහෙස මහන්සිය නොබලා ඔහු දෙවියන් වහන්සේගේ කාර්යය සඳහාම කැපවූයේය. බොහෝ දුෂ්කර මාවත්වල ඇවිදිමින් දරුවන් උදෙසා දේශනා පැවැත්වීය. දෙමව්පියන් නැති අසරණ දරුවන් උදෙසා සේවයක් කිරීමට අවස්ථාව ඔහුට උදා විය. මේ සියල්ල සතුටින් හා සමාදානයෙන් කිරීමට හෙතෙම වග බලාගත්තේය.
‘‘මම නැවතත් ඇතෑන්ස් යන්න ඕනේ.’’
‘‘ඒත් පූජක තුමනි මේ කාලය නොවෙයි. මේ කාලයට ඇතෑන්ස් නුවර අධික උණුසුමක් පවතිනවා. ඔබ එහි නොයන එක තමයි හොඳ. ’’
මේ කුමන දෙයක් කීවද පූජකවරයා තම අදහස අත්නොහරියේය. නැවත තම නුවරටම පැමිණීම ඔහුගේ පරමාර්ථය විය. දූවිලි කුණාටු බහුල කාලයක් වුවද හෙතෙම නැවතත් ඇතෑන්ස් නුවරට ළඟා විය. ගෙවී ගිය මාස දෙක තුන ඉතාමත් පීඩාකාරී වුවත් තමන් කළ සේවය ගැන සිතමින් පූජක තැන සතුටු වූයේය. දෙවියන්ගේ කාර්යය නිසි පරිදි කරන විට තමන්ගේ කාර්යය දෙවියන් ඉටු කරන බව පූජක තැන දැන සිටියේය. මේ නිසා දෙව් මැදුර ගොඩනැඟීම එතරම් අමාරු වූවක් ලෙස ඔහු නොසිතුවේය. එහෙත් සසල වෙන අවස්ථා බොහෝ තිබුණි. ඉරිදා පැවැත්වෙන සෑම දේව මෙහෙයක්ම අතුරු සිදුරු නැතුව ජනතාවගෙන් පිරී තිබුණි. ඔවුන් සියලුදෙනාටම එක්ව සිට නමස්කාර කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩක් දෙව් මැදුර තුළ නොවීය. බොහෝ දෙනා දෙව්මැදුරෙන් පිටත බංකුවල අසුන් ගෙන සිටියහ. ඒ කිසිවකුට දෙව්මැදුර සාදා ගැනීමට ධනයක් ලබා දීමට තරම් හැකියාවක් නොවීය. මේ පිළිබඳ සෑම දිනම පූජකවරයා කණගාටු වූයේය.
එය ද ඉරිදා දිනකි. දේව මෙහෙය අවසන් කළ පූජකවරයා දහවල් ආහාර ගනිමින් සිටියේය. මහලු ස්ත්‍රියක් වේගයෙන් දේවස්ථානය දෙසට එනු පූජකවරයාගේ නෙත ගැටුණි. ඇය දෙව් මැදුර ඇතුළට පැමිණීමට ප්‍රථමයෙන්ම පූජකයාවරයා ඇය ඉදිරිපිටට ගියේය. එක එල්ලේ පූජකවරයාගේ නෙත් දෙස බැලූ ඇය , ‘‘පූජකතුමනි ඔබ දන්නවා ද මං කවුද කියා.’’ පූජකවරයා මඳක් කල්පනා කළේය. ඉන්පසු, නැතයැයි හඟවමින් ඔළුව දෙපසට වැනීය. මට හරි....යට මතක නෑ. ඇත්තටම මං දන්නේ නෑ. පූජකවරයා සිනාසෙමින් පිළිතුරු දුන්නේය.
‘‘මම තමයි මේ වතු යායෙම අයිතිකාරිය. ඒ කියන්නේ මේ පල්ලිය තියෙන භූමියත් මගෙයි.’’ පූජකවරයාගේ ඇස් උඩ ගියේය.
‘‘මොනවා මේ පල්ලිය තියෙන භූමිය ඔබේ? ඒත් මේ භූමියේ දැන් තියෙන්නේ පල්ලියක් නේ. මං මේ පල්ලිය ගොඩනඟන්න උත්සාහ ගන්නවා. ඉරිදාට විශාල ජනතාවක් මේ පල්ලියට එනවා. ඇරත්...... දැන් නත්තලත් ළඟයි. මේ හදිස්සියට අපිට අලුත් පල්ලියක් සොයා ගැනීම අපහසුයි.’’
එහෙත් ස්ත්‍රිය එකහෙළාම පල්ලි තිබෙන භූමිය ඉල්ලා සිටියේය. පූජකවරයා නිසොල්මන්ව සිටියේය. ඇගේ වචන අපහසුය. ඉවසා සිටීමට කිසිසේත්ම නොහැකිය.
‘‘මම නැවතත් ඔබ හමුවීමට එනවා.’’ ස්ත්‍රිය එසේ කියා පිටව ගියාය. එහෙත් ඇයගේ උත්සාහ අත්නොහැරියාය. වරින් වර පූජකවරයා හමුවීමට පැමිණ දේවස්ථාන භූමිය ඉල්ලා සිටියාය.
‘‘ඔබ ඇයි මේ භූමියම ඉල්ලා සිටින්නේ’’
මෙය මට පරම්පරාවෙන් ලැබුණ භූමියක්. ඒ නිසා මේ භූමිය මට ඕනේ.
එහෙත් මේ පිළිබඳව පූජකවරයා කිසිවක් කිරීමට නොහැකි වූවේය. ඔහු දෙවියන් යදිමින් යාච්ඤා කළේය. එහෙත් කිසිදු පිළිතුරක් නොවීය. අවසානයේ ස්ත්‍රියගේ සිත සැහැසි විය. ඇය දෙව් මැදුරට විත් පූජකවරයාට සාප කළේය. එය කෙළවරක් නැති විය. හැම උදෑසනකම පූජකවරයා බැහැදැකීමට පැමිණ ඇගේ ක්‍රියාව කළාය. පූජකවරයා තමන්ගේ යාතිකාව අත් නොහැර තමන්ට දේවස්ථානය ගෙන යාමට භූමියක් ඉල්ලා සිටියේය.
තව තිබුණේ නත්තලට සතියකි. දේවස්ථාන භූමියේ බොහෝ සෙනඟ ගැවසෙමින් සිටියහ. එහෙත් අර නපුරු ස්ත්‍රිය නො ආවාය. පූජකවරයා සෑම උදෑසනකම ඇගේ සාපය බලාපොරොත්තුවෙන් දෙව්මැදුරේ කවුළුවෙන් පිටත බැලීය. එහෙත් ඇය නාවාය.
‘‘ඇයි ඇය නාවේ. ඈ කියන්නේ මේ භූමිය ඇගේ පරම්පරාවේ කියා. ඒත් මේ භූමිය පල්ලියක් කියා තමයි මම දන්නේ.’’ මෙවැනි නොයෙක් කල්පනාවන්හි නික්මුණ පූජකවරයා අවසානයේ ඇයට කුමක් වූයේදැයි කියා සිතුෙව්ය. නත්තල් දින උදාවිය. පූජකවරයා ස්ත්‍රිය සාප කිරීමට නාවේ මන්දයැයි සොමින් ඇගේ නිවස සොයා ගියේය. පූජකවරයා ඒ නිවසට ළඟා වෙන විට අන්ධකාරය පැතිරෙමින් තිබුණි. නිවසේ ඉදිරිපස චිමිනි ලාම්පුවක් දැල් වෙමින් තිබුණි.
‘‘ගෙදර කවුද ’’
පූජක තැන දෙපාරක් තුන්පාරක් කතා කළේය. එවිට මහලු ස්ත්‍රිය සැරමිටි වාරුවෙන් පිටතට පැමිණියාය.
පූජකතුමා?
ඇය මවිත වූවාය.
‘‘මම පසුගිය දින කීපයේම බලාගෙන සිටියේ ඔබ මට සාප කරන්නට එනතෙක්. ඒත් ඇයි ඔබ නාවේ?’’
පූජකවරයාගේ කතාවෙන් ඇගේ දෑස් විසල් වූවාය. ම.....ම...... ඇයට ගොත ගැසුණි.
‘‘අනේ පූජකතුමනි මම ලෙඩ වුණා. ඒකයි මං නාවේ.’’
‘‘ඒත් මං සෑම උදෑසනකම ඔබේ සාපය බලාපොරොත්තු වුණා.’’
ස්ත්‍රිය තරමක් පැකිළී ඒ ඇයි දැයි ඇසුවාය.
‘‘ඔබ දුන් සාපය සෑම උදෑසනකම මං දේව පාමුල තබා එය ආශිර්වාදයට පෙරළන්නැයි දෙවියන්ගෙන් ඉල්ලනවා. එවිට උන්වහන්සේ උන්වහන්සේගේ සැපයීම මට මුදා හැරියා.’’
ස්ත්‍රියට ඇගේ උගුර හිරවී යන්නාක් මෙන් දැනුණි.
‘‘ මොනවා?’’
‘‘මේ තියෙන්නේ අපේ ඇදිහිලිවන්තයන් අපේ පල්ලි නිදහස් කරලා දෙන්න කියලා මට දුන් පඬුරු. මෙතන ඔබ ඉල්ලුවාටත් වඩා මුදල් තියෙනවා. මේ මුදල් ගන්න.’’
ස්ත්‍රියට ඇගේ දෙපා පණ නැතුව යනවාක් මෙන් දැනුණි.
‘‘පූජකතුමනි මට මේ පල්ලිය තියෙන භූමිය එපා. ඒක මගේ මවුපිය උරුමය වුණත්, ඔබ එය දෙවියන්ගේ උරුමය වෙනුවෙන් තබා ගන්න.’’
ඇගේ දෑසින් කඳුළු ගලන්නට විය.
සාපය ආශිර්වාදයට පෙරළූ දෙවියන්ට ස්තූති වේවා.
පූජකවරයාගේ මුවින් ස්තුති ප්‍රසංශා නික්මුණි.