ආදරේ දන්නේ තාත්තලා විත­ර­මයි | සිළුමිණ

ආදරේ දන්නේ තාත්තලා විත­ර­මයි

දොළහයි හතළිස්පහේ ප්‍රවෘත්ති පසු වූවාට පසු ආරම්භ කිරීමට තිබුණේ මගේ වැඩසටහන. මොහොතකට වැඩසටහන ප්‍රමාද කිරීමට සිද්ධ වුණේ විදුලිය ඇන හිටීමක් නිසා. නැවතත් තේමා පාඨය ඇසෙන සැණින් මම ගුවන්විදුලි මයික්‍රෆෝනයට සූදානම් වුණෙමි. ආදරණීය කාන්තාවනි, නැවතත් ආදරයෙන් ඔබ හමුවට, මේ ආරම්භ කිරීමට යන්නේ දිරිය අරණ කාන්තා වැඩසටහනයි. හැඩවැඩ අරුත් ගැන්වීම් ඔබෙන්, ඔබේ දිරිය අපට දිරියක්, සැම බාධා පරදා සිතේ සවිය ශක්තියක් වූ ඔබට දිරිය අරණ දිරියක් වේවි... පුරුදු විදිහට මා ආරම්භය ලබාදී මිනිත්තු පහක් යන්නට පසු හදිසියේම දුරකතනය නාදය වුණා. හලෝ.... ඔව් කියන්න.

දිරිය අරණින් ආයිබෝවන් කියා ඔබ පිළිගන්නවා... ආයිබෝවන්! අනිත් පැත්තේ සිටි කාන්තාව සිනා හඬ අතරින් මා පිළිගත්තාය. ඇගේ සිනාව මගේ සිතට දිරියක් වුණි. වැඩසටන සඳහා බොහෝ දෙනා ලිපි එවා තිබුණද ඒවා කියවා සියල්ල එකතු කරගැනීම එතරම් පහසු නොවීය. වැඩසටහන පටන් ගැන්මේ සිට අවසානය වන තෙක්ම වේලාව ගෙවී යෑම පිළිබඳ මට නිසි අවබෝධයක් තිබුණි. බොහෝ රාත්‍රි දිනවල දිරිය අරණ වැඩසටහනට එන ලිපි මවිසින්ම කඩා කියෙව්වෙමි. මාරි අනුත්තරා දික්වැල්ල. වටකුරු රවුම් අත්අකුරු එකිනෙක ගැළපීම පහසුවිය.

මම දිරිය අරණ වැඩසටහන අසන්නියක්. මම ඔබේ ඉදිරිපත් කිරීමට කැමැතියි. ඔබේ හඬ මට හොඳට හුරුයි. ඒත් මට ඔබ කවුද කියලා හරියටම හඳුනාගන්න බැහැ. මේ කතාව කියවන කොට මිස්ට මොනව හිතෙයි දන්නේ නැහැ. සුනාමිය මගේ මුළු ජීවිතේම වෙනස් කළා. දැන් වුණත් මුහුද හයියෙන් කෑගහන කොට මට බයයි. ඒත් කවදාවත් අපිට මුහුද අත්හරින්න බැහැ. මුහුදට අපිව අත්හරින්නත් බැහැ. මුහුද අපිත් එක්ක බද්ධ වෙලා.

නිලාවැලි වෙරළ තාමත් මම හරියට දැකලා නැහැ. ඒත් ඒක හරියට දකින්න මට ආයි කවදාවත් ලැබෙන එකක් නෑ. සුනාමිය එනවා කියලා අපිට මුලින්ම කිව්වේ ඇන්ටන් බාප්පා. මට සුනාමිය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඉස්කෝලෙදී මං අහලා තිබුණේ විහාර මහදේවියගේ කතාව විතරයි. ඒ කතාවේ වගේ අද මුහුද ගැලුවට බිලි වෙන්න විහාර මහදේවිලා නෑ. මුහුද හෝ ගාගෙන ගොඩට ආවා. අපි ඇදගෙන හිටිය අඳුම පිටින්ම දුවලා ගියා. තාත්තා මුහුද ගිහිල්ලා කියලා මට මතක් වුණා.

මගේ පපුව හෝස් ගාලා ගියා. ඇන්ටන් බාප්පේ... තාත්තා කොහෙද? මං අහනකොට ඇන්ටන් බාප්පා කිව්වේ හිත හදා ගන්න කියලා. අම්මා නැති මට, අම්මයි තාත්තායි දෙන්නම වුණේ තාත්තා. අම්මා කෝ කියලා මං ඇහුවහම තාත්තාගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. තාත්තා කිව්වේ නම් සන්තානන් මෑණියෝ අම්මා ගත්තා කියලා. මං ආයිත් ආයිත් අහන්න ගිහිල්ලා තාත්තාගේ හිත රිද්දුවේ නැහැ. අපේ ඉස්කෝලේට ආව ළමයින් ගේ තාත්තාලා හැමෝම වගේ මුහුදු රස්සාව කෙරුවේ. ඒක භයානක වුණත් මාදැලක් ගොඩට එන කොට හැමෝම වැල්ලට දුවලා එනවා.

ඒත් මං ඒ දිහා බැලුවේ හරිම දුකෙන්. අම්මෝ... මාළු පැටව් දඟලන හැටි. මගේ හිතේ අම්මා තාත්තා නැතුව වරිගේ එවුන් නැතුව ගොඩ ආවහම උන්ට තනිකමක් බයක් එනවා ඇති. අපිට එහෙම වුණොත් මොනවා වේවි ද කියලා මට හිතුණා. හවසට ඈන් එක්ක මමත් වෙරළට දුවලා යනවා. ළමයිනේ මේ වාරකං කාලේ. තාත්තා හයියෙන් කෑගනවා. අනේ ඒ දවස්වලට මුහුද ලස්සනයි. මුහුද මාරා වේශයෙන් ඇවිත් ගල්වල හැපෙනවා. මමයි ඈනුයි බලාගෙන ඉන්නවා. අනූ... ඔයාගේ ගවුම තෙමිලා.

කමක් නෑ. මං මුහුද එක්ක තරහ නෑ. මුහුද තමයි අපිට කන්න දෙන්නෙ. මුහුද තමයි පොත් ගන්න සල්ලි දෙන්නේ. මුහුදට මං ආදරේයි. සමහර දවස්වලට ඉර බැහැගෙන යන හැටි බලන්න මං මුහුද ළඟට එනවා. ඉර ගිනි බෝලයක් වගේ මුහුදේ ගිලෙනවා. ආ... ආ...න්න එයා යන්නම ගියා. හෙට ඒවි. ඈන් මගේ කන හිමිහිට මිරිකුවා. අපේ තාත්තා දැන් දුර ඈත ඇත්තේ. අද ලැන්තෑරුම් අරගෙන ගියෙත් නැහැ. විල්බට් මහත්තයාගේ මෝටර් බෝට්ටුවේ යන්නැති. මං හිතන්නේ සන්තානම් මෑණියෝ අපටත් කවදා හරි මෝටර් බෝට්ටුවක් දේවි.

මං හිතන්නේ එයා අපිට ගොඩක් ආදරේයි. එකපාරක් මුහුදු යන්න ඉස්සෙල්ලා තාත්තා මාව එක්කගෙන අන්තෝනි මුනිතුමාගේ පල්ලියට ගියා. මුනි තුමනි අම්මා නැති කෙල්ල රැකලා දෙන්න. අනේ මුනි ‍තුමනි, අපි හැමදාම මූදේ මේ කෙල්ලට ඉන්නේ නැන්දා විතරයි. ‍ තාත්තා ඉටි පන්දම් පත්තු කරලා මුනිතුමා ළඟ වැඳ වැටුණා. එදා මට හිතුණා තාත්තා මට කොව්වර ආදරේද කියලා. තාත්තා මුනිතුමා දිහා බලාගෙන ඉන්න කොට ඇස්දෙකෙන් කඳුළු වැටුණා. මුනිතුමා... මගේ දරුවා බලාගන්න ඇස්දෙක වගේ අනේ මගේ දරුවා බලාගන්න... තාත්තා කෑගහලා ඇඬුවා.

මං කවදාවත් එහෙම දෙයක් දැක්කේ නැහැ. ඒත් මට කියන්න බැරි වුණා තාත්තා බලාගන්න කියලා. මං කවදාවත් තාත්තාගේ කඳුළු දැකලා නෑ. ඉස්කෝලේ මිස් කිව්වේ මුහුදු යන්නේ හිත හයිය මිනිස්සු කියල. ඒ නිසා මං මගේ තාත්තා ගැන ආඩම්බර වුණා. මගේ තාත්තාගේ හිත හයියයි. ඇත්තටම හිත හයියයි. ඇත්තටම මං වාසනාවන්තයි. සමහර දාට තාත්තා මුහුදු ගිං ආවේ රෑට. රෑට බෝට්ටු සද්දේ ආවහම අපි වෙරළට දුවනවා. මාරි... මාරියෝ... නැගිටින්නකෝ... තාත්තා ආවා. නැන්දාගේ ශබ්දෙට මං එකපාර නැඟිටිනවා. නැන්දා මට අම්මා කෙනෙක් වුණා.

ඈන් තමයි නැන්දාගේ එකම දුව. අපි දෙන්නා කෑවේ එක පිඟානේ. ඒක ලොකු බෙලෙක් පිඟානක්. එහෙම කනකොට නැන්දා හිනාවෙලා කියනවා, අපිට තව පිඟන් තියෙනවා කියලා. ඒත් ඈන් අනන බත් කන්න මං හරි ආසයි. ඒකට හේතුවක් තිබුණා. ඒ හැම බත් කටකම යාළුකමයි ආදරෙයි තිබුණා. සමහරදාට මං ඈන්ගේ ඇඳුම් අඳිනවා. ඈන් කළු වුණාට හරිම හැඩයි. මමත් ආසයි ඔයාගේ පාටට මං ඈන් දිහා බලලා එහෙම කිවුවහ ඈන් දෙවුර අකුලනවා. අපෝ... අප්පා කළු පාට ලස්සනද? ඈන් මගෙන් එහෙම ඇහුවා. ඒත් අපේ තාත්තා කළුයි නේ. ඒත් ඔයාගේ අම්මා සුදුයිලු දන්නවාද? මම එකපාරටම ඈන්ගේ මුහුණ බැලුවා.

ඈන් මගේ ඔළුව අත ගෑවා. මං ආදරේ තාත්තාට. ඒ ඇයි? අපි හැමදාම අගේ කරන්න ඕනේ අපි ළඟ තියෙන දේ. ඔයා හරියටම හරි. අම්මා මට මතක නෑ . එයා ස්වර්ගයේ ඉඳන් අපි දිහා බලාගෙන ඇති. අපි මළවුන් සිහිපත් කිරීමේදී එයා සිහිපත් කරනවා. තාත්තා අම්මාට ගොඩක් ආදරේ කළා කියලා දැක්කකේ අන්න ඒ දවසේදී. මාරි ඔයා හරියටම නිර්දා වගේ. නිර්දාත් හිනාවෙන කොට ඔයා වගේමයි. හැබැයි නිර්දා හැමදේටම බයයි. ඔයා හැම දේටම එඩිතරයි දුව. දෙවියෝ ඔයා දිහා බලන් ඉන්නවා. මගේ අම්මාගේ නම නිර්දා නිෂ්වාන්. මම අම්මා දැක්කේ පොටෝ එකකින් විතරයි. අම්මාගේ අඩුව පුරවන තාත්තාලා තවත් ඇති .

මම මාරිගේ ලියුම කියවලා හයියෙන් හුස්මක් ගත්තා. ඉතිරි ටිකත් සීරුවෙන් කියවන්න පටන් ගත්තා. ආ.... මිස් මේ සමඟ ඇති නත්තල් කාඩ් එක මං හැදුව එකක් ඒක බාර ගන්න ඒත් ඒක ලස්සනද කියලා මං දැක්කේ නැහැ. ආ... ඒ පාර මං පුදුම වුණා. ඒක හරි කතාවක්. එයා හදපු නත්තල් කාඩ්-එක එයා දැකලා නැහැ. මේ මොන පිස්සු කෙල්ලෙක්ද? මම නැවතත් ඇගේ ලිපියේ ඉතිරි ටික කියෙව්වා.

මිස් සුනාමි දවසේ ඇන්ටන් බාප්පා කිවුවත් මං බලාපොරොත්තු අතහැරගත්තේ නෑ. මං තාත්තා සොයමින් හැම තැනම ගියා. සුනාමිය අපේ ගෙවල් විතරක් නෙවෙයි අපේම නෑදෑයෝත් අරං ගියා. ඊයේ එකට බත්පත බෙදාගෙන කෑව අය පහුවදා දැක්කේ නෑ. මං හිටියේ ඉස්කෝලෙක.

මේ දවස්වල මගේ ඇස්වල ලෙඩක් ආවා. ඒත් මං ගනන් ගත්තේ නෑ. සති දෙකකට විතර පස්සේ හොඳට අව්ව පෑව්වා. මං හිතුවා තාත්තා ඒවි කියලා. මේ අතරතුර වෙරළේ ගියේ අමුතු කසුකුසුවක්. ඒ තමයි වෙරළට මිනී ගොඩගහලා කියලා. මං වෙරළට දුවලා ගියා. දෙවියනේ අපේ තාත්තා... මට මගේ හිත වාවගන්න බැරි වුණා. මගේ විලාපය නවත්වන්න කාටත් බැරි වුණා. සන්තාන් මෑණියෝ මගේ තාත්තාත් අරගෙන ගියා. අනේ මට කවුරුත් නෑ. මං කෑ ගහලා ඇඬුවා.

ඇන්ටන් බාප්පාත් වයලා නැන්දත් මාව සැනසුවා. ඒත් මං දන්නවා ආදරේ දන්නේ තාත්තලා විතරමයි කියලා. මං කියන්නේ ඇත්තම ඇත්ත. ආදරේ දන්නේ තාත්තලා විතරයි. මං කෑගලා අඬන කොට මුළු වැල්ලේම ඈයෝ ඇඬුවා. ඒත් මුහුද මුකුත් නොකළා වගේ නිශ්ශබ්දව හිටියා. මං අමාරුවෙන් හිත හදාගෙන නැවතත් නැඟිට්ටා. මිස්ගේ දිරිය අරණ නිසා මං නත්තල් කාඩ් හදන්න පටන් ගත්තා. මං මිස්ව බලන්න ඉක්මනට එනවා. ජේසු පිහිටයි!

ඇයගේ ලිපිය කියවා ඉවර වීමෙන් පසු මගේ හිතට දැනුණේ වේදනාවකි. ඒත් මගේ හිතේ ඇති වූ ප්‍රේහෙළිකාව ඈ සෑදුව නත්තල් කාඩ් එක ඇය නොදැක්ක බවයි. දින සති ගෙවී ගියේ වේගයෙනි. දවසක් මට ලැබුණ ඇමැතුම නිසා මම ඔෆිස් එකේ අමුත්තන් හමු වෙන විසිත්ත කාමරයට ආවේ මා හමු වීමට ආ අමුත්තා දැකගැනීමට. සුදු සැරයැටියක් ආධාරයෙන් ඇවිත් සිටි තරුණිය මා හඳුනාගත්තේ නැත. ඒත් ඒ හඬ මට හුරුය.

මිස්... මං මාරි අනුත්තරා දික්වැල්ල.

ඔයා....? ඇත්තටම ඒ නත්තල් කාඩ්-එක හරිම ලස්සනයි. 

Comments