
මාන්තල්ල හන්දියෙන් හැරි වංගුවක් ගත්ත ගමන්ම සුගුනවතීලාගේ ගෙදර හමුවේ. සුගුනවතී කියලා ගමේ ඇත්තො කිවුවට ඇත්ත නම සිරියලතා. සිරියලතා ට තිබුණේ දිග කොණ්ඩයක්. වාසිටි ගියාට පස්සේ තිබුණ දිග කොණ්ඩේ ටිකෙන් ටික කොට වුණේ හිතා ගන්න බැරි විදිහට. ඇත්තටම හද්ද මූකලං හත්පත්තුවක ඉඳලා කොළඹ දැක්කම සුගුණට අදහා ගන්න බැරි වුණා. දවසක් තට්ටු දෙකේ බස් එකකට පොදි කාල නැඟ ගත්තහම නීලංබර මහතුවාගේ බරබාගේ මතක් වුණා. සුගුණා නීලංබර මහතුවගේ බරබාගේ දුවලා ගිහිල්ලා එල්ලෙන්නේ දං අහුරකුත් කටේ දාගෙන.
''මේ සුගුණෝ අපේ ඇඳුම්වල නම් දං ගාන්න එපා.''
වටේ පිටේ හිටිය අනිත් ළමයි කෑ ගැහුවත් සුගුණා නෙවෙයි ගානකට ගත්තේ. මේ අතර සුගුණාගේ දඟ වැඩවලට නීලංබර මහතුවට හරි කැමැතියි. වැඩිහිටියෙක් අවවාද දෙනවා වෙනුවට නිලංබර මහතුවා කළේ බුලත් කෑ දත් අන්ද පෙන්නලා හිනා වුණා එක.
''අනේ පව් අප්පා පොඩි කෙල්ල ඇත්තට ළමා වයස නේ ''
''මොන ළමා වයසක් ද එතකොට අපේ එවුන්''
එක අම්මා කෙනෙකුට නොරිස්සු නිසා නිලංබර මහතුවා දෙස රවා බැලීය.
''අනේ අම්මාත් නැති කෙල්ල''
නීලංබර මහතුවා සුගුණා දිහා බලාගෙන කීය. ඉස්කොලේ ගවුමට සුගුණා හරි හැඩයි. කවුරු මොනවා කිවුවත් සුගුණට තිබුණ ළෙන්ගතුකම කොහොම අඩු කරන්නද? අම්මා නැති වෙන කොට සුගුණා කෙලී ගේ වයස යන්තම් අවුරුදු පහයි.
සුගුණා කෙලී අම්මා ළඟට ඇවිල්ලා දෙපාරක් තුන්පාරක් කතා කළත් අම්මා බැලුවේ නැහැ.අම්මා හොඳටම නිදි. තාත්තා ඇයි අම්මා ඇහැරවන්නේ නැත්තේ?සුගුණා තාත්තාට වද කළත් තාත්තා ගාණකටවත් ගත්තේ නැහැ. දින තුන හතරකට පස්සේ අම්මා වළකට දැම්මා. සුගුණා කෑගැහුවා. වයලට් ආත්තම්මා සුගුණාව පරක්කුරගත්තත්, නීලංබර මහතුවට නම් දුකක් දැනුණා.
ඇත්තටම සුගුණා හදා ගන්න ඇත්නම් කියලා පළවෙනි වතාවට හිතට ආවේ අන්න ඒ වෙලාවේ. ඒත් මිනිස්සු හිතාවි පිස්සු කියලා. නිලංබර මහතුවා අඩි දෙකක් පස්සට තිබ්බා. ඇත්තටම මේ ඔල්මාදේ මොකද්ද කියලා හරියට හිතාගන්න බැහැ. මේ අතරතුර තමයි සුගුණා ලොකු ළමයෙක් වුණේ. බලන්න එපායෑ ඒ තරම් උස මහත නොවුණත් සුගුණා කෙල්ලගේ ලස්සන. හරියට රූප සුන්දරියක් වගේ. බක්කි කරත්තයේ කොහොම හරි සුගුණා වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න නීලංබර මහතුවා අමතක කළේ නැහැ. පොඩ්ඩක් වැඩිමල් වුණාට කමක් නැහැ. උසස් පෙළ ඉවර වුණ ගමන් මං කෙළීව සහේට ගන්නව. නීලංබර මහතුවා සිහින දැක්කේ ඒ විදිහට.
ඒත් උසස් පෙළින් ඉහළින්ම සමත් වෙලා සුගුණා විශ්වවිද්‍යාලයට තේරුණෙ සුගුණාගේ වාසනාවට. අම්මා නැති කෙල්ල කියලා කවුරුත් අනුකම්පා කළත් සුගුණා ඒ අනුකම්පාවෙන් ගත්තේ වැරැදි ප්‍රයෝජන . සුගුණා එදා දුන්න ගොළු හදවත නීලංබර මහතුවා ළඟ තවමත් තියෙනවා.
''අනේ මේකේ මොනවා හරි ලියලා දෙන්නකෝ.''
''මොනවා ලියන්නද? අප්පා..''
සුගුණා හිනාවෙවි නිලංබර මහතුවා දෙස බැලුවා.
''හෙට අනිද්දා උපාධිධාරිනියක් වුණහම කාටද අප්පේ ආඩම්බර.... ''
බක්කි කරත්තෙන් ගොනා ලිහා දාලා, රෑට කිතුල් තෙලිජ්ජ ටිකක් කටේ දාගත්තම නීලංබර මහතුවා සුගුණා මතක් කර කර සීපද කිවුවා.
''අනේ බං ඔය පිස්සුව නවත්තපං. ඒකිට වාසිටි කොල්ලෙක් ඉන්නවලු. ඇත්තටම උඹයි ඔයින් අමාරුවේ වැටෙන්නේ. ''
දවසක් පිස්සුවෙන් වගේ නීලංබර මහතුවා ලොරියක නැඟලා කොළඹ ආවේ සුගුණ බලන්න. කියාපු විදිහට විශ්වවිද්‍යාලට යන්න කීපදෙනකුගෙන්ම පාර ඇහුවා. ඇත්තටම හරියටම සුගුණා ඉන්න තැන හම්බු වුණා.
''සුගු.....ණා''
''නැහැ. මං සුගූ''
ඇය යන්තං සිනාසුණා.
''මාව මතකද?''
හූ ආ...යූ
''හූ කියන්න පුළුවන් මෙතන තැන නොවෙයි.''
නීලංබර මහතුව තරහෙන් ඔරවා බැලුවා. සුගුණාගේ දිග කොණ්ඩය බෙල්ල තෙක් කපා තිබුණා. උස අඩි පාවහන් නිසා සුගුණා ගමන් කළේ තරමක් අපහසුවෙනි. ඇගේ තොල්වල ලේ තැවැරී ඇති ලෙසින් සායම් උලා තිබුණි. කොණ්ඩය වවාගත් කොල්ලෙකුගේ අතින් අල්ලාගෙන සිටි සුගුණා අත ලෙමන් පෆ් බිස්කට්ටුවක් තිබුණා.
''අයි ඩෝනට් නෝ.......අයි කාන්ට් රිමෙන්බර් යූ...''.
ඇය ඉංගිරිසියෙන් කියූ කිසිවක් නීලංබර මහතුවාට තේරුණේ නැහැ.
ඇය සමනලයෙක් වුවත් තමා තාමත් දළඹුවෙක් බව ඔහුට දැනුණා. ඒත් එය පැහැදිලි කිරීම අපහසු වුණා. උගුර හිරවී යනසේ ඔහුට දැනුණේ ඒ නිසාවෙනි.