මානව අයි­ති­වා­සි­කම් පිළි­බඳ බෞද්ධ සංක­ල්පය | Page 5 | සිළුමිණ

මානව අයි­ති­වා­සි­කම් පිළි­බඳ බෞද්ධ සංක­ල්පය

මානව අයිතිවාසිකම් පිළිබඳ ව අප විශ්වාස කරන්නේ 1945 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා 1948 මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය පදනම් කොට 1972 ජනරජ ව්‍යවස්ථාව හා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව ඔස්සේ අපේ රටට හඳුන්වා දුන් නව නීතියක් බවයි.මෙයට ශත වර්ෂ 22 කට තරම් ඈත අතීතයේ මහින්දාගමනයත් සමඟම බුදු සමය පදනම් කොට ශ්‍රී ලංකාවේ ම පහල වු ලෝකයේ අනෙක් කිසිම මානව අයිතිවාසිකම් නීතියකට නො දෙවෙනි වු සර්ව සම්පුර්ණ වු මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියක් අපට උරුම වී තිබේ. එය ඉංග්‍රීසි විප්ලවය මතින් බිහි වු මැග්නාකාටා, ඇමෙරිකානු නිදහස් සටනින් බිහි වු පිලඩෙල්පියා ව්‍යවස්ථාවට වඩා සිය වස් ගණනක් පැරණි ය.

බුදු සමය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් රාජ්‍ය පරිපාලන නීතිය වුයේ දස රාජ ධර්මය හා සතර සංග්‍රහ වස්තුවයි. එම නීතිය බල පැවැත් වුයේ රටේ පාලකයා වු රජතුමාට ය. ඔහු නීතිය රකින විට මුළු රටේ ම මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙයි.

බුදු දහම ආත්ම දෘෂ්ටියෙන් බැහැර වුවකි. ඒ අනුව මම ය, මගේ ය,මට විතරක්. මං විතරක් යන සංකල්පයන්ට කිසිදු ඉඩක් නො ලැබේ. නුතන යුරෝපීය ආගම් බොහොමයක් ආත්ම දෘෂ්ටියෙන් යුත්ත ය. ඔවුහු මානව අයිතිවාසිකම් දෙස බැලුවේ ද ඒ දෘෂ්ටියෙනි. බටහිරකරණය වු නුතන මානව අයිතිවාසිකම්වලින් අපේ ම වු දේශිය මානව අයිතිවාසිකම්වලත් ඇති ප්‍රධාන වෙනස එයයි. එම වෙනස වටහා ගැනීමට පහත සඳහන් නිදසුන් දෙක වුව ද සෑහේ.

ඔබට වධහිංසා කිරීමට කිසිවකුට අයිතියක් නැත.

ඔබට නින්දා අපහාස කිරිමට කිසිවකුට අයිතියක් නැත.

(නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ පර්යේෂණ හා සම්පත් මධ්‍යස්ථානය, 27 පිට)

මෙහිදී මුලික වන්නේ මම ය. මගේ අයිතිය ය. බුදු දහමින් පෝෂණය වු අපේ ම මානව අයිතිවාසිකම් නීතියේ මේ කරුණ ම දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

මම සතුන් නො මරමි. සතුන්ට හිංසා නො කරමි.

මම බොරු නො කියමි.පරුෂ වචන නො කියමි.

පන්සිල් නමින් හැඳින්වෙන අපේ ප්‍රතිපදාවේ විරාමනයන් පහෙන් ම දැක්වෙන්නේ ම විසින් කරන්නට සපථ කරන යුතුකම් ය. මෙහිදී කේන්ද්‍ර ගත වන්නේ තමා නොව අනෙකුත් සියලු දෙනා ය. අප තනි තනි ව අනුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට පෙලඹෙන විට මුළු මහත් ජනතා‍ව‍ගේ ම අයිතිවාසිකම් නිරතුරුව ම ආරක්ෂා වෙයි.

දැන් පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් ඇත්තේ උසාවියට පමණි. ඒවා දන්නේ නීතිඥයන් පමණි. ඒ අයිතිවාසිකම් හිමිවන්නේ ඇති හැකි අයට පමණකිය යන්න පොදු ජනතා‍වගේ හැඟිමයි.එහෙත් පන්සිල් නැමැති මානව අයිතිවාසිකම් නීතිය පොදු ජනතාව නිරන්තරයෙන් මෙනෙහි කරති. එක් දේශපාලනඥයෙක් වරක් ප්‍රකාශ කළේ මා අද දිනට පන්සිල් ගන්නා මේ 18 වන වතාව බවයි.රටට ඇසෙන්නට එසේ පන්සිල් කීවත් එයින් සිදු වන්නේ ඒ නීතිය නැවත නැවත සිහිපත් කිරීමයි.

දැන් පවත්නා මානව අයිතිවාසිකම්වල ප්‍රමුඛත්වය ලැබෙන්නේ තමාට ජීවත්වීමට ඇති අයිතියට ය. බෞද්ධ මානව අයිතිවාසිකම්වල ප්‍රමුඛත්වය ලැබෙන්නේ අනුන්ගේ ජීවිත ආරක්ෂා කිරිමට ය. මෙහිදී තවත් විශේෂත්වයක් වන්නේ ජීවත් වීමේ අයිතිය ඇත්තේ මානවයාට පමණක් නොව මහරජාගේ සි‍ට කුරා කුහුඹුවා දක්වා සියලු ප්‍රාණීන්ට ය. මගේ බඩ කට පිරවීම සඳහා ගවයන්, එළුවන්, ඌරන්, කුකුළන් සිය දහස් ගණනකගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම එයට අයත් නොවේ. මේ අනුව අපේ රටේ පැවති මානව අයිතිවාසිකම් නීතියේ ජීවත්වීමේ අයිතිය බෙහෙවින් පුළුල් ය. බෙහෙවින් අර්ථ සම්පන්න ය.

දසරාජ ධර්මයන් අතර අක්කෝධ, අවිහිංසා දෙකක් ඇතුළත් ය. රජු ක්‍රෝධ නොකරන්නේ නම් හිංසා කරන්නෙක් ‍නොවේ නම් අනුන්ගේ ජීවත්වීමේ අයිතිය පාලනය පාලන තන්ත්‍රය මඟින් ද නිසැකයෙන් ආරක්ෂා වේ. වැරැදි සහගත ලෙස අත්අඩංගුවට ගැනීමත් අත්අඩංගුවේ සිටිය දී විවිධ අතවරවලට භාජනවීමත් සිදුවන්නේ රාජ්‍යයේ අවිහිංසා ප්‍රතිපත්තිය නැති නිසා ය.

තවත් කෙනෙකුගේ ජීවත්වීමේ අයිතියට අප තර්ජනයක් නොවිය යුත්තේ නීතියට බලයට හෝ වෙනත් කෙනෙකුගේ කීමකට නොව ස්වච්ඡන්දතාව පදනම් කොට ය. ධම්මපදයේ ඒ බව දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්හි මච්චුනෝ

අත්තානං උපමං කත්වා - න හනෙය්‍ය නඝාතයේ

සියල්ලෝ දඩුවමෙන් ත්‍රස්ත වෙත්. සියල්ලෝ මරණයට බිය වෙත්. ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතු ය. නො නැසවිය යුතු ය.

සුඛකාමානි භූතානි - යො දණ්ඩේන විහිංසති

අත්‍තනෝ සුඛමෙසානෝ - පෙච්ච සෝ න ලභතෙ සුඛං

යමෙක් තමාට සැප බලාපොරෙ‍ාත්තුවෙන් සැප කැමති සත්ත්වයන් දණ්ඩෙන් පෙ‍ළයි ද ඔහු පරලොව දී සැප නො ලබයි.

මේ අනුව බෞද්ධ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියෙන් ප්‍රකාශ කරන්නේ මට ජීවත්වීමට අයිතියක් ඇත යන්න නොව මට අනුන්ගේ ජීවත්වීමේ අයිතියට බාධා කිරිමට අයිතියක් නැත යන්නයි. තමා කේන්ද්‍ර කරගත් විට සිදු වන්නේ එකිනෙකා අතර ගැටුම් ඇතිවීමයි. නුතන බොහෝ ගැටුම්වලට හේතු වී ඇත්තේ මානව අයිතිවාසිකම් නීතියේ මේ අර්ථ කථනයේ වරදයි.

සිතීමේ හා හෘදය සාක්ෂියේ නිදහස දැනට නෛතික වශයෙන් පිළිගෙන ඇති මානව අයිතිවාසිකමක් වන අතර සිතීමේ හා විමසීමේ නිදහස බුදු දහමේ මුලික ඉගැන්වීමකි.දේවවාදී කිසිම ආගමකට (ඉස්සරනිම්මාණවාදී) නිදහසේ සිතන්නට ඉඩක් නැත. බුදුන් වහන්සේ කාලාම ගෝත්‍රිකයන්ට දේශනා කළේ තම ආගමේ හෝ පොත පතේ තිබිම ගුරුවරයාගේ ඉගැන්වීම ආදී කරුණු දහයක් නිසා යමක් නිවැරදියයි නොපිළිගෙන තමා විසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළයුතු බවයි. වරක් තමන් සමීපයේ පැවිදි බව ලැබීමට කැමැත්ත පළ කළ උපාලි ගෘහපතියාට බුදුන් වහන්සේ දේශනා කළේ තව ටිකක් කල්පනා කොට තීරණයක් ගත යුතු බව ය.

15 වන ශත වර්ෂයේ ලංකාවට පැමිණි යුරෝපීය ජාතීන්ට ද ස්වකීය ආගම ඇදහීමටත් ප්‍රචාරය කිරීමටත් ශ්‍රී ලංකා වාසීන්ගෙන් කිසිදු බාධාවක් නොවීය. 18 වන ශත වර්ෂයේ බුද්ධ ප්‍රතිමාවන් හින්දු පුතිමාවන් දෙක ම ඉදි වුයේ එක ම වහලක් යටය. එහෙයින් පැරණි බෞද්ධ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සිතීමේ හා හෘදය ශාක්ෂියේ නීතිය මතුපි‍ටින් ආලේප කරන ලද්දක් නොව ජනත‍ාවගේ හද පත්ලෙන් ම නැඟී එන්නක් මෙන් ම ස්වච්ඡන්දතාව පදනම් වුවකි.

දැනට පවත්නා මානව අයිතිවාසිකම් නීතිය අනුව පුද්ගලයෙකුට භාෂණයේ නිදහස තිබිය යුතු ය. මෙයින් අර්ථකථනය වන්නේ පුද්ගලයෙකුට ඕනෑම දෙයක් කීමට හැකියාව ඇති බවයි. මේ අර්ථකථනය පැහැදිලි කර ගැනීම සඳහා සමාජයේ අන්‍යයන්ට හිරිහැරදායක වන අනුන් නින්දාවට හා අවමානයට ලක්කරන දෑ ප්‍රකාශ කිරිම කථා කිරිමේ නිදහස නොවේ යයි තවත් අතුරු ජේදයක් එක්කර ගත යුතු ය.

බෞද්ධ භාෂණයේ නිදහස සම්මා වාචාවට සීමා වී ඇත. සම්මා වාචා යනු බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, යන හතරෙන් වැළකීමයි. එවිට භාෂණයේ නිදහස නොව අසා සිටීමේ නිදහස ආරක්ෂා වෙයි. අපට අවශ්‍ය වන්නේ කෙනෙකු කියන දෙය අසා සිටිය හැකිවීමේ නිදහසයි.

පුද්ගලයෙකු‍ට ආර්ථිකය, දේශපාලනය, සමාජ තත්ත්වය, කුලය ආදිය හේතු කොටගෙන යම් වෙනස්කමක් සිදුවේ නම් එතැන මානව නිදහසක් ඇතැයි කිසිසේත් කිව නො හැකි ය. ආර්ථිකය හේතු කොට ගෙනත් දේශපාලනය හේතු කොටගෙනත් නුතන සමාජයේ කොන්වීම බරපතළ ලෙසින් පවතී. එහෙයින් පවත්නා මානව අයිතිවාසිකම් නීතිය හුදු ප්‍රලාපයක් බවට පත් වී ඇත.

පාලකයා සතර සංග්‍රහ වස්තුවලින් ජනතාවට සලකන පුද්ගලයෙකුවීම බෞද්ධ පරිපාලනයේ මුලික ලක්ෂණයකි. සමානාත්මතාව සතර සංග්‍රහ වස්තුවලින් එකකි. බුදු දහම කුලවාදය සම්පුර්ණයෙන් බැහැර කරයි. බුදුන් වහන්සේ එය දේශනා මාර්ගයෙන් පමණක් නොව ප්‍රායෝගිකව ම පෙන්වා දුන‍්හ. බුදු දහමේ කුලවාදය බැහැර කළ යුතු යයි ඉගැන්වුව ද පැරණි ලංකාවේ කුලවාදය පැවති බවට කෙනෙකුට තර්ක කළ හැකිය. ශ්‍රී ලංකාව පරාධීන වීමට ප්‍රථම එක් එක් රැකියාවන් සඳහා විමධ්‍යගත වු සමාජ කොටස් සිටි බව සැබෑව ය. එහෙත් ඒ අය අතර උස් පහත් බවක් නොවී ය. එහි දී සිදුවුයේ එක් පුද්ගලයෙකු නිපදවන භාණ්ඩයක් තවත් පුද්ගලයෙකු නිපදවන භාණ්ඩයක් සමඟ හුවමාරු කර ගැනීමක් පමණි. එහි උස් පහත් බවක් නිර්මාණය කළේ යටත් විජිත පාලකයන් විසිනි. ඒ ඔවුන්ගේ යටත්විජිතවාදී පාලන උපක්‍රමයකි. හාම්පුතුන් සහ සේවකයන් යන දෙකොටසක් බිහි කළේත් සේවකයන් පහත් කොට යටත් කොට සැලකුවේත් යුරෝපීය පාලකයන් විසිනි. එසේ කිරිමට ඔවුන්ට නීතියේ බලය ද හිමිවිය. පෞද්ගලික සමාගම්, ඉඩම් හිමි වැවිලිකරු යන සංකල්ප මඟින් කළේ පහත් පෙළේ යයි නම් කෙරුණු, නිරන්තර පීඩනයන්ට ලක්වන සේවක පන්තියක් බිහි කිරිමයි.

තමා කැමැති රැකියාවක යෙදීමට ඇති නිදහස හරිහැටි අර්ථකථනය නොවිම අද ලෝකයේ පවතින බරපතළ ආර්ථික විසමතාවට හේතුවයි. සම්මා ආජීවය යන්නෙන් පුද්ගලයෙකු විසින් නො කළ යුතු වෙළෙඳාම් පහක් වාණිජ්ජා (අං.නි) සුත්‍රයේ දී පෙන්වා දෙයි. සත්ත වාණිජ්ජා ( සතුන් වෙළෙඳාම ), සත්ථ වණිජ්ජා (ආයුධ වෙළෙඳාම) මංස වාණිජ්ජා ( මස් වෙළෙඳාම) මජ්ජ වණිජ්ජා (මත්පැන් වෙළෙඳාම) විස වණිජ්ජා (විෂ වර්ග වෙළෙඳාම) ඒ පහයි. දැන් පවත්නා මානව අයිතිවාසිකම් නීතියේ මස් වෙළඳාමත් ආයුධ වෙළඳාමත් බලපත්‍ර සහිතව මත්පැන් වෙළඳාමත් තහනම් නැත. මේ සියල්ලෙන් පුද්ගලයන්ගේ ජීවිත‍යට තර්ජනයක්, නිදහසට බාධාවක් වන බැවින් බෞද්ධ ප්‍රඥප්තියේ දී රැකියාව කළ යුත්තේ මේ සීමාවන්ට යටත්ව ය.

මත්පැන් වෙළඳාම මෙන්ම මත්පැන් පානය ද මානව අයිතිවාසිකම් කඩවීමකි. එය අනෙක් පුද්ගලයාගේ නිදහසට තර්ජනයක් වන බැවිනි. ඒ හැර පොදුවේ රටේ ජනතාවට ජීවත්වීමට තිබු ධනය මත්පැන් සඳහා පමණක් නොව මත්පැන්පානයෙන් වන ලෙඩ රෝගවලට ප්‍රතික‍ාර සඳහා ද වැය වේ.

සිගාලෝවාද සුත්‍රය පෙන්වා දෙන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ද දෙමාපියන් සතු යුතුකමක් බව ය. දෙමාපියන් තුළින් ඒ යුතුකම ඉටු වන විට අධ්‍යාපනික නිදහස ඉබේ ම ලැබේ. බෞද්ධ මානව පිළිවෙත වන්නේ සම්මා කම්මන්ත, සම්මා ආජීව හා සම්මා වාචාවයි. මේ පිළිවෙත සුරැකෙන විට මානව අයිතිවාසිකම් යයි අමුතුවෙන් කථා කළ යුත්තක් නැත. බෞද්ධ මානව අයිතිවාසිකම්වල ස්වරූපය පැහැදිලි කරන ප්‍රකාශයක් සතිපට්ඨ‍ාන සංයුත්තයේ සේදක සුත්‍රයේ කරනම් ගසන්නෙකු හා ඔහුගේ ගෝලයා අතර ඇති වු සංවාදයක ස්වරූපයෙන් මෙසේ දැක්වේ. බිම සිටින ගුරුවරයාගේ කර උඩ තබාගත් උණ ගසක් ‍මත්තෙහි සිට කරනම් ගසන ගෝලයාට ගුරුවරයා මෙසේ කියයි. ‘මා හොඳින් ආරක්ෂා කරන්න. එවිට ඔබත් හොඳින් ආරක්ෂා වෙයි. ‘නැත, ගුරුතුමනි, ඔබ ඔබ ගැන බලා ගන්න. මම මා ගැන බලා ගන්නම් එවිට ඔබ ද රැකෙයි. මා ද ‍රැකෙයි.

අවුරුදු 2500 ක තරම් ඈත අතීතයකට සිට මානව අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වු ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට මානව අයිතිවාසිකම් ඉගැන්වීමට යාම සල්ලේඛ සුත්‍රයේ සඳහන් වන පරිදි තමා ම‍ඬේ ගිලී සිට අනෙකෙකු මඩෙන් ගලවා ගැනීමට කරන කථාවක් බඳුය. 

 

Comments