කිඹුල් කටට වැටුණු සිම්බාබ්වේ රාජ්‍යයේ අනා­ගත ප්‍රජා­ත­න්ත්‍ර­වාදි අපේක්ෂා | සිළුමිණ

කිඹුල් කටට වැටුණු සිම්බාබ්වේ රාජ්‍යයේ අනා­ගත ප්‍රජා­ත­න්ත්‍ර­වාදි අපේක්ෂා

ග්‍රේස් මුගාබේ බල කාමයෙන් මත්ව සිදුකළේ කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටීම හා සමාන ක්‍රියාවලියකි. දේශපාලන කුණු කූඩයට යැවු අනෙකුත් නායක කාරකාදින් මෙන් හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගාවාද පයින් ගසා විසිකළ හැකි යැයි දේශපාලන පරිණතභාවයක් නොමැති විලාසිතා ලැදි යතුරු ලේඛිකාවක වු ග්‍රේස් කල්පනා කළා විය හැක. මුගාබේද තම දකුණු අත වන් සගයාගේ හැකියාවන් අවතක්සේරුවට ලක් කළා විය හැක.

වසර 37ක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ රොබට් මුගාබේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුයේ සිය දිගුකාලීන දේශපාලන අපේක්ෂා හා බිරිය මීළඟ ජනාධිපති ලෙස කරළියට ගෙන ඒමේ අපේක්ෂාවන්ද සුන්කරගනිමිනි. ව්‍යාපාර වත්කම් හා විශාල ගොවිපළ සතු ඔහුට ඉදිරිකාලය එතරම් දුකක් කරදරයක් නැතිව එනම් මියයන තෙක් සැපෙන් කල්ගත කිරීමේ වාතාවරණයක් නිර්මාණය වී තිබේ. දිගුකාලීන අධිකාරිවාදි පාලකයා නික්ම යද්දි සිම්බාබ්වේ වැසියෝ ප්‍රීති ඝෝෂා කළහ. උත්සව පැවැත්වුහ.

මහාමාර්ග වල නැටුම් ඉදිරිපත් කළහ. ඒ ඔවුන් මුහුණ දී සිටි පීඩනය මුදාහල ආකාරයයි. සියල්ල එතනින් අවසන් වන්නේද? උත්තරය වන්නේ නැත යන්නයි. සියවස් කිහිපයක් සුදු ජාතික ආධිපත්‍යයයෙන් හා වර්ණභේදවාදයෙන්ද 1980 නිදහස ලැබු දා සිට රොබට් මුගාබේ ගෙනගිය දැඩි ජාතිකවාදී මෙන්ම මුල් යුගයේ ජනතාවාදි මුහුණුවරක් පෙන්නුම් කළ එහෙත් පසුකාලීනව දැඩි අධිකාරිවාදි, අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලනයෙන්ද සිම්බාබ්වේ ජනතාව බැට කෑහ.

මුගාබේගේ පිළිවෙත් නිසා සම්බාධක වලින් පීඩා විඳිමින් එහෙත් ජාතිමාමකත්වය නිසා නිහඬව සිටියහ. බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් මුගාබේ තම සුඛ විහරණය වැඩිකරගනිද්දී, පවුලේ වත්කම් තරකරගනිද්දී, බිරියගේ දේශපාලන බල පරාක්‍රමය තහවුරු කිරිමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බිලි ගනිද්දිත් ජනතාව නිහඬව බලා සිටියහ. ඒ ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් නිසාවෙනි. පළමුවැන්න සුදු ජාතික ආධිපත්‍ය යෙන් රට බේරාගත් නායකයාට, ජාතියේ පියාට, නිදහස් සටනේ වීරයාට හා සිම්බාවේ හි ජාතිකවාදි නායකත්වයේ මුදුන් මල්කඩට එරෙහි වීමට නොහැකි නිසාවෙනි. ඔහුගේ දැවැන්ත ප්‍රතිරූපයට කිසිදු ආකාරයක අභියෝගයක් කිරීම උගහට වු බැවිනි.

මුගාබේට අභියෝග කළ විපක්ෂ නායක මෝගන් ස්වැංගිරායි වැන්නවුන් බටහිර ගැන්තන්, දේශද්‍රෝහින්, එන් ජී ඕ කාක්කන් හා ඩොලර් මත යැපෙන්නන් ලෙස හංවඩු ගසා සමාජමය සුසානයේ වළලා දැමුවේ ඔවුන්ගේ දේශපාලන ප්‍රතිරූපයද ඉතා බරපතළ ලෙස විනාශ කරමිනි. ඒ නිසා පළමුවැනිව මුගාබේට අභියෝග කිරිම කළ නොහැක්කක් ලෙස ජන සමාජය අතර විශ්වාසයක් පැවතීමයි. දෙවැන්න මුගාබේ වටා ගොනුවි තිබු රාජ්‍ය බලාධිකාරයයි.

රාජ්‍යය යනු පරිපාලනයේ හා නීතියේ ඒකාබද්ධතාවයෙන් යුත් ක්‍රමවේදයක් හා එය ඊට අදාළ භූමියෙහි ජීවත් වන ජනතාව ආධිපත්‍යයට ලක්කරන අතරම අවශ්‍ය අවස්ථාවකදී හිංසාව භාවිත කිරීමේ නීතිමය බලයද දරන්නේය යනුවෙන් මැක්ස් වේබර් නම් සමාජ විද්‍යාඥයා සිය නවීන රාජ්‍ය සිද්ධාන්තය මගින් පැහැදිලි කරන්නේය. මුගාබේ තම පාලනය තහවුරු කරගැනිමෙදී ඉහත කී සියලු ලක්ෂණ තම රාජ්‍ය ක්‍රමය හා බද්ධ කරගැනිමට සමත්ව සිටියේය.

ප්‍රබල දේශපාලන පක්ෂයේ නායකත්වය දරමින් එහි සාමාජිකත්වයේ පුර්ණ සහයට හිමිකම් කීවේය. ආරක්ෂක හමුදා බලාධිකාරයේ සහය දිනා සිටියේය. ඊට අමතරව එමර්සන් නන්ගාවා වැනි අති දක්ෂ උපායශීලින්ගේ සහය හිමිකරගෙන සිටියේය. මුගාබේගේ දකුණු අත ලෙස කලක් සිටි නන්ගාවා තම නායකයාට විරුද්ධ පාර්ශ්ව සහමුලින් විනාශ කිරිම සඳහා විවිධ උපායමාර්ග ක්‍රියාත්මක කළ අයෙකි. මේ අනුව බලන කල මුගාබේ කෙරෙහි විරුද්ධත්වයක් පැවතියද ඊට අභියෝග කිරිමට ජන සමාජය තුළින් බලවේගයක් ඉස්මතු නොවුයේ ඉහත සඳහන් කළ බලාධිකාරයට අභියෝග කිරිම පහසු ක්‍රියාවක් නොවු බැවිනි.

මුගාබේගේ බලාධිකාරය ක්‍රමයෙන් ගරාවැටීම ආරම්භ වුයේ ඔහු 1980 දශකයේ අග භාගයේ තම පළමු බිරිය දැඩි ලෙස රෝගාතුරව සිටි යුගයේදි තම කාර්යාලයේ සේවක කළ යතුරු ලේඛිකාවක වු ග්‍රේස්ට පෙම්බැද 1992 සිය බිරියගේ අභාවයෙන් වසර 4 ක් ගතවු තැන 1996දී ඇය විවාහ කරගෙන අනතුරුව දේශපාලන කරළියට ගෙනැවිත් පක්ෂයේ කාන්තා අංශයේ නායකත්වය හා තරුණ අංශයේ සහය දිනා දීම තුළින් ප්‍රබල දේශපාලනික සත්ත්වයෙකු බවට ඇය පරිවර්තනය කිරිමෙන් පසුවයි.

මුගාබේගේ පවුල් සමාගම ඔහුගේ සානු පී එෆ් පක්ෂයේ ප්‍රබලයන් එකිනෙකා ඉවතට විසි කරමින් තමන්ට රිස්සන් හා දැඩි අන්තේවාසිකයන් ඒකරාශි කරගනිමින්, පක්ෂයේ නායකත්වයට පැමිණිය හැකි පසුබිමක් ඇති සියලු දෙනා දේශපාලනිකව විනාශ කරමින් තමන්වාදි ගමනක නිරත වීම තුළ ඔහුගේ මෙන්ම පවුල් සමාගමේද දේශපාලනික ගමනට නැවතීමේ තිත තබන තැනට මඟ සලසා ගත්තේය. ගමනක අවසානය සනිටුහන් වුයේ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රබලතම පුරුක වන ආරක්ෂක හමුදාව මුගාබේට සහය දැක්වීම හා තවදුරටත් ඔහු ආරක්ෂා කිරිම අත්හැරිමත් සමඟයි.

ග්‍රේස් මුගාබේ බල කාමයෙන් මත්ව සිදුකළේ කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටීම හා සමාන ක්‍රියාවලියකි. දේශපාලන කුණු කූඩයට යැවු අනෙකුත් නායක කාරකාදින් මෙන් හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගාවාද පයින් ගසා විසිකළ හැකි යැයි දේශපාලන පරිණතභාවයක් නොමැති විලාසිතා ලැදි යතුරු ලේඛිකාවක වු ග්‍රේස් කල්පනා කළා විය හැක. මුගාබේද තම දකුණු අත වන් සගයාගේ හැකියාවන් අවතක්සේරුවට ලක්කළා විය හැක.

මුගාබේ හා සිම්බාබ්වේ ආරක්ෂක හමුදාව මෙන්ම බුද්ධි අංශයද එකට බැඳතැබු රැහැන වුයේ නන්ගාවායි. ග්‍රේස්ට උප ජනාධිපති පදවිය ලබාදීමට නන්ගාවා ඉවතලෑමත් සමඟ එම රැහැන ලෙහී ගියේය. මුගාබේ අනාරක්ෂිත වු බව ඔහුට අවබෝධ වුයේ හමුදාපති ජෙනරාල් කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා යුද ගුවන් හා නාවික හමුදා ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 90ක් සමඟ එක්ව මාධ්‍ය හමුවක් පවත්වා ගෙදර යන ලෙසට මුගාබේට දැනුම් දීමෙන් පසුවයි. එවිට මුගාබේට කළ හැක්කක් නොවු අතර ආරක්ෂක පියවරක් වශයෙන් සිය ආදරණීය බිරිය නැමීබියාවට පිටමං කිරිමට ඔහු උත්සුක වුයේ රාජ්‍ය බලය නොමැති තැන පවුල් සමාගම වත් රැකගැනීමේ අපේක්ෂාවෙනි.

දැන් මුගාබේ හා අප්‍රිකානු මහද්වීපයේ වඩාත්ම අප්‍රසන්න ජනාධිපති ආර්යාව ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලැබු ග්‍රෙස් මුගාබේ තවදුරටත් රාජ්‍ය පාලනයේ නැත. එසේනම් සිම්බාබ්වේ රාජ්‍ය යේ සියලු ප්‍රශ්න මේ සමඟම විසඳේද? ජනතාවට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය හිමිවේද? ආර්ථික ගැටලුවලට පිළිතුරු ලැබේද? උත්තරය නැත යන්නයි. ඒ සඳහා සිම්බාබ්වේ රාජ්‍යයට තවත් දුරක් ගමන් කළ යුතු වෙයි. පළමු කොටම නව නායකත්වය සඳහා පිවිසෙන එමර්සන් නන්ගාවා හා ඔහුගේ භූමිකාව තක්සේරු කිරීම වැදගත්ය.

සිම්බාබ්වේ වැසියන් හා එරට මාධ්‍ය හඳුන්වන ආකාරයට එමර්සන් නන්ගාවා යනු මහ කිඹුලා හෙවත් කිඹුල් රජාය. ඔහු මේ නමින් හඳුන්වනු ලැබීමට මුලික හේතුව නම් සිම්බාබ්වේ නිදහස් සටන් සමයේ (එවකට රොඩේෂියාවේ) සුදු අධිරාජ්‍යවාදි වර්ණභේදවාදි පාලකයන්ට එරෙහිව සානු පී එෆ් පක්ෂ සන්නද්ධ අංශයේ කිඹුල් ප්‍රහාරක ඒකකය නම් වු සටන්කාමී අංශයට නායකත්වය දීම නිසාවෙනි. ඔහු පසුකාලීනව සිම්බාබ්වේ බුද්ධි අංශ ප්‍රධානියාද විය. ඉතා ශූර දේශපාලනික හා ආරක්ෂක උපායශීලියෙකි. එසේම මර්දන ව්‍යාපාර මෙහෙයවා හසල දැනුමක් ඇත්තෙකි. මුගාබේ වෙනුවෙන් ඔහුගේ ප්‍රතිවාදින් බහුලව විනාශ කිරීමේ මෙහෙයුම් වලට 1980 දශකයේ සිට ඔහුගේ නායකත්වය ලැබුණු බව ප්‍රසිද්ධ රහසකි.

එම යුගයේදි මුගාබේ ප්‍රතිවාදින් හා සානු පී එෆ් පක්ෂයේ විරුද්ධවාදින් දහස් ගණනක් ඝාතනයට ලක්වුහ. මේ ගැන එමර්සන් නන්ගාවා පවසන්නේ තමන්ගේ අතේ ලේ ගෑවී නැති අතර සියලු ඝාතන සන්නද්ධ කණ්්ඩායම් විසින් සිදුකළ බවයි. එමෙන්ම නන්ගාවා හා හමුදාව අතර ඇත්තේද ඉතා සමීප බැදීමකි. ඒ පිළිබදව කලින් මේ සටහනේ දක්වා ඇත. මුගාබේ මෙන්ම එමර්සන් නන්ගාවාද සිම්බාබ්වේ නිදහස් සටනට දායක වු අය වෙති. ඔහුට අභියෝග කළ හැකි ජ්‍යෙෂ්ඨ නායකත්වයක් දැනට ඉස්මතු වී නැත. එමෙන්ම නන්ගාවා යනු සිම්බාබ්වේහි ධනවත්ම දේශපාලනඥයා බව විකිලීක්ස් තොරතුරු හෙළිකරයි.

මේ ලක්ෂණ වලින් සියල්ල නැතත් බහුතරය සන්සන්දනය කර බැලීමේදි පැහැදිලිවන්නේ එමර්සන් නන්ගාවා යනු එදා රුසියාවේ නායකත්වයට පත්වීමේ දී ව්ලැදිමීර් පුටින් සතුව තිබු ලක්ෂණ රැසක් පෙන්නුම් කරන්නෙකි. එහි යටිපෙළ අරුත නම් නන්ගාවා ඉතා පහසුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ බලය තහවුරු කරගැනිමට සුදුසුකම් පෙන්නුම් කරන බවයි. ප්‍රශ්නය වන්නේ ඔහු කෙතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදි නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරයිද යන්නයි. ඔහුට තෝරාගැනීමට මාර්ග දෙකක් ඇත. අංක එක - ලෝකය සිම්බාබ්වේ රාජ්‍යයෙන් අපේක්ෂා කරන ආකාරයේ නායකත්වයක් එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා යහපාලනයෙන් යුත් නායකයෙකු වීම හෝ ව්ලැදිමීර් පුටින් මෙන් රට හා ජාතිය ශක්තිමත් කරන එහෙත් ලෝකයට එතරම් නොනැමුණු නමුත් ජනතාවගේ අභිලාෂයන් සමඟ සිටින නායකයෙකු වීමයි.

එසේත් නැත්නම් තමන් සතු අධිකාරි බලය යොදවා අප්‍රිකාවේ පහල වු බොහෝ පාලකයන් මෙන් අයෝමය හස්තයකින් රට පාලනය කිරිමයි. දෙවැනි විකල්පය සඳහා ඔහුට ඇත්තේ ඉතා අඩු ඉඩකඩකි. ඒ මන්ද යත් අන්තර්ජාතික සම්බාධක හා මුගාබේගේ අදුරදර්ශි පිළිවෙත් නිසා රටේ ආර්ථිකය ඉතා බරපතළ ලෙස ගරාවැටි ඇති නිසාය. මේ පවතින ආර්ථික අර්බුදයට නිසි පිළියමක් හඳුන්වා නොදී පාලනය ගෙනයාමට නන්ගාවාටද අපහසුය. එමෙන්ම සිමබාබ්වේ යනු රුසියාව මෙන් බලවතෙකුද නොවේ. එසේනම් අනිවාර්යයෙන්ම නන්ගාවාට අන්තර්ජාතික මතයට හිස නැමිමට සිදුවේ. එසේත් නැතිව මුගාබේගේ පිළිවෙත් ඉදිරියට ගෙනයාමට උත්සුක වුවහොත් ඔහුගේද දේශපාලනික ඉදිරි ගමන එතරම් යහපත් එකක් නොවනු ඇත. ආර්ථික අර්බුදය නිසා සිම්බාබ්වේහි සියලු අංශ කඩාවැටී ඇත. ඒ නිසා වත්මන් ක්‍රමය ආපසු හැරවීමට ක්‍රියා නොකරන්නේ නම් අන්තර්ජාතික බලපෑම්වලට මුහුණ දෙන අතරම සිම්බාබ්වේ ජනතා නැගී සිටිමකට වැඩිකල් නොගොස්ම මුහුණ දීමට නන්ගාවාට සිදුවනු ඇත.

 

Comments