අත් අකුරු | Page 3 | සිළුමිණ

අත් අකුරු

මායාරංජන් නාමය ප්‍රචලිත වන්නේ දිගාමඬුල්ලේ ආශ්චර්ය කෘතිය හේතුවෙනි. එ නිසාම ඒ කෘතියට මායාරංජන් ම ලියූ හැඳින්වීම ඔබට ඉදිරිපත් කරන්නෙමු.

පැරණි දිගාමඬුල්ලට අයත් පෙදෙසක් වූ වැව්ගම් පත්තුවට මා පළමු වරට පැමිණියේ වර්ෂ 1948 දී ය. එකල එය අලි වලස් ආදී නොයෙක් වන සතුන් ගහන මහ වනයෙකින් වැසුණු, තැන තැන පිහිටි හෙල් සහිත තැනිතලා බිමෙක් විය. එහි හෙල් මුදුන්වල සිට ගං ඉවුරු තෙක්, සතරැස් සැතපුමකට දෙක තුන බැගින් තිබුණු ආදි කර්මාන්තයන්හි නටබුන් මට පෙනී ගියේ, දිගාමඬුල්ලේ අතීත සභ්‍යත්වය පිළිබඳ අලංකාර ස්වප්නයක් ලෙසිනි.

මේ මහ වනය මැද තැනින් තැන පිහිටි කුඩා ගම්, සාගරයක් මැද වූ පුංචි දිවයින් රැසක් බඳු විය. එහි විසූ මිනිසුන්ගේ දිවි පැවතුම් ද, ගතිගුණ, සිරිත් විරිත් සහ භාෂාව ද කොළඹකරයෙන් පැමිණි මට ආශ්චර්යයක් මෙන් පෙනුණේ ය. ඉන් කුහුලට පත් මම ද යහළුවන් තනාගෙන, බත් මලු කර බැඳගෙන, වනය පුරාත්, වැව් ගම් පත්තු යටි පළාතේ සියලු ගම්වලත් සැරිසැරුවෙමි. ඒ ගමන් වලදී මට අසන්නට සහ දකින්නට ලැබුණු ආශ්චර්ය, මෙසේ පොතක් වශයෙන් ඔබ අතට පත් කරමි.

ජල කර්මාන්තය උදෙසා රජය මඟින් ‘ගල් ඔය සංවර්ධන යෝජනා ක්‍රමය‘ ඇරඹුණේ ද 1948 දී පමණේදී ය. (ගල් ඔය යයි ප්‍රසිද්ධ ව ඇතත් මෙයට පළාතේ ව්‍යවහාර නම ගල ඔය යනුයි) ගල ඔයේ වතුර වැව්ගම් පත්තුවට ඇතුළු වන සීමාව අසල ‘ඉඟිනියාගල‘, ‘වෑ කන්ද බැඳ‘, ‘සේනානායක සමුද්‍රය‘ කරවන්නට ඇමරිකානු ‘ මොරිසන් හඩ්සන් ඉන්ටර්නැෂනල්‘ සමාගමේ යෝධ යන්ත්‍ර පැමිණියේ ය. ඒ යන්ත්‍ර මහා ඝෝෂාවෙන් මහ වනය දෙදරවමින් රූස්ස ගස් වැල් ඇද හෙළද්දී දුවන්නට වූ වන සත්තු, ඈතට ගොස් නතර ව මෙපිට බැලූහ. අද වැව් ගම් පත්තුවෙන් අඩක්, පැරැණි දිගාමඬුල්ලේ නවීන ඡායාවක් බඳු අලුත් ගොවි ජනපදයෙකි. අනෙක් අඩද අඩ වශයෙන් එළි ව ඇත්තේ ය. පාරේ යන බස් රිය වළට පෙනි පෙනී ‘ අඹාර‘ (අම්පාරෙයි) වැවේ දිය කෙළින වල් අලි අදත් දැක්ක හැකි නමුත්, මේ පොතින් විස්තර වන ආශ්චර්ය සියල්ල, තවත් සීමා සහිත කාලයකින් අන්තර්ධාන වන්නේය.

දිගාමඬුල්ලේ අලි වලස් ආදී වන සතුන් පමණක් නොව මිනිසුන් ගැන ද මම ලීවෙමි. ඒ හැමට පින්! අදත් ජීවත්වන ඇතැම් මිනිස් පින්වතුන් පිළිබඳ ව මා නොයෙක් දේ ලියා ඇත්තේය.

මේ දෙවැනි මුද්‍රණයෙහි දී පොත සංශෝධනය කරමින් අලුත් පරිච්ඡේදයක් එක් කළෙමි. එහි වැඩි වශයෙන් ලියැවී ඇත්තේ මිනිස් ජීවිත ගැන ම ය. ඒ සියල්ල සත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ පිරිසිදු චේතනාවෙන් සාදර සිතින් ම මිස, කිසිවකුට හිංසාවක් හෝ නින්දාවක් හෝ කරන අදහසෙකින් නොවන බව සියලු සුධීහු සලකත්වා.

නව කතාවක් මෙන් ඔබට මිහිරි නො විය හැකි වුවත්, මෙහි එන තොරතුරු සියල්ල සත්‍ය බව සහතිකයි.

සියලු සත්වයෝ සුවපත් වෙත් වා!

Comments