ආබාධිත දරුවන් ජීවත් කිරීමට පින් කැමැති ඔබගේ ආධාරය දෙන්න | Page 3 | සිළුමිණ

ආබාධිත දරුවන් ජීවත් කිරීමට පින් කැමැති ඔබගේ ආධාරය දෙන්න

වයස අවුරුදු හැට ඉක්මවා ඇති ඒ තරබාරු කාන්තාව බැරි අමාරුවෙන් ලේක්හවුසියේ පඩි පෙළ නැඟ පැමිණීයේ පාදයක් ඇද ගසිමිනි. ඇය පැමිණ තිබුණේ තනිවම නොවේ . ඇගේ තරුණ පුතෙකු ද සමගිනි.

“මම ආවේ උදව්වක් ඉල්ල ගන්න. අපිට ඉන්න ගෙයක් නැහැ. ” එසේ පැවැසු ඇය බලා සිටින්නට වුයේ පිළිතුරක් අපේක්ෂාවෙනි.

ඇගෙන් අසන්නට බොහෝ ප්‍රශ්න තිබිණි. කෙළවරක් නැති ප්‍රශ්න ඈ වෙත යොමු වුයේය. ඇගේ දෑස් කඳුළින් බොඳ වී යන්නට ගත වුයේ නිමේෂයකි.

“මම දරුවන් තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක්. මේ පුතා වගේම අනිත් දෙන්නත් මන්ද මානසික ආබාධයෙන් පෙළෙනවා. ඒ දෙන්නා ගෙදර තියලා ආවේ. දෙන්නම දුවලා. අද කාලේ හැටියට මට එයාලව තනියම දාලා එන්න බයයි. ඒ නිසා දෙන්නව ගෙට දාලා දොර වහලා යතුර අරගෙන ආවා. මම යනතුරුම ඒ දෙන්නා නිදිය ගනිවී.” මෙය කියවන විට ඔබට සිතේවී ඇයට සිටින්නේ කුඩා දරුවන්ද කියා. නැත. ඇය සමඟ පැමිණ සිටි පුතුගේ වයස අවුරුදු තිස් අට ඉක්මවා ඇත්තේය. වැඩිමල් දියණියත් දෙවැනි දියණියත් අවුරුදු හතළිහ ඉක්මවා ඇත්තාහ.

“මම ඉන්නේ කුලී ගෙදරක. ඒ ගෙදර කුලිය ගෙවන්නේ පල්ලියෙන්. හැම ඉරිදටම පල්ලියෙන් රුපියල් දාහක් දෙනවා . ඒකෙන් තමයි දරුවන්ට කන්න දෙන්නේ. එ්ත් තුන්දෙනෙකුගේ බඩ පුරවන්න අමාරුයි. මම පොළට යනවා. මාළු ලෑල්ල ළඟට යනවා. ඒ ගියාම එළවළු ටිකක් මාළු ටිකක් ලැබෙනවා. එහෙම කරලයි මේ දරුවන්ට කන්න දෙන්නේ. මට දුවලා දෙන්නා ගෙදර දාලා රස්සාවකට යන්න බැහැ.” ඇය කියන්නට වුයේ දරුවන් සමඟ ගෙවන අසීරු ජිවිතය පිළිබඳය. ඇයට කතා කරන්නට ඉස්පාසුවක් නැත. ඇගේ ආබාධිත පුතු ඈ පසුපසම ඇවිදින්නට වන්නේය . අම්මා කියන දෙය තේරුණ ද ඔහුට කතා කරන්නට නොහැකිය.

දුවලා දෙන්නත් මේ වගේමද?

“නැහැ ඒ දෙන්නට කතා කරන්න පුළුවන්. ඒත් හිතලා මතලා දෙයක් කරන්න බැහැ. නාන්නත් මම කියන්න ඕන. රෙදි හෝදන්නත් එහෙමයි. මම පුටුවක් තියලා වාඩිවෙලා තමයි ඒ දෙන්නගෙන් වැඩ ගන්නේ... ”

මන්ද මානසික තරුණ දරුවන් තිදෙනෙකු සමඟ ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන මේ මවගෙන් අපි ඇගේ සැමියා පිළිබඳ විමසුවෙමු. ඇය සුසුමක් හෙළුවාය. කිසිවක්ම කතා කරගන්න බැරිව නිහඬව සිටියාය.

“දරුවන්ගේ තාත්තා ඉන්නේ හිරේ. එයා වත්තක වැඩ ක‍ළේ. නමුත් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මම එයාගේ අම්මලාට මගේ දරුවෝ තුන් දෙනා බාර දීලා රට ගියා. හම්බ කරපු හැම සතේම එව්වේ දරුවන්ගේ තාත්තාට. එයා බීමට තදින් ඇබ්බැහි වුණු බව මම දැනගෙන හිටියේ නැහැ. දවසක් මගෙ අක්කා මට කතා කරලා කිව්වා මගේ ලොකු දුවට කරදරයක් කියලා. මේ සිද්ධිය දැන ගත්තට පස්සේ ලංකාවට ආවා. පොලිසියට කට්ටි පැන පැන හිටපු මිනිහව මම අල්ලලා දුන්නා. දැන් එයා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිනවා.

එයාගේ අම්මට තාත්තාට බැරි වුණා මගේ දරුවෝ බලා ගන්න . මම දැන් හැමෝගෙන්ම අයින්වෙලා මේ තුන්දෙනාත් එක්ක ඉන්නේ. පළවෙනි දරුවා ආබාධිතයි කියලා දැන ගත්තම තවත් දරුවෝ හැදුවේ නොදන්නකමට. අපිට ජිවීතේ ගැන කියලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ.”

ඇය හුල්ලමින් පවසන්නීය. ඉදින් ඇය අම්මා නම් වුවාය. වසර ගණනාවක් තිස්සේ මේ අම්මා නොදරුවන් සේ හැසිරෙන තරුණ දරුවන් සමඟ අප්‍රමාණ දුක් විදින්නීය. ඇයට පිහිටක් වීමට ඔබට පින් සිතක් පහළ වන්නේ නම් අමතන්න සිළුමිණ, සිත්මල්යායට, දුරකථන අංකය- 0112429265

ඉසවි
සේයාරුව - තුෂාර ප්‍රනාන්දු 

Comments