
''වේලාව දොළහ පසුවී විනාඩි හතළිස් නමයයි. මෙන්න ප්‍රවෘත්ති නිලංගනී සෙනවිරත්න විසිනි.'' අනෝජා ගුවන්විදුලිය තරමක් අඩු කළාය. කැඩපත අසලට ගොස් ඔසරි පොට සකස් කරගත්තාය. කොණ්ඩය උඩට කර බැඳ ගත්තාය. සාරියට ගැළපෙන ආකාරයටම ලිප්ටික් ගෑවාය. '' ආ.... මේක මේ සාරියට යන්නෙ නැහැ. දම්පාට එක ගෑවොත් මොකද?'' ඒක තමයි හරියටම ගැළපෙන්නේ. ''
ඇය ඇඳ ගත් සාරියට ගැළපෙන ආකාරය වළලු ද දාගත්තාය.
'' පුතේ අම්මා එනකං පරිස්සමින් ඉන්න''
'' අම්මා කොහේ ද යන්නේ''
'' වැදගත් වැඩකට පුතා. තාත්තා ආවොත් අම්මා හදිසි වැඩකට ගියා කියන්න.''
දරුවාගේ ප්‍රශ්න වැල කෙළවරක් නැත. ඒත් අනෝජා ඒ සියල්ල මඟ හැර පාරට බැස්සාය. ඇගේ සිතේ තිබුණේ දෙගිඩියාවකි. ඒත් පොරොන්දුව නිසාම යායුතුය. මේ පිළිබඳ සමන්ට කීම ගැන ඇයට වගක් නොවීය.
'' බය වෙන්න එපා සුදූ අපේ මනුස්සයා මං කියන ඕනේ දෙයක් විශ්වාස කරනවා. ඒක හින්දා ඔයා කිසි දේකට බය වෙන්න එපා. මම නියමෙට දෙන්නම්. මං ඉස්කෝලේ යන කාලේ හොඳට රඟපාලා තියෙනවා. ඒවා ගැන හිතෙන කොට ඇඟ හිරි වැටිලා යනවා. දන්නවද? ඒකාලේ ප්‍රින්සිපල්ට කේළම් කිවුවේ මමයි. මං කිව්ව දේවල් ඇත්ත කියලා හිතලා ප්‍රින්සිපල් කෙල්ලන්ට හොඳටම තලනවා. ඔයා දන්නවද විශ්වවිද්‍යාලෙ ගියත් ඒක අත්හැරියේ නැහැ. ඒ හැම දෙයක්ම ඒ විදිහට කළා. ෆස්ට් ක්ලාස් ගන්න හිටපු කෙල්ලෝ කීදෙනෙක් ගේ ෆස්ට් ක්ලාස් මං කේළම් කියලා නැති කළාද? ඔයා කිසි දේකට බය වෙන්න එපා. මං නියමෙට වැඩේ දෙන්නම්.''
අනිත් පැත්තේ දුරකථනයේ සිටිය පුද්ගලයාට ඇය කිව්වේ එලෙසය. හෑන්බෑග් එක කිහිල්ලේ ගහගෙන ලැසි ගමනින් පිටත් වූවාය. වරින් වර ඇයට ආ ඇමතුම්වලට ඇය පිළිතුරු දුන්නේ මං ඩිග්‍රි හෝල්ඩ කෙනෙක් යනුවෙනි.
'' කෝ .... මල්ලී මගේ ටිකට් එක දෙන්න. නැත්නම් මං හොඳ වැඩක් කරනවා.''
ඇය සාරි පොට කර වටා දමාගෙන කෑ ගැසුවාය. බස් රථයේ සිටි මිනිස්සු ඔවුනොවුන් එකිනෙකාගේ මුහුණු බලා ගත්හ.
'' මරු ඩිග්‍රි හෝල්ඩර්. කට ඇරියොත් ඩිග්‍රියේ තරම පේනවා. මිනිස්සු එකිනෙකා කසු කුසු ගෑහ.''
ඇයගේ කට තරමක් සැරය. ගමන කඩිසරය. ස්ථූල ශරීරය නිසා වේගවත්ව ගමන් කිරීම අසීරුය. ඇය වේගයෙන් ගමන් කිරීමේදී වැටෙන්නට ගිය වාර අනන්තය. අනිත් පසින් ආ දුරකථන ඇමැතුම නිසා ඇය නැවැත වරක් අසීරුතාවට පත් වූවාය. නළලට නැඟෙන දාදිය එකෙනෙහිම පිස දා ගත්තාය.
'' අපේ... මේ වෙලාව යන ඉක්මන. අම්මෝ සමත මණ්ඩලයට යන වෙලාව වෙනස් වුණොත් අර යකා මගේ ඇඟට කඩා පනීවි. කොහෙද ඉතිං ඔය යකාගෙන් මං බේරිලා ඉන්න තරම දන්නේ මං විතරයි. නිකං හරි අපේ මිනිහට කිව්වොත් මගේ පවුලත් ඉවරයි.''
අනෝජා සිතිවිල සයුරේ නික්මෙමින් පිය නැඟුවාය. තමා බස් රථයෙන් බැස්සේ කෙලෙසදැයි ද යන්නවත් ඇය දන්නේ නැත. අඩියට දෙකට ගමන ඉක්මන් කරමින් ඉස්සරහට පියවර දෙක තුනක් තැබුවාය.
'' කෝ මේ යකා තවමත් නැහැනේ. මට දිගට හරහට කෝල් දෙනවා විතරයි. අනේ අම්මා පා මං මේ කිසිදෙයක් දන්නෙත් නැහැ. ඇත්තටම මේ මිනිහා දාගන්න ලෙඩ. මේ යකා අන්තිම ලෙඩෙක්. ඒත් මට මඟ හරින්න බැහැ. මං මේ මිනිහට කීයක් ණය ද? අපෝ මං විතරක් නේ ඒක දන්නේ. මේ මිනිහා කට ඇරියොත් ඔක්කොම ඉවරයි. ඒත් මං කරගත්ත දේ හරියට කොටි වලිගයක් අල්ලා ගත්තා වගේ.''
අනෝජා පියවර දෙක තුනක් ඉදිරියට යනවිට කොඩි සෝමේ පැමිණ සිටියේ. කොඩි සෝමේ තරමක් කොටය. ඉස්සහරට ආ බඩ නිසා වයසට වඩා වයස පෙනේ. යන්තම් සිනාසුණද සිනාසෙන බවක් කිසිවකුට නොපනේ.
'' ආ... අනෝජා මොකද මේ පරක්කු වුණේ? කොහෙද ඉතිං කිවුව වෙලාවට වැඩ නැහැනේ. අනේ මං දා කවදා නම් ඉගෙනගනියි ද? වෙලාවට වැඩ කරන්න. කොහොද උඹලා ලොකු ඔෆීසියක නේ වැඩ කරන්නේ. එහෙම කළා කියලා වැඩක් තියෙනවාද? මොනවත් ඕනේ නැහැ. වෙලාවට වැඩක් කරගන්නවත් ඉගෙන ගෙන නැහැ. අනේ අම්මපා කෙල්ලේ උඹලාගේ අධ්‍යාපනය.''
කොඩි සෝමේ දිගින් දිගට කියාගෙන ගියේය.
'' මොකද්ද ඔයා මේ පාර දාගත්ත ලෙඩේ. අනේ මංදා බං උඹලා මාසෙකට මොනවා හරි ලෙඩක් දාගන්නවා මයි. ඇත්තටම මොනවා ද? බං මේ වැඩ''
'' එහෙම කියන්න එපා නංගියේ උඹලා දන්නවා නේ මගේ වැඩ. ඇත්තටම අපේ ගෑනිට මේවා අරං යන්න බැහැ. දැන් ඉතින් මං ගැන එක්ස්ප්‍රීයන්ස් තියෙන්නේ උඹට නේ නංගියේ. මේ පාරත් මට හරකෙක් පන්නන සිද්ධ වුණා.''
'' මොනවා?''
අනෝජාගේ දෑස් උඩ ගියාය.
'' මේ පාරත් ලෙඩක් දාගත්තා ද?''
'' ලෙඩක් නෙවෙයි පොඩි වාසියක්''
අනෝජා කැටුව පොඩි සෝමේ සමත මණ්ඩලයට යනවිට තරමක් ප්‍රමාද වී තිබුණි. සමථ මණ්ඩලයට අනිත් පාර්ශවය පැමිණ සිටියේය. අනෝජා උස් හඬින් කෑ ගසාගෙන සමථ මණ්ඩලයට ඇතුළු වූවාය. ඇගේ කෑගැස්ම නිසා සෙස්සෝ භය වූහ. ඇගේ හැඬිම නොනවත්වාම සිදු වූවාය. ඇගේ කඳුළු කැට සාරි පොටෙන් පිස දැමුවාය.
'' අනේ මහත්තයෝ මේ මගේ බැෙචක්. මෙයා රත්තරන් මහත්තයෙක්. මෙයා නං කවදාවත් මේ වගේ දේවල් කරන්නේ නැහැ. අනේ හරක් හොරකම් කරනවා තියා එහෙම හිතන්නවත් මේ මහත්තයා ට බැහැ. මං ඒ ගැන හොඳටම දන්නව. ගමේ දන්සල කරන්නේ මේ මහත්තයා. එතකොට පොඩි ළමයින්ට දානේ දුන්නෙත් මේ මහත්තයා. අනේ මේ බොරු චෝදනාවලින් මේ මහත්තයා නිදහස් කරන්න. අනේ මෙයා කුරා කූඹියෙකුටත් වරදක් කරන කෙනෙක් නෙවයි.''
අනෝජා දිගින් දිගටම කියාගෙන ගියාය.
කොඩි සෝමෙ අනෝජාට ඇහැක් ගැහුවේය.
සමථ මණ්ඩලයේ සිටි මහත්තයා ඇස් දෙක උඩ තියාගෙන බලා සිටියේය.
'' මොනවා ? මෙයාට උපාධියක් තියෙනවා. අනේ මංදා මේ ගමේම හරක් හොරකං කරන්නේ මේ මහත්තයා.''
ඇගේ හැඬීම නතර විය.
'' මේ නෝනා මං මේ ඔහේට කියන්නේ මොන ඩිග්‍රිය තිබුණත් වැඩක් නැහැ හැසිරෙන්න දන්නේ නැත්නම්. හැදියාව කියන එක ඩිග්‍රියකට වඩා වටිනවා නෝනේ. මේ වගේ හරක් හොරෙක් වෙනුවෙන් ඉදිරිපත් වීමෙන් මට නෝනාගේ තරමත් තේරෙනවා. මං නම් දන්නේ නැහැ. මේ මහත්තයාට ඩිග්‍රියක් තියෙනවා කියලා. හැබැයි මං දන්න දවසේ ඉඳලාම මේ මහත්තයා හරක් හොරකං කරනවා.''
අනෝජා බිම බලාගත්තේ කටට ආ අනිත් සියලු වචන ගිලගනිමිනි.