විහාර දෙකක් ගොඩනැඟූ අනුවේදනීය ආදර කතාව | Page 5 | සිළුමිණ

විහාර දෙකක් ගොඩනැඟූ අනුවේදනීය ආදර කතාව

ආදරය නිසා ජීවිත පූජාවක යෙදුනු අපූරු තරුණ යුවළක් පිළිබඳ මේ කතාපුවත එදා සිදුවූ අනුවේදනීය ප්‍රේම වෘත්තාන්තයකි. සත්‍ය සිදුවීම පිළිබඳව නියත වාර්තා ලිඛිතව හමු නොවෙතත් ජනවහර විසින් සිය ග්‍රහණයට ගත් කතාන්තරය නම් බෙහෙවින් ම ශෝකජනකය. මෙය දඹදෙණිය රාජ්‍ය කාලය තුළ සිද්ධවෙච්ච සිදුවීමක් ලෙස කියැවෙයි. අගනුවර ලෙස දඹදෙණිය ප්‍රකට වුවද මහ රජු දඹදෙණියේ රාජ්‍ය විචාළ නමුදු ප්‍රාදේශීය වශයෙන් තවත් රජවරුන් කීප දෙනෙක් ම එවකට මේ ප්‍රදේශයේ ප්‍රාන්ත බලධාරීන් ලෙස කටයුතු කර තිබේ.

අලව්ව කියන්නෙ දඹදෙණියට කි.මී. 15 ක් 20 ක් පමණ ඈතින් මාඔය ආසන්නව ඇති ප්‍රදේශයකි. මේ ප්‍රදේශයේ සිටි ප්‍රාදේශීය නායකයා එසේ නැතිනම් යුවරජු, තමා අග්‍රබෝධි කියන රජු. අග්‍රබෝධි රජු ඒ ප්‍රදේශයේ බලා හදාගෙන දඹදෙනි මහ රජුට සේවය කරමිනුයි උන්නෙ. ‍

අග්‍රබෝධි රජ්ජුරුවන්ට හිටිය දූල දෙන්නෙකුයි එක් පුතෙකුයි. පුතා තමා බාලය. ඔහ‍ුගෙ නම අසිත්‍යබණ්ඩාර. මිනිහ හරිම සෙල්ලක්කාරයා. ඒ වගේ ම ඇහැට කණට පේන්ඩ හිටි‍ය හොඳ ඉලන්දාරිය. රාජ උෂ්ණෙත් අරගෙන එක එක නාහෙට නහන වැඩ කරමින් හිටිය මේ දඟකාර පුතාට රජු අසීමිත ආදරයක් දැක්වූවා.

රාජකීය පෙනුමත්, තාරුණ්‍යයත් සමඟ එක්වූ බලපුළුවන්කාරකම නිසාම මෙයා තට්ට තනිය ම රටේ විවිධ ප්‍රදේශවල ඇවිදින්න පුරුදුවෙලා හිටිය. තැන් තැන්වල වෙසෙන සම වයසෙ තරුණයන් සමඟ යාළු මිත්‍රකම් පැවැත්වූවා.

ඔහුගේ එක් විනෝද ක්‍රියාවක් වුණේ දඩයමේ යෑම. යාළුවොත් එක්ක එකතු වෙලා දඩයමේ ගියාම සමහරදාට දින දෙක තුනේ ගෙදර එන්නෙ නෑ. එක එක තැන්වල රෑ ගතකරල යාළු මිත්‍රයො සමඟ විනෝද වෙලා තමා ගෙදර එන්නෙ.

රජ්ජුරුවන්ට මේක මහ හිසරදයක් උණා. කොයිතරම් අවවාද කළත්, හරිගියෙ නෑ. ඒවා කණකට ගත්තේ නෑ. එන්න එන්නම අර පුරුද්ද වැඩි වුණා. පුතාව හරියට හදාගන්න බැරිවේවි කියන සිතිවිල්ලෙන් රජ්ජුරුවො බොහොම දුකෙන් හා කේන්තියෙන් තමා නිතර කල් ගෙව්වෙ.‍‍

මෙහෙම ටිකක් කල්ගත වෙනකොට රජවාසලට පුතා පිළිබඳව නරක ආරංචියක් සැලවුණා. අසිත්‍යබණ්ඩාර මැටිවලගෙදර කියන ගමේ ගෙදරක ඉන්න එක තරුණ ගෑනු ළමයෙකු සමඟ හාදවෙලා. ඒ ගෙදර නතරවී ඉන්න බවයි රජ ගෙදරට ආරංචිය ආවෙ. මේ ආරංචිය රජගෙදරට එනකොට වැඩේ හුඟාක් දුරදිග ගිහිල්ලා.

අසිත්‍යබණ්ඩාරට දාව අර තරුණිය මවක් වෙන්නට හොඳට ම ආසන්නව සිටි බවයි කියැවුණේ.

පුතා ආපහු ගෙන්න ගන්න කියල කොච්චරවත් පණිවුඩ යැව්වා. නමුත් ඉන් කිසිම පලක් වුණේ නෑ. ඔහු රජගෙදර තියෙන සැප සම්පත්වලට වඩා අර මැටි‍වලගෙදර පැල්පතේ ඇති සැපතට වහවැටිලා. රජ්ජුරුවො තරහෙන් පුපුරන්නට පටන්ගත්තා. ඒ විතරක්ද ලැජ්ජාව. ඒ වගේ තත්වයක් රජෙක් කොහොම විඳ දරා ගන්නද? උහුලන්නද? වැඩියෙන් ම ලජ්ජාවන්නට සිදුවුණෙ අර තරුණියගෙ කුලය පහත්යයි සම්මත කුලයක් වීම නිසයි.

තමා ආදරයෙන් රැකබලාගෙන හදා වඩා ගත් එකම පුතා අඩුකුලයේ ගෙදරකට කොටුවීම රජුට දරාගත නොහැකි දෙයක් වුණා. පුතා වුණත් දැන් කරන්න දෙයක් නෑ. තමා දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ නිසා දැඩි තීරණයක් ගත්තා. ඒ තීරණය තමා මේ දෙන්නව මැටිවලගෙදර ගමේ පොදු ස්ථානයකට ගෙනැල්ල හිටුවා පස්ගසා මරා දැමීම. ඒක රාජ ආඥාවක් බවට පත්වුණා. එකල රාජ ආඥාවෙන් බේරෙන්න කිසිකෙනෙකු සමත් වුණේ නෑ.

එක දවසක් මේ රජ අණ ක්‍රියාත්මක කරන්න රාජපුරුෂයො මැටිවලගෙදර ගමට ආව. එක තැනක ලොකු වළක් කපල අසිත්‍ය බණ්ඩාර කුමාරයයි ඔහුගේ පෙම්වතියයි ගෙනත් ඒ වළට දාල ඒ දෙන්න සතුව තිබූ ඔක්කො ම ආභරණ මිල මුදල් මෙන් ම රජගෙදරින් එවා තිබූ අසිත්‍ය බණ්ඩාර සතු සියලු වස්තුවද ඒ වළටම දාලා දෙදෙනාගේ ම බෙල්ල දක්වා ම පස් පිරෙව්වා.

එතනින් නතර වුණේ නෑ. රජ්ජුරුවො මැටිවලගෙදර ගමේ අණබෙරයක් ඇරල කිව්වා සෑම ගෙදරකින් ම කිරිබත් හදාගෙන ඇවිත් ඒ ඔළු දෙක වැහෙන හැටියට එතැන කිරිබත් කන්දක් හදන්න කියල. ගම්මු රාජ නියෝගය ඒ හැටියෙන් ම පිළිපැද්දා. ‍‍ඔළු දෙක මැදිකරගෙන විශාල කිරිබත් කන්දක් හැදුනා. අසිත්‍යබණ්ඩාර කුමරු සිය පෙම්වතිය සමඟ එකට ම ජීවිත පූජාවක යෙදී ප්‍රේමයේ අමරණීයත්වය තුළ සදාකාලික ප්‍රේමවන්තයන් ලෙස ඉතිහාසයට එකතු වුණා.

ආදරය නිසා සිය ජීවිතවලින් වන්දි ගෙවූ මෙම ප්‍රේමවන්තයන් සතුව තිබූ රන්, රිදී, මුතු මැණික් ආභරණ ඇතුළු මහා ධනස්ඛන්ධය වළදාපු තැන අද දක්වා ම විශාල නිධානයක් ලෙස සුරැකී තිබෙන බවයි ගැමියන් පවසන්නෙ.

මෙම නිධානය ගොඩගන්න කියල නොයෙක්වර නොයෙක් අය උත්සාහ දරල තියනව. නිධානය පතා එතැන හාරන්නට සූදානම් වෙනකොට ම තරුණයෙක් හා තරුණියක් මාරාන්තික හඬකින් මොරදෙන බවයි කියැවෙන්නෙ. ඒ හඬ කණ වැකෙත් ම නිදන් හොරුන් සිහිසුන්ව එතැනම ඇදවැටීම කීප වතාවක් ම එතැන සිදුවී ඇති බව අද දක්වා ම ප්‍රදේශයේ ජනවහරේ පවතින පිළිගැනීමක්.

මේ ස්ථානයේ සිදුවන තවත් අරුම පුදුම දෙයක් නම් එදා කිරිබත් කන්න ආපු කපුටො අද දක්වා ම වර්ෂයේ එක් කාලයකට මෙතැනට ඒක රාශි වී වසා සිටින බවයි. මේ සිද්ධියත් අද දක්වා ම වාර්ෂිකව සිදුවන බවයි ගැමියන් පවසන්නෙ.

මල්ලිට සිද්ධවෙච්ච මේ අපරාධය දරාගන්න බැරුව අක්කල දෙන්න දැඩි ශෝකයට පත්වුණා. රජ්ජුරුවොත් දුකෙන් හා සංකාවෙන් කාලය ගත කරල ටික කලකට පස්සෙ අකාලයේ ම වාගෙ හදිසියෙ මැරිල ගියා.

දියණියන් දෙන්න ලෝකයේ තනිවුණා. පිය රජ්ජුරුවන්ගෙ අකල් වියෝ දුක තුනී කර ගන්නත් ඔහු සිදුකළ පාප කර්මයෙන් මුදවා ගන්නත් කියල ඒ කාලයේ ම දූ කුමාරිකාවෝ දෙන්න පන්සල් දෙකක් හදන්න පටන් ගත්ත.

ලීලාවතී කුමාරිය හදල සසුනට පූජා කළේ මඩවල විහාරය. අනුලාවතී කුමාරිය හදල සසුනට පූජා කළේ හුම්බුළුව විහාරය.

ඉපැරණි ප්‍රේම වෘත්තාන්තයක පුවතක් අදටත් ලොවට හෙළිකරමින් මේ පෞරාණික විහාර දෙක තවමත් මේ ප්‍රදේශයේ පවතිනවා.

Comments