උතුරේ සංවර්ධන අරුණැල්ල | Page 7 | සිළුමිණ

උතුරේ සංවර්ධන අරුණැල්ල

2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණ සමයේ ලබාදුන් ප්‍රතිඥාවකට අනුව ජාතික සමඟිය හා සංහිඳියාව ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය ස්ථාපිත කර ඇත. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම කාර්යාංශයේ සභාපතිනිය ලෙස කටයුතු කරමින් එතුමිගේ නායකත්වය යටතේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දියත් කරමින් සිටී.

එම කාර්යාංශය ජතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හවුල්කාරිත්වය ඇතිව උතුරු හා නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පුළුල් පස් අවුරුදු දිස්ත්‍රික් සංවර්ධන සැලසුම් සකස් කර ඇත. උතුරු නැගෙනහිර දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කරන ලද සමීක්ෂණයකට අනුව එම දිස්ත්‍රික්ක 08 හිම කර්මාන්ත පාදක කරගනිමින් ආර්ථික සහයෝගීතා වැඩසටහන යටතේ ජීවන උපාය සංවර්ධන ව්‍යාපෘති, ව්‍යාවසායකත්වය පාදක වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති, ණය යෝජනා ක්‍රම, ග්‍රාමීය යටිතල පහසුකම් , ධීවර හා ප්‍රජා ජලසම්පාදන ව්‍යාපෘති යන ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වේ.

එම ව්‍යාපෘති තුළින් ගෘහ මූලික කාන්තාවන්, වැන්දඹු කාන්තාවන්, විරැකියාවෙන් පීඩිත වූ තරුණ තරුණියන්ට ව්‍යාවසායකත්වය මත පදනම් වෙමින් තම ජීවන තත්ත්වයන් වැඩි දියුණු කරගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ලබාදෙන ණය යෝජනා ක්‍රමය යටතේ එක් පුද්ගලයෙකුට උපරිම වශයෙන් රුපියල් දෙලක්ෂ පනස්දහස දක්වා ණය ලබාගැනීමේ හැකියාව ලැබේ.

සෑම ව්‍යාපාර සැලසුමක් සඳහාම සම්පූර්ණ ණය මුදලෙන් 25% ක ප්‍රතිශතයක් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය ප්‍රදානයක් ලෙස ලබාදෙන අතර ඒ සඳහා වන පොළිය ද එම කාර්යාංශය ගෙවනු ලබයි. එවැනි ව්‍යාපෘති 400ක සංවර්ධන කටයුතු දැනට සිදුකෙරෙමින් පවතී. රුපියල් මිලියන 1100ක මුදලක් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය ලබා දී ඇත. එම සියලු ව්‍යාපෘතීන් 2017 වර්ෂය අවසන් වීමට පෙර අවසන් කිරීමට යෝජිතය.

එමඟින් සෘජුව හා වක්‍රව ලක්ෂ 5 ක පමණ ප්‍රතිලාභීන්ගේ මූලික අවශ්‍යතා සහ ඔවුන්ගේ ආර්ථිකය දියුණු වෙතැයි අපේක්ෂා කෙරේ. සංහිඳියා කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් හා උපදේශකත්වයෙන් දියත් කෙරෙන එම ව්‍යපෘති ඉදිරි අනාගත පරපුර ආර්ථික හා සමාජීය වශයෙන් ජයග්‍රාහී මාවතකට යොමු කිරීමේ හැකියාව ලැබේ.

බිංදු ජල සම්පාදන කෘෂිකර්ම පුහුණුව යටතේ සුළු පරිමාණ ගොවීන්ට කෘෂිකර්මාන්තයේ දී බලපාන ජල ගැටලුවලට විසදුම් ලබා දී ඇත. සාම්ප්‍රදායික කෘෂිකර්ම ක්‍රමයට වඩා ඉතාම අඩු ජල ප්‍රමාණයකින් ජල පහසුකම් අඩු දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ට ජල ගැටලු ඇතත් තම වගා කටයුතුවලින් ඉවත් නොවී වගා කටයුතු අතහැර දැමීමකින් තොරව අඛණ්ඩව ඉදිරියට කටයුතු කිරීමේ අවස්ථාව සැලසෙයි.

වියළි කලාපයේ පිහිටුවා ඇති ආදර්ශ ගොවිපොළ තුනෙන් ගොවිපොළ දෙකක් යාපනය විශ්ව විද්‍යාලීය කෘෂි විද්‍යා පීඨයේ අධීක්ෂණය යටතේ කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල ද , සෙසු ගොවිපොළ රුහුණු විශ්ව විද්‍යාලීය කෘෂි විද්‍යාපීඨයේ අධීක්ෂණය යටතේ මාතර මාපළානේ ද පිහිටුවීමට නියමිතය. පළමු අදියර වශයෙන් එක් දිස්ත්‍රික්කයකින් 100 බැගින් ගොවීන් 300 කට දිස්ත්‍රික්කයකින් 30 බැගින් කෘෂි ව්‍යාපෘති නිලධාරීන් 90 දෙනෙකුට දිස්ත්‍රික්කයකින් 3 බැගින් කෘෂි උපකරණ අලෙවිකරුවන් 9 දෙනකුට බිංදු ජල සම්පාදනය මඟින් සිදුකෙරෙන ගොවි තාක්ෂණවේදය පිළිබඳ පුහුණුව ලබා දේ. එම තාක්ෂණය මගින් එළවළු, පොල් , කෙසෙල් පලතුරු වැනි බොහෝ වාණිජ භෝග වර්ග වැවීමෙන් අස්වැන්න තෙගුණයකින් හා ආදායම දෙගුණයකින් වැඩිකර ගත හැකිය. නිවැරැදි තාක්ෂණය භාවිතය තුළින් එක් එක් භෝග වර්ගය වෙනුවෙන් අවම ජල සහ පෝෂක ප්‍රමාණයකින් වගා කිරීමේ හැකියාව ගොවියාට ලැබේ. එම කෘෂි කටයුතු සඳහා ජලය හා පොහොර සුළු ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් ගෝලීය උෂ්ණත්වයට බලපාන පෙදෙස් සඳහා සුදුසුම කෘෂිකර්ම ක්‍රමය ලෙස සැලකිය හැකියි.

තවද යාපනය දිස්ත්‍රික්කය තුළ පරිහරණය නොකරන ලද පැරැණි වැව් නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පුද්ගල ගොවිතැනට අවශ්‍ය ජල පහසුකම් ලබාගැනීමේ හැකියාව ඇත.

ඒ තුළින් යම් ප්‍රමාණයකින් හෝ වැසි ජලය මතම යැපීමකින් තොරව කටයුතු කිරීමේ අවශ්‍යතාව උදාවෙයි.

කාලයෙන් කාලයට වඩදිය බාදිය ක්‍රියාකාරිත්වයට අනුව පානීය ජල ළිං සඳහා මුහුදු ජලය මිශ්‍ර වීමක් සිදුවෙයි. එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ පානීය ජල ගැටලුවට විසදුමක් ලෙස කරදිය මුසුවීම වැළැක්වීමේ අරමුණින් ලවන බාධක දැමීමට කටයුතු කර ඇත. යාපනය සහ කිලිනොච්චි ජනතාවගේ උග්‍ර පානීය ජල හිගයට සහනයක් ලෙස වැසි ජල ටැංකි ලබාදීමේ වැඩ පිළිවෙළක් එම කාර්යාංශයේ සභාපතිනී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මුලිකත්වයෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරිණි.ෙ

සෑම පුරවැසියෙකුටම ආර්ථික සමාජීය, සංස්කෘතික හා දේශපාලන වශයෙන් ගරුකරන අගයන සියලු ශ්‍රී ලාංකිකයන් සහජීවනයෙන් හා සමඟියෙන් ස්ථාවරව ශක්තිමත්ම ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනැඟීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

Comments