
(මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළවිණි. මේ එහි අවසන් කොටසයි.)
විශේෂ කොමසාරිස්ගේ නිල නිවෙසේ වුන් අතවැසි සේවකයා විසින් ගම්වාසීන් වෙතට වරින්වර ගෙන එනු ලැබුවේ දිනෙන් දින ඔවුන්ගේ නොරිස්සුම තීව්ර කරවන කතන්දරය. ' උඹලා කාටවත් ඔය එක බිම් අඟලක් වත් භුක්ති විඳින්න ලැබෙන්නෑ ... දොස්තර රූබන් ළඟ ඔප්පු මිටියක් තියෙනව . පොලිස් ඉන්ස්පැක්ටර් නොතාරිස් රාලහාමි ගම්සභාපති වගේම මේ විශේෂ කොමසාරිස් කියන වාහෙත් එක කල්ලියක්.. උන් සේරම දැං සතියක් තිස්සේ එකට කනව බොනව නටනව ..රෑ එළි වෙනකං ඔය ඉඩම ගැන කුමන්ත්‍රණ කරනව උඹලට අන්තිමට මහපාර විතරයි.. කරන දෙයක් දැම්මම කරහල්ලා ..' යි ඔහු කී අතර ආවේග ඉහවහ ගිය ගම්වැසියන් පිරිසක් එක් දිනෙක රාත්‍රියේ විශේෂ කොමසාරිස්ගේ නිවෙසට ගල් ගැසුවේය. දොස්තර රූබන් පොලිස් ඉන්ස්පැක්ටර් ගිල්බට් ඇතුළු කණ්ඩායම ඒ වනවිටත් පදමට රත්වී සිටියේය.
පසුදින පාන්දරින්ම තම සේවකයා කැඳවූ විශේෂ කොමසාරිස් රිවේරා ඔහු ලවා ගම පුරා හදිසි නියෝගයක් ප්‍රචාරය කෙළේය. - " ඇස්විද්දගම ඉඩම් නඩුවේ අවසන් සාක්ෂි විමසීම සහ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනයේදී සිදු කරනු ලැබේ.- " එහෙත් එකී නිවේදනය ප්‍රචාරය කිරීමටත් පෙර එහි පැමිණ සිටි ප්‍රාදේශිය පුවත්පත් වාර්තාකරුවන් සිද්ධිය වාර්තා කිරීම සඳහා ගම්සභා කාර්යාලය අසල රොක්වී සිටි අතර හරියටම පෙරවරු 09.00ට විශේෂ කොමසාරිස් පෙරටුව පිළිවෙළින් දොස්තර රූබන් නොතාරිස් ඇන්තනි ගම්පති පීටර් සහ පොලිස් මුලාදෑනි ගිල්බට් දැඩි රැකවල් මැද ගම්සභා කාර්යාලයට පැමිණියේ උදාරම් ලීලාවෙනි.
ගම් සභාපතිගේ විශාල කළුවර කැටයම් ආසනයේ ගරු ගාම්භීරව වාඩි වූ විශේෂ කොමසාරිස් රිවේරා මුලින්ම ගම්වාසීන් අමතා කතා කෙළේ මවාගත් කෝපයකිනි. "පහුගිය සතියේ තමුන්නැහැලා ක්‍රියාකළ හැටි ශිෂ්ට සම්පන්න මිනිසුන් හැටියට කොහෙත්ම අනුමත කරන්න බෑ. මෙතැන් සිට කොයි කවුරු නමුත් නීතියට සහ ශීලාචාරකමට විරුද්ධව ක්‍රියා කළොත් හිරබාරයට ගන්නව. කලබල කරන්න ආවෝත් පූර්ව දැනුම් දීමක් නැතිව වෙඩි තියන්න මම විශේෂ පොලිස් බළකායට නියෝග කරලයි තියෙන්නේ ' යි ඔහු කියමින් සිටින අතර පැමිණ සිටි පුවත්පත් වාර්තාකරුවෝ එකිනෙකාගේ මුහුණු බලා ගත්තෝ මේ කුමන නීතියක් දැයි නිහඬව ප්‍රශ්න කරන ලීලාවෙනි. ඔවුන්ගේ අභිනයන් නිරීක්ෂණය කළ විශේෂ කොමසාරිස් ඒ නොදුටුවාක් මෙන් යළිත් මෙසේ කීය. ' පහුගිය සතියේ දොස්තර රූබන් නොතාරිස් ඇන්තනී ගම් සභාපති පීටර් වගේම පොලිස් මුලාදෑනි ගිල්බට් සහ මම මගේ නිල නිවෙසේ රෑ බෝවෙනතුරු නෙවෙයි සමහරදාට පහුවදාට එළිය වැටෙනකම් මේ නඩුව ගැන විස්තර කතා කළා. ඉතිං නිකංම නිදි මරන්න බැරි නිසා අපි වයින් ටිකක් එක්ක දඩමසුත් කෑවා. ඔය අතරේ හොඳ කපිරිඥ්ඥා බයිලා සිංදුත් කිව්වා ... කොහොම නමුත් අන්න ඒ දවස් ටිකේ අපි බොහොම විනෝදෙන් හිටියා වගේම එකිනෙකාව ඉතා හොඳට හඳුනා ගත්තා .. ඉතිං ඒ අනුව මට මේ දැං වුණත් තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. නමුත් මං සාධාරණ මිනිහෙක් බව ඔප්පු කරන්න වුවමනා නිසා දෙපැත්තටම පැය දෙකක් දෙනව තම තමන්ගෙ හිමිකම් අයිතිය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කරන්න " යි ඔහූ ගාම්භීරව කීවේය.
ඒ සමඟ ම නැගී සිටි දොස්තර රූබන් දැඩි විශ්වාසයකින් පියවර තබමින් ඇවිද ගොස් ඔප්පු තිරප්පු මිටියක් විශේෂ කොමසාරිස් වෙත බාර දුන් අතර ඔවුන් දෙදෙනා වෙතින් එවිට ප්‍රකට වූයේ එය කල්තබා කතිකා කැර ගත් ගිවිසුමක් අනුව සිදු වූ දෙයක් ලෙසිනි. ඉතා ප්‍රීතිමත් කුලුපග ලීලාවෙන් ඔප්පු මිටිය අතට ගත් විශේෂ කොමසාරිස් දොස්තර රූබන් දෙස බලා කාටත් පෙනෙන ලෙස ඉගි මැරුවේය. අනතුරුව ඔහු ගැමියන් දෙස බලා මෙසේ කීවේය. " කෝ තමුන්නැහැලාගේ ලියවිලි කඩදාසි බලපත්‍ර ඔප්පු තිරප්පු .. ඉදිරිපත් කරන්න " යි යනුවෙන් නැගුණු ප්‍රකාශය හමුවේ ගැමියන් අතර නොසන්සුන්තාව සහ කසුකුසුව මතුවිය. " මෙතන කච බච ගාන්න එපා .. කෝ තමුන්නැහැලාගේ ඔප්පු තිරප්පු ... වෙලාව නාස්ති නොකර ඉදිරිපත් කරන්න .. ' යි විශේෂ කොමසාරිස් දෙවැනි වරටත් නිවේදනය කෙළේය. එහෙත් එකම හිමිකම් ඔප්පුවක්වත් ඉදිරිපත් කිරීමට එකම ගැමියකුවත් ඉදිරිපත් නොවූයෙන් විශේෂ කොමසාරිස්වරයා නැවත මෙසේ කීවේය . ' මේ තුන්වැනි සහ අවසාන නිවේදනය දොස්තර රූබන් සිල්වා හැරෙන්නට අන් යම් කෙනෙකුට ඇස්විද්දගම - කුරුඳුයාය අක්කර 1521 ඉඩම පිළිබඳව නීත්‍යානුකූල හිමිකම් ඔප්පු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න ' එහෙත් කිසිවකුත් එකම ඔප්පුවක්වත් පෙන්වීමට ඉදිරිපත් නොවූ නමුත් ගැමියන් අතරින් එක් රළු කෝපාන්විත හඬක් මතුව ආවේය. " මේක යකාගේ නඩුවක් නේ යකෝ .. ඕවා අපි පරම්පරාවෙන් භුක්ති වින්ද ඉඩම්. මීට කලින් කොයි කවුරුවත් අපෙන් ඔප්පු ඉල්ලුවේ නෑ ... ' යි වයෝවෘද්ධ ගැමියකු කෑගසමින් සිටියදී සන්නද්ධ පොලිස් නිලධාරින් දෙදෙනකු විසින් වහා කුදලා ගනු ලැබූ ඔහුව ගම්සභා කාර්යාලයෙන් ඉවතට ඇදගෙන යනු ලැබිණ. තෘප්තිමත් සිනහවකින් එදෙස බලා වුන් විශේෂ කොමසාරිස් රිවේරා තම හඬ අවදි කෙළේය.
' හොඳයි සියල්ල පැහැදිලියි. මට දැං තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. නමුත් අපි හැම විටම නීතියේ සම්ප්රදාය රැකිය යුතුයි .. අන්න එතකොටයි තීන්දුව පරිපූර්ණ වෙන්නේ .. ' යි කී ඔහු දොස්තර රූබන් විසින් බාර දෙනු ලැබූ ඔප්පු මිටිය අතරින් අන්තිම කැමති පත්‍රයක් ඉවතට ගත්තේය. ' මෙන්න මේ ලේඛනය පමණක් මම නිකමට තෝර ගත්තා .. මේකේ අක්ෂර අස්සන් සහ මහපටැගිලි සලකුනු අස්සන නිකමට සම්ප්‍රදායට වගේ තහවුරු කර ගත්තම දොස්තර රූබන්ට අක්කර 1521 කේ නිරවුල් භුක්තිය හිමිවෙනවා ... " යි ඔහු කියන විට ගැමියන් අතර නොසන්සුන්තාවක් පැතිර ගිය නමුත් එය ඒ සැණින්ම යටපත් විය.
" ප්‍රසිද්ධ නොතාරිස් ඇන්තනී විසින් සහතික කරන ලද පළාත් පොලිස් මුලාදෑනි ගිල්බට් සහ ගම් සභාපති පීටර් විසින් සාක්ෂි ලෙස අස්සන් කරන ලද ජේන් මාගරීටා බර්නදෝවා මහත්මියගේ අන්තිම කැමති පත්‍රය අනුව ඇයට පරම්පරාවෙන් උරුම වූ අක්කර 1521 යි පර්' 12 ක කුරුඳු ඉඩම දොස්තර රූබන් ද සිල්වා මහත්මාට ඇගේ මරණයෙන් පසුව භුක්තියට හිමිවෙයි . .. " යනුවෙන් කියවන්නට පටන් ගත් විශේෂ කොමසාරිස් රිවේරා ; පිළිවෙළින් නොතාරිස් ඇන්තනි - ගම් සභාපති පීටර් සහ පොලිස් මුලාදෑනි ගිල්බට් යන අය තමා ඉදිරියට කැදවා එහි ඇති අස්සන් ඔවුන්ගේ දැයි විමසූ අතර ඔවුන් තිදෙනාම එකී අස්සන් තම තමාගේ බවට තහවුරු කෙළේය.
අනතුරුව දොස්තර රූබන් ද සිල්වා තමා හමුවට කැඳවූ විශේෂ කොමසාරිස් ඉතා මිත්රශීලීභාවයක් ආරූඪ කැර ගෙන ඔහුට කතා කෙළේය.
වි.කො. - මගේ සුබ පැතුම් ඔබට ! ඔබේ අනන්‍යතාව තහවුරු කිරීම නීතිය අනුව කළ යුතුයි ..ඉන් පසුව ඔබට රිසි ලෙස ඉඩමේ අයිතිය භුක්ති විදින්න පුළුවන්. ඉතිං ඒ නිසා මම ප්‍රශ්න දෙක තුනක් ඔබෙන් අහනවා. ඊට ඔබේ විරුද්ධත්වයක් තිබෙනවාද ?
දො.රූ. - අපොයි නෑ කොමසාරිස්තුමනි.
වි.කො. දොස්තර රූබන් ද සිල්වා ... මා ඔබ ආමන්ත්‍රණය කළ ආකාරය නිවැරදිද ?
දො.රූ. - එහෙමයි ඔබතුමා නිවැරදියි කොමසාරිස්තුමනි.
වි.කො. - හොඳයි එහෙම නම් මට ඔබගේ වෛද්‍ය බලපත්‍රය ඉදිරිපත් කරන්න .. දොස්තර රූබන් ද සිල්වා.
( මෙතෙක් ඉතා විනෝදාත්මක ඉරියව්වක් පාමින් පිළිතුරු දෙමින් සිටි දොස්තර රූබන් ද සිල්වා ගල් පිළිමයක් උන්හිටි ගමන් පැත්තකට ඇලවෙන්නාක් මෙන් කඩා වැටෙන්නට ආසන්නව තුෂ්ණිම්භුතවම සිටියේය. විශේෂ කොමසාරිස් රිවේරා ඔහුගෙන් දෙවරක් ම වෛද්‍ය බලපත්‍රය ඉල්ලා සිටි මුත් රූබන් නිරුත්තරවම වුන්නේ සිදුවන දෙය අදහා ගන්නට නොහැකි අයුරක් ප්‍රකට කරමිනි. )
වි.කො. - ඇයි ඔබ නිහඬ ... තව මොහොතකින් ඔබ සරුසාර ඉඩම් අක්කර 1521 ක නීත්‍යානුකූල හිමිකරුවා බවට පත්වෙනවා. ඉතිං මා ඔබෙන් ඉල්ලන්නේ ඉතා සුළු දෙයක් විතරයි. කරුණාකර ඔබේ අනන්‍යතාව තහවුරු කරන්න. මේ තමා ඔබෙන් මා එය ඉල්ලා සිටින තෙවැනි සහ අවසන් අවස්ථාව.
( එහෙත් දොස්තර රූබන් දිගටම නිහඬතාව පළ කෙළේය )
රූබන් දෙස එක් බැල්මක් පමණක් හෙලූ විශේෂ කොමසාරිස් රිවේරා විසින් නොතාරිස් ඇන්තනීව නැවත තමා හමුවට කැඳවනු ලැබීය.
වි.කො. - ප්‍රසිද්ධ නොතාරිස් ඇන්තනී ඔබ දැන් ටික වේලාවකට පෙර ජේන් මාගරීටා බර්නදෝවා මහත්මියගේ අන්තිම කැමති පත්‍රයට ඇය විසින් ඔබ ඉදිරියේ අස්සන් කළ බවත් එහි ඇති සහතික කළ අස්සන ඔබගේ බවත් පිළිගත්තා නේද ?
නො. ඇ.- එහෙමයි කොමසාරිස්තුමනි.
වි.කො. - එහි දිනය ලෙස දැක්වෙන්නේ 1954 ජූනි 02 නේද .. යි කී විශේෂ කොමසාරිස් එකී අන්තිම කැමති පත්‍රය නොතාරිස් ඇන්තනී අතට දුන් අතර ඔහු විසින් එම දිනය නිවැරදි බවට තහවුරු කරන ලදී. එහෙයින් විශේෂ කොමසාරිස් නැවත ඔහුගෙන් ප්‍රශ්න ඇසීම ආරම්භ කෙළේය. ' ඔය අන්තිම කැමති පත්‍රයට අස්සන් කළ දවසට මාස 09 යි දින 13 කට පසුව තමා රැජිනගේ සංවත්සරය යෙදුණේ ..ඔය අලවලා තියෙන මුද්දරය නිකුත් වුණෙත් එදාමයි. එතකොට මෙතන පොඩි පටලැවිල්ලක් වගේ තියෙනව නේද .. ? ඔබට පුළුවන්ද අපට ඒක වුණේ කොහොමද කියලා පෙන්වා දෙන්න. ?
( මෙහිදී රූබන් මෙන්ම ඇන්තනී ද දිගටම මුනිවත රකින්නට විය.)
ඉන් අනතුරුව පොලිස් මුලාදෑනි ගිල්බට් සහ ගම් සභාපති පීටර් යන දෙදෙනා තමා ඉදිරියට කැඳවූ විශේෂ කොමසාරිස් ඔවුන් දෙදෙනා ගෙන් ම ඇසුවේ එකම ප්රශ්නයකි.
වි.කො. - ජේන් මාගරීටා බර්නදෝවා මහත්මිය ඇගේ අන්තිම කැමති පත්‍රයට ඔබ දෙදෙනා ඉදිරියේ අස්සන් කළ බවත් ඊට සාක්ෂියක් වශයෙන් ඔබ දෙදෙනාත් ඊට අස්සන් කළ බව මීට ටික වේලාවකට පෙර පිළිගත්තා නේද ?
( ඊට ප්‍රතිචාර වශයෙන් පොලිස් මුලාදෑනි ගිල්බට් සහ ගම්පති පීටර් හිස සලා ඊට එකඟතාව පළකළ අතර විශේෂ කොමසාරිස් එයින් කෝපයට පත්විය.)
වි.කො. - ගොලුවො වගේ මෙතන ඔලුව වනන්න එපා .. කියන දෙයක් කාටත් ඇහෙන්න කියන්න. ඔය ඔබ දෙන්නා ඉදිරියේ අස්සන් කළයි කියන ජේන් මාගරීටා බර්නදෝවා මහත්මිය මිය ගියේ ඔය සිද්ධියට අවුරුදු 4 යි මාස 2 කට කලින් බව පොදු සුසාන භූමියේ ලේඛනවල සඳහන් වෙනවා. එතකොට මැරුණු කෙනෙක් තමා නැවත ඇවිත් මේ ඔප්පුවට අස්සන් කරලා තියෙන්නේ .. නෑ මං අහන්නේ ඉන්ස්පැක්ටර් පොලිස් ගිල්බට් ... ඔබට හිතෙන්නේ නැද්ද නිකං හොල්මං වගේ කියලා .. ඒ වගේම මේ ගම්වැසියන්ගේ නායකයා ගම්සභාපති පීටර් ඔබට නිකං මළකුණු ගඳක් වගේ දැනෙන්නේ නැද්ද හැබෑට ඈ ... '
( රූබන් සහ ඇන්තනී අනුව යමින් මෙහිදී ගිල්බට් සහ පීටර් යන දෙදෙනාත් නිහඬවම සිටියේය)
ඇස්විද්දගම ඉඩම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවත් පැයකින් කල් දමන බව කී විශේෂ කොමසාරිස් රිවේරා කළුවර කැටයම් පුටුවෙන් නැගිට ගිය අතර ඒ සමඟම ගම්සභා කාර්යාලය එකම කච බචයකින් ගිගුම් දෙන්නට විය. බොහෝ දෙනා බොහෝ දේ එකිනෙකා අමතා කියන්නට උත්සුක වූ නමුත් ඒ කිසිවක් කිසිවකුට පැහැදිලිව ඇසුණේ නැත. එහෙත් සියලු දෙනා තුළින්ම ප්‍රකට වූයේ අදහාගත නොහැකි යමක් සිදුවෙමින් තිබෙන්නේය යන කුතුහලයයි. එහෙයින් ගම්සභා කාර්යාලයෙන් කිසිවකුත් පිටතට නොගියා පමණක් නොව මෙතෙක් එහි නොපැමිණි ගම්වැසියන් ද නොයෙක් දෙසින් ඇදී එන්නට වූ නිසා ගම්සභා කාර්යාලයේ බිත්ති පුපුරන තරමට එහි තදබදය උත්සන්න විය. නියමිත පැය ඉක්ම යෑමට මිනිත්තුවක් ඉතිරිව තිබියදී පෙරළා ගම්සභා කාර්යාලයට පැමිණි විශේෂ කොමසාරිස් රිවේරා තම තීන්දුව ප්‍රකාශ කිරීම ආරම්භ කෙළේය.
" .. මා ඔබට මුලින්ම කිව යුතුයි මම මෙහි එන විට ඉතාම ලස්සන වටිනා කැන්ගොල් ක්‍රොස් තොප්පියක් රැගෙන ආවා. නමුත් මේ පොළොවට අඩිය තියන්නත් කලින් නුඹලාගෙන් කෙනෙක් ඒ තොප්පිය මගෙන් උදුරා ගත්තා විතරක් නෙවෙයි ඒ පුංචි හොර ගෙඩියව ඉදිරිපත් නොකර උඹලා තාමත් මට හොර කරනවා. ඉතිං දැං ඒ කාරණේ රටේ ප්‍රසිද්ධ පුවත්පත්වල ප්‍රචාරය වෙයි කියලයි මං හිතන්නේ ' යි කී ඔහු පුවත්පත් වාර්තාකරුවන් දෙස බැරෑරුම් බැල්මක් හෙළූ අතර ඒ සමඟ ම ගම්වැසියන් අතර ක්ෂණික කසුකුසුවක් පැතිර ගියේය. ඒ නොතකමින් විශේෂ කොමසාරිස් රිවේරා පුවත්පත් වාර්තාකරුවන් දෙස බලමින් දිගටම කතා කරන්නට විය. ' ... මෙහි පැමිණි උගත් මිත්‍රවරුනි .. මේ කැන්ගොල් ක්‍රොස් තොප්පිය පිළිබඳ කතාව ගැන ඔබේ අවධානය මොහොතකටවත් අඩු කර ගන්න එපා .. ' යි ඔහු කියමින් සිටියදී ' ස්ටාර්' පුවත්පතේ වාර්තාකරු විසින් තමා තුළ හටගත් හාස්‍යජනක සිනහව මැඬ ගන්නට මෙන් ' මෝනිං ප්‍රයිඩ් ' පුවත්පතේ වාර්තාකරුට වැලමිටෙන් ඇන්නේය. එසැණින් ඔහු ලියමින් සිටි පෑන බිම වැටිණ. ඒ සමඟම විශේෂ කොමසාරිස් රිවේරා හඬ උස් කෙළේය. ' මහත්මයා .. මගේ තොප්පියට වුණෙත් ඕකමයි .. බිම වැටුණා විතරයි අන්තරස්දාන වුණා .. ඒ නිසා මා ඔබට කිව යුතුයි වැලමිටෙන් ඇන්නට කමක්නෑ පෑන බිම දාගන්න නං එපා .. ' යි ඔහු කියන විට මහ සිනහ හඬක් පැතිර ගියේය. ' ඉතිං මහත්වරුනි .. නඩුව බලන එක පැත්තක දාලා තොප්පිය හොයා ගන්න මං මේ ඇස්විද්දගම පුරා සතියක්ම ඇවිද්දා .. හැම ගෙදරකටම හැම ඉඩමකටම ගිහින් හැමෝ එක්කම විස්තර කතා කළා .. හැම දෙයක්ම දැන ගත්තා හැම දෙයක්ම දැක්කා. හැබැයි මගේ තොප්පිය නං ඒ කොතැනකවත් තිබුන්නෑ ... හොදයි අපි දැං මොහොතකට ඒ තොප්පිය ගැන කතාව අමතක කරමු .. ' යි කී විශේෂ කොමසාරිස් රිවේරා ' කෝ මේ දොස්තර රූබන් ..පොලිස් ඉන්ස්පැක්ටර් ගිල්බට් .. නොතාරිස් ඇන්තනී ... පේන්නවත් නෑනේ ... ' යි දෙතුන්වරක් උස් හඬින් කතා කළ මුත් ඔවුන්ගෙන් කිසිවකුත් පෙනෙන්නට නොවීය . ' කෝ මේ මගේ යාලුවෝ .. මටත් නොකිය පැනලා ගිහිං වත්ද .. ' යි ඔහු ආරූඪ කැරගත් විමතියකින් වටපිට බලත්දී ගම්වාසීන් අතරින් නැවත හාහෝවක් මතුවූ නමුත් විශේෂ කොමසාරිස් ඔවුන් නිහඬ කරමින් හඬගා කතා කරන්නට විය. ' හ්ම්.. එහෙනං තීන්දුව දෙන්නත් කලිං ඔවුන් පැනලා ගිහිං .. ඒ වුණත් අපේ ගම්සභාපති පීටර් නං මේ කොහේ හරි ඇති.. මොකද එයානේ මේ ගමේ නායකයා ... ' යි ඔහු කියත්දී ගම්මුන් අතරින් පාලනය කරගත නොහැකි හූ හඬක් පැන නැංගේය. ' බලාගෙන යත්දී ගම්සභාපතිත් අතුරුදන් වෙලාද ඈ .. ' යි විශේෂ කොමසාරිස් ගුප්ත සිනහවකින් ගම්වාසීන් දෙස බලා ප්‍රශ්න කරත්දී නැවත හාහෝ හඬින් ගම්සභා කාර්යාලය දෝංකාර දුන්නේය. පුවත්පත් වාර්තාකරුවන් දෙස බලමින් ඉඟි කළ විශේෂ කොමසාරිස් ; ' ඔන්න දැක්ක නේද පත්තර මහත්තුරු .. වෙච්ච දේ දැං පැයකට කලිං මෙතන හිටිය මිනිස්සු හතර දෙනෙක් උන්හිටි ගමං අන්තරස්දාන වෙලා .. අන්න ඒකම තමා මගේ කැන්ගොල් ක්‍රොස් තොප්පියටත් සිද්ධ වුණේ .. බිම වැටුණා විතරයි අන්තරස්දාන වුණා නේ ..' යි ඔහු කියත්දී සියලු දෙනාම සිනාසුණෝය.
' දැං ඉතිං මට තීන්දුව දෙන්න වෙන්නේ .. ඉඩමේ අයිතිකාරයෝ සාක්ෂි කාරයෝ කවුරුවත්ම නැති වෙලාවක නිසා ඔවුන්ගේ හිත වෙනස් වුණොත් ආපහු හැරිලා එයි කියලා හිතලා අපි තව මිනිත්තු කිහිපයක් බලා ඉම්මු ... ඒ ටිකේදී මං කියන්නං කවුරුත් දන්න කතාවක් ... අලුත් ගිවිසුම් පොතේ තියෙනවා මාර සිද්ධියක් .. ඔන්න සබත් දවස උදාවුණා .. ඉතිං මරණයට තීන්දු වුණු මිනිහෙකුට අභය දානය ලැබෙනව .. ඔය දවස වෙත්දී කුරුසයේ ඇණ ගහලා මරන්න නියම වෙච්ච දෙන්නෙක් හිටියා එක්කෙනෙක් මිනීමරුවෙක් ..පල්හොරෙක් වූ බරබ්බාස් .. අනෙක් කෙනා තමන් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා කියල කීව නාසරෙත්හි යේසූස් .. ඉතිං අධිකරණ නායක පිලාත් තීන්දු කළා නිර්දෝෂී මිනිහෙක් වූ නාසරෙත්හි යේසූස්ට සමාව දෙන්න. නමුත් මොකද වුණේ ... නගරයේ ගෑනූ රොත්තක් තව පූජක නඩයක් එක්ක ඇවිත් මහා උද්ඝෝෂණයක් කළා .. බරබ්බාස්ව නිදහස් කරන්න කියලා .. ඉතිං පිලාත් ඇහුව අර ගෑනුන්ගෙන් මොකෝ උඹලා මොකද මේ පල්හොරෙක් වූ බරබ්බාස්වම නිදහස් කරන්න කියලා බොරු සාක්ෂි දෙන්නේ කියලා .. එතකොට අර ගෑනු රොත්තයි පූජක නඩයයි එක හෙළා දිවුරලා පලි ගහලා කිව්වා .. නෑ නෑ .. අපිට බරබ්බාස්වමයි ඕනෑ කියලා .. ඉතිං අන්තිමට පල්හොරා බරබ්බාස් නිදහස්වෙලා ගෙදර ගියා .. දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියල කිව්ව නාසරෙත්හි යේසූස් කුරුසයේ මැරුම් කෑවා .. ඉතිං ඊට පස්සේ වෙච්ච දේ කවුරුත් දන්නවනේ .. නමුත් උඹලා කවුරුවත් දන්නෑ බරබ්බාස්ට මොකද වුණේ කියලා .. දැං මෙතන පැයකට කලිං හිටිය දොස්තර රූබන් .. පොලිස් ඉන්ස්පැක්ටර් ගිල්බට් නොතාරිස් ඇන්තනී ගම්සභාපති පීටර් .. උං හතර දෙනාම පැවත එන්නේ බරබ්බාස් නිකායෙන්. මොකද උං හොර ඔප්පු හදලා මුළු ගමක්ම කාලයක් තිස්සේ මංකොල්ල කෑවා .. ඔය රූබන් කියන එකා දොස්තර කෙනෙක් නෙවෙයි .. ඌ බොරුකාරයෙක් .. මං ඒක උගේ කටිංම අල්ල ගත්තා .. ඊ ළඟට පොලිස් ඉන්ස්පැක්ටර් ගිල්බට් .. නොතාරිස් ඇන්තනී ගම්සභාපති පීටර් මුං තුන් දෙනාම ආණ්ඩුවේ නියෝජිතයෝ .. නමුත් උං අර රූබන්ගෙන් ජරාව කෑවා මිස මේ ගමට විනයක් හැරෙන්න කරපු සෙතක් නෑ .. උංගේ වියදමින් සතියක් පුරා කමින් බොමින් ජොලියේ ඉන්න අතරේ ඔය සේරම මං උංගේ කටවල්වලින්ම වමාර ගත්තා .. නමුත් දැං පැයකට කලිං මං උන්ට පැනලා යන්න ඉඩ හැරියා .. ' යි විශේෂ කොමසාරිස් කියත්දී ගම්වාසීන් අතර නොරිස්සුම තීව්ර විය. ' දැං ඉතිං උඹලා බොරු වීරයෝ වගේ මෙතන ජරමර කරන්න හදන්න එපා .. උං හතර දෙනා ආයේ කවදාවත් මේ ගමට එන්නෑ .. මේක මේ විදිහට බේරුම් කර ගත්තේ නැත්තං උඹලට කවදාවත් ඔය ඉඩම් භුක්ති විඳින්න ලැබෙන්නෑ .. මොකෝ ඔය ඉඩම උඹලට අයිති බව කියන්න එකම කඩදාසියක්වත් උඹලා ළඟ නැති බව මං හොඳාකාරව දන්නවා. ජේන් මාගරීටා බර්නදෝවා ළමාතැනිට පෙළපත් උරුමෙට ලැබුණු ඔය ඉඩම එයාගේ මරණයෙන් පසුව කාටවත් අයිති නෑ .. ' යි කී විශේෂ කොමසාරිස් රිවේරා හඬ බරකොට මෙසේ කීවේය ' මට ඔය ඉඩමේ ඇත්ත කතාව දැන ගන්න ලැබුණේ මං මේ ගමේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්ද නිසයි .. හැම මිනිහෙක්ම හැම ගෑනියෙක් එක්කම වංහුං කතා කරපු නිසයි .. ඒ විතරක් නෙවෙයි අර පල්හොරුත් එක්ක කන්න බොන්න නටන්නත් ගියානේ ... ඉතිං ඇයි මං එහෙම කෙරුවේ ... ? වෙන මොහොකටවත් නෙවෙයි .. මගේ නැතිවෙච්ච කැන්ගොල් ක්‍රොස් තොප්පිය හොරකම් කරපු එකාව හොයා ගන්න තමා මං එහෙම කෙරුවේ .. ' යි ඔහු කියත්දී ගම්සභා කාර්යාලයේ බිත්ති දෙදරන්නට උසුලු විසුලු සිනාහඩ නැගිණ.