
‘කිටී’ ඒ මගේ සුරතලාගේ පළමුවැනි ම නම ය. ඒ හැර තවත් නම් රාශියකි. අල්ලපු නිවසෙන් මා ඌ රැගෙන ආවේ තාත්තාටත් අයියාටත් හොරෙනි. දවස් දෙක තුනක්වත් යෑමට මත්තෙන් අපේ ගෙදර කිටියෙකු සිටින බව මුළු ගම ම දැනගත්තේ ය. හේතුව කිටීගේ දඟ වැඩය. දඟ වැඩවලට තාත්තා දුන් දඬුවම් ය.
කිටියා තරම් පිලී කෑමට පෙරේතකම් කරන තවත් පෙරේතෙකුවත් කුම්භාණ්ඩයෙකුවත් සිටින බව මම විශ්වාස නොකරමි. නමුත් අන් පූසන් අතර උගේ විශේෂයක් තිබේ. ඒ ටීවීවල පේන හා කාටුන්වල වැඩදාන පූසන් මෙන් අපේ කිටී කිසිදාක කිරි බී නොතිබීමය. කිටියට කිරි දීමෙන් මට සිදුවන්නේ කොන්දේ රිදුම් තෙල් ගා ගැනීමටය.
කිටියා මහ කපටියෙකි. ටිකක් හුරතල් ය. ගොඩක් ලස්සන ය. නැට්ට කොටය. ඌ කරන එකම කරච්චලය ඤාව් ගෑම ය. කිටියා නිසා මට පන්තියේ යම් ජනප්‍රියත්වයක් ද ලැබිණි. දැන් නම් කිටී නැතිනම් මට ඉස්කෝලේ යෑමට ද නොහැකිය. එහෙනම් මා උදෑසන නැගිටින්නේ ඉර ගේ උඩට ම ආ පසුවය.
මොන දේ වුණත් ඒ මගේ කිටීය. ඌ ඉක්මනින් ලොකු වනවාට මම අකැමැත්තෙමි.
තක්ෂිලා මධුභාෂිණී ජනකාන්ත
11 - ‘බී’ ශ්‍රේණිය,
ධර්මාලෝක නවෝද්‍යා පාසල,
පැල්මඩුල්ල.