
ඒ ශීත ඍතුවයි. මෙහි දීර්ඝ බව බොහෝ දෙනකුට බලපෑවේ නොසිතූ ලෙසය. හිම තුහිනවල දැඩි අපහසුව විඳ දරාගෙන පාසල් යාම එතරම් පහසු නැත. ඕස්ට්‍රේලියාවේ තිබුණ කාලගුණ තත්ත්වයට දැන් ඇක්සීස් හුරු වී ඇත. ශිතලෙන් ලැබෙන අධික දරාගැනීම් සහ ග්‍රීෂ්ම ඍතුවේ ලැබෙන අධික උණුසුමත් ඇගේ වැඩ අත පසු කළේ නැත. උපතින්ම එක අතක් අහිමි වීම නිසා අනිත් ළමයින් මෙන් වේගයෙන් වැඩ කරගැනීමට ඇයට නොහැකි විය. ඇය නිතර මේ ගැන කල්පනා කළාය. ඇගේ සිතේ නැඟෙන සියලු දුක් වේදනා පැවැසීමට ඇයට සිටියේ අත්තම්මා පමණි.
‘‘කෝ අත්තම්මේ අම්මා? කෝ තාත්තා? ඇයි මගේ අතට මෙහෙම වුණේ?”
ඇයට ජීවිතයට දැනෙන්නට ගත් දා සිටි ඇය ඇසුවේ එය පමණි. ඇගේ මෙවැනි ප්‍රශ්න අබියස කාෆ් ගොලු වුණා පමණි. හැත්තෑ හැවිරිදි කාෆ් තම පුංචි මිනිබිරිය සමඟ ගෙන ගියේ පුංචි යුද්ධයකි. ඒ ජීවන යුද්ධයයි. රට ධනවත් වුවත්, අන් අයට සාපේක්ෂව ඔවුහු ධනවත් නොවූහ. ග්‍රීෂ්ම ඍතුව ගෙවී යාමත් සමඟ මිනිබිරියත් හා කාෆ් ශීත ඍතුවට සැරසේ. මේ නිසා ශීත ඍතුවේදී උණුසුම රැක ගැනීම වෙනුවෙන් දැව වර්ග එකතු කිරීමේ ලා බොහෝ වෙහෙසීමට සිදුවේ. එක් අතක් අහිමි වුවද, කිසිදු මැලිකමක් නොදක්වා ඇක්සීස් අත්තම්මාට උපකාර කළාය.
කිසිම දිනක අත්තම්මාට වැඩ පවරා නිහඬව සිටීමේ පුරුද්දක් ඇක්සීස්ට නොවීය. ගණිතය, භාෂාව, පරිසරය, චිත්‍ර වැනි සෑම විෂයක් කෙරෙහි ඇක්සීස් දක්ෂ වූවාය. එහෙත් ඇගේ සිත පෑරූ එකම කරුණ ඇගේ අත අහිමි වීමය.
සෑම විෂයකටමදස්කම් පෑ ඇක්සීස්ව අන් ළමයින් විසින් හඳුන්වනු ලැබුවේ අත නැති ළමයා ලෙසය.
‘‘ඔය එන්නේ අත නැති ළමයා.‘‘
බොහෝ පාසල් ළමයි ඇයට සිනාසුණාහ. ගෙවී ගිය සෑම දිනයක්ම වේදනාත්මක දිනයක් විය. ඇගේ අඩුපාඩුව ගැන කතාකරන පිරිස වැඩිවීම ඇයට විඳ දරා ගැනීමට අපහසු විය. ඇයි මාව අසම්පූර්ණ කෙනෙක් වුණේ? ඇය ඇගෙන්ම විමසා ගත් අවස්ථා එමටය. සමාජයෙන් ඈතට යන්නට ඈ ගත් උත්සාහය නැවැත් වූයේ අත්තම්මා විසිනි.
‘‘ඇක්සීස් ඔබ ඔහොම කලබල වුණොත් කොහොම ද? දෙවියෝ දීලා තියෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ”
‘‘නැහැ නැහැ ඒක මං පිළිගන්න සූදානම් නැහැ. අත්තම්මාට තේරෙන්නේ නැහැ. මට ළමයි විහිළු කරනවා. අපහාස කරනවා.‘‘
‘‘ඒත් ඇක්සීස් අපි මොකද කරන්නේ?‘‘
මේ නිසාම ඇක්සීස්ගේ කතාව නැවැතිණි. බොහෝ පාඩම් පිළිබඳ යෙදූ අවධානය ද අල්ප විය. මෙතෙක් පන්තියේ පළවෙනියා වෙමින් සිටි ඇක්සීස් අඩු ලකුණු ලබන්නට පටන් ගත්තාය. ශීත ඍතුවේ බියකරු බව සමඟම ඇක්සීස් ගේ ජීවිතයට අසුබ පල අත්වෙමින් තිබුණි. හිම කුණාටුවේ තද බව හොඳින්ම දැනෙන්නට විය. හිම කබායක් වුවද පොරවාගෙන සිටීමට තරම් අසීරු කාලවලදී උඳුන ළඟට ගොස් ඇක්සීස් කල්පනා කළේ තමන්ට අහිමි වූ අත ගැනයි. ඇයි දෙවියනි ඔබ මට විතරක් මෙහෙම කළේ? අසම්පූර්ණ මිනිසුන්ට බැහැ ලෝකය ලස්සන කරන්න. ඇත්තටම මං වගේ පොඩි ළමයෙක්ට මෙහෙම කරන්න දුක නැද්ද?‘‘
ඇගේ සිතින් නික්මෙන්නේ දුක පමණි. ශීත ඍතුව ගෙවී ගියේය. එහෙත් එහි අවශේෂ බියකරු බව තවමත් ඉතිරි වී තිබුණි. ග්‍රීෂ්ම ඍතුවට සූදානම් වීමට බොහෝදෙනා සැරසුණහ.
‘‘අනේ ඇක්සීස් ඔය විකාර අමතක කරලා දැන්වත් ඉගෙනගන්න. ඔයා දක්ෂ ළමයෙක්.”
අත්තම්මා කියන කිසිවක් ඇගේ සිතට නොගියේය. මතකයේ හැටියට ග්‍රීෂ්ම ඍතුවේ මුල් බාගයයි. ඇක්සීස්ගේ විද්‍යා ගුරුවරයා පාසලෙන් නික්ම ගිය අතර නව විද්‍යා ගුරුවරයකු පාසලට පැමිණියේය. අලුත් ගුරුවරයා දුටු සැණින් ඇක්සීස් මවිතයට පත් විය. ඔහු දෑත අහිමි වූවෙකි. පන්තියේ ළමයින් ඔහු දෙස අමුතු විදිහට බලනු ඇක්සීස් දුටුවාය. එහෙත් කිසිවක් ඔහුට අදාළ නැති විය. ඔහු හැමෝටම කරුණාවන්ත විය. ඔහුගේ මුහුණ පියකරුය. සිනාව සිත් ගන්නා සුළුය. දිනක් ඇක්සීස්ට ඔහු සම්මුඛ විය.
‘‘පියෝන් මහත්තයා ඔබේ සතුටට හේතුව කියන්න පුළුන්ද?”
‘‘මං මට තියෙන දෙය ගැන සතුටුවෙනවා. මට අනිත් අයගෙන් වැඩක් නැහැ.”