
1939 වසරේ සැප්තැම්බරය එලැඹෙද්දී නිකී යුහුසුලු වූයේ හැකිතාක් දරුවන් ජර්මානුවන්ගේ අන්ත මරණයෙන් බේරා ගෙන එංගලන්තයට යැවීමටය. එහෙත් දරුවන් පටවා ගත් ඒ අන්තිම දුම්රිය යළි නොඑන ගමනක් ගිය බව ඔහු දැන ගත්තේ පසු කලෙකය. දුම්රිය කවුළු වීදුරුවලට මුහුණු තද කරගත් ඒ කුඩාවුන්ගේ මුහුණු සිහිපත් වන වාරයක් පාසා නිකී, අහෝ! මං දිනක් ඉස්සර වූවානම් යනුවෙන් එදා පටන් දිවි ඇතිතුරා දුක් වූයේය.
මේ සිද්ධිය වූයේ 1989 වසරේදී ලන්ඩනයේ එක්තරා ප්‍රසිද්ධ රැස්වීම් ශාලාවකය. එදින ශාලාවේ තුන්සීයකට ආසන්න පිරිසක් රැස්ව සිටියහ. හැත්තෑ නව හැවිරිදි නිකලොස් වින්ස්ටන් ද ඒ අතර විය. ඔහු එතැනට පැමිණියේ විශේෂ ආරාධනාවක් ලැබය. එහෙත් ඒ කුමක් නිසාදැයි නිකොලොස් හෙවත් නිකී ගේ සිතේ පැවැතියේ කුකුසකි. එම රැස්වීම සංවිධානය කෙරී තිබුණේ බීබීසී ආයතනයේ සජීවී රූපවාහිනී වැඩ සටහනක් ලෙසය. බීබීසී නිවේදිකාව වැඩ සටහනේ අරමුණ විස්තර කරද්දී නිකී පුදුමයෙන් දෑස් දල්වා ඇය දෙස බලා සිටියේය. රූප රාමු ද සහිතව ඉන් වසර පනහකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් තිරය මත දිස් වෙද්දී නිකී බලා සිටියේ මේ සිදුවන්නේ කුමක්දැයි අදහා ගත නොහැකිවය.
නිකී ගේ මතක ටිකින් ටික ඈත අතීතයට ඇදී ගියේය. ඒ 1938 වසරේ අගෝස්තුව ගෙවී ලොව ඇතැම් රටවල් දෙවැනි ලෝක මහා සංග්‍රාමයකට අර අදිමින් සිටි කාලවකවානුවයි. ජර්මානු නාසි හමුදා රටවල් ආක්‍රමණය කරමින් ඉදිරියට එමින් සිටියේය. නිකී එකල 29 හැවිරිදිය. ලන්ඩනයේ සමෘද්ධිමත් කොටස් ආයෝජකයකු වූ නිකී ජර්මානු යුදෙව් පෙළපතකින් පැවත එන්නෙකි. මේ සිදුවීම් පෙළ ගැසෙද්දී නිකී ස්විට්සර්ලන්තයේ හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට යෑම සඳහා සූදානම් වෙමින් සිටියේය. එහෙත් ගමන පිටත් වීමට පෙර ලන්ඩනයේ සිටින මිතුරකුගෙන් නිකීට දුරකථන ඇමතුමක් ලැබෙන්නේය. “නිකී නිවාඩුව අවලංගු කරන්න. ඉක්මනට ප්‍රාග්වලට එන්න. මට ඔබට පවරන්න වැදගත් වැඩක් තියෙනවා. මට ඔබේ උදව් අවශ්‍යයි. ඔබේ හිම මත ලිස්සා යෑමේ උපකරණ ගෙන ඒම අනවශ්‍යයි” මාටින් බ්ලේක් නමැති ඒ මිතුරා පැවසීය.
වහාම චෙකොස්ලෝවෙකියාවේ ප්‍රාග් අගනුවරට ගිය නිකී මිතුරා විසින් කැටුව යනු ලැබුවේ සරණාගත කඳවුරකටය. එහි සිටි සරණාගතයෝ ඉතාම දුඛිත තත්ත්වයේ පසු වූහ. 1938 දී ජර්මනිය හා බටහිර යුරෝපා රටවල් අතර අත්සන් කෙරුණු මියුනිච් ගිවිසුම අනුව නාසි ජර්මානුවෝ බටහිර චෙකොස්ලෝවෙකියාවේ ජර්මානුවන් බහුල විශාල භූමි ප්‍රදේශයක් ඈඳා ගැනීමත් සමඟ එම ප්‍රදේශවල සිටි යුදෙව් ජනතාව යන එන මං නොමැති තත්ත්වයට පත්වූහ. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් සරණාගත කඳවුරුවලට කොටුවීමය. නාසි ජර්මානුවන් යුදෙව්වන් සංහාරය කරමින් රටවල් අල්ලා ගනිමින් එද්දී කඳවුරුවලට කොටුවූ යුදෙව් ජනතාව තව තවත් අසරණ වූහ. නිකී ගේ මිත්‍රයා උදව් ඉල්ලූයේ මේ ජනතාව සඳහා සේවය සැලසීමටය.
ප්‍රාග් නුවරට ගිය නිකී ඉතා දුඛිත තත්ත්වයට පත් යුදෙව් දරුවන්ගේ රැකවරණය සඳහා ඉදිරිපත් වූයේ කිසිම පැකිළීමකින් තොරවය. ජර්මානුවන් මිනිස් සංහාරයේ යෙදෙමින් ළඟ ළඟම එන මේ අවදියේ ජර්මන් බස වහරන ජනතාවක් විසූ ප්‍රාග් නුවර සිටි යුදෙව් පවුල්වල දෙමවුපියෝ සිය දරුවන් මරණයෙන් බේරා ගැනීම උදෙසා එංගලන්තයට පිටත් කර හැරීමට උත්සුක වෙමින් සිටියහ. මේ වෙද්දී ජර්මනිය, ඔස්ට්‍රියාව, චෙකොස්ලෝවැකියාව හා පෝලන්තය වැනි රටවල යුදෙව් දරුවන් බේරා ගෙන එංගලන්තයට ගෙන යෑමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පැවතිණ. කින්ඩර් ට්‍රාන්ස්පෝර්ට් යන නමින් ආරම්භ වූ මේ වැඩ සටහන යටතේ දුම්රිය මගින් දරුවන් දස දහසක් පමණ ඒ වනවිට එංගලන්තයට යවා තිබිණි. එහෙත් මියුනිච් ගිවිසුමත් සමඟ මේ වැඩ සටහන අවිධිමත් වෙද්දී නිකී වහා ක්‍රියාත්මක විය. බලධාරීන්ගේ නිසි අවසරද නොලැබ නිකී චෙකොලෝවැකියාවේ දරුවන් එංගලන්තයට යැවීමේ වැඩ සටහන ආරම්භ කළේය. ඔහු සිය ධනය සහ සම්බන්ධතා උපයෝගී කර ගනිමින් අරමුදල් සොයා ගනිමින් නාසීන් චෙකොලෝවැකියාවට පා තැබීමට පෙර හැකිතාක් දරුවන් රටින් පිටකර ගැනීමට කටයුතු කළේය. එකල යුදෙව් මවුපියන්ට සිය දරුවන් කෲර මරණයෙන් බේරා ගැනීමට තිබූ එකම මාර්ගය වූයේ නාඳුනන පිරිසකගේ රැකවරණය යටතේ දරුවන් රටින් පිට කර හැරීම පමණි.
තැනින් තැන කුඩා කාර්යාල පවත්වමින් දරුවන්ගේ තොරතුරු නිසි ලෙස සටහන් කරමින් නිකී මේ මවුපියන්ගේ හිත් ගින්දර නිවා දමමින් දරුවන් බාර ගත්තේ සුරැකිව එංගලන්තයට පිටත් කර හැරීමටය. එපමණක් නොව ඔහු එංගලන්තයට පිටත් කර හරින දරුවන් දරුකමට හදා ගැනීමට කැමති යහපත් කැපකරු මවුපියන් සොයා ඒ දරුවන් බාර දීමද සිදු කළේය. මෙසේ නිකී විසින් බේරා ගනු ලැබූ පළමු දරුවන් කණ්ඩායම ප්‍රාග්වලින් ලන්ඩනය බලා ගුවනින් පිටත් වූයේ 1939 මාර්තු මාසයේදීය. ඒ ජර්මානු හමුදා චෙක් රටට පා තැබීමට පෙර දිනයයි. ඉන්පසු ඔහු දරුවන් පිටත් කර හැරියේ දුම්රියෙනි. එලෙස දරුවන් පුරවා ගත් දුම්රිය හතක් ලන්ඩනය කරා යැවීමට ඔහු සමත් විය. ලන්ඩන් දුම්රිය පොළට එන දරුවන් බාර ගැනීමට නිකී විසින් සොයා ගනු ලැබූ කැපකරු දෙමවුපියෝ දුම්රිය පොළට පැමිණියහ. නිකී විසින් සංවිධානය කළ දරුවන් රැගත් අටවැනි දුම්රිය ලන්ඩනයට පැමිණියේ 1939 සැප්තැම්බර් මස 01වැනිදාය. මෙදිනට දින දෙකකට පෙර එංගලන්තය ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමඟ මේ වැඩ සටහන නිමාව දුටුවේ නිකී ගේ අන්තිම දුම්රියට ලන්ඩනයට ඒමට ද ඉඩ නොතබමිනි. ඒ අන්තිම දුම්රියේ දරුවෝ 251 දෙනෙක් සිටියහ.
පෝලන්තය ආක්‍රමණය කළ නාසි හමුදා දේශ සීමාව වසා දැමීම නිසා එම දුම්රියට ගමනේ නිමාව දැකීමට නොහැකි වූයෙන් එහි සිටි දරුවන්ට කුමක් වූයේදැයි කිසිවෙක්වත් නොදත්හ.
නිකී විසින් බේරා ගනු ලැබූ දරුවන් සංඛ්‍යාව නිශ්චිතව ගණන් බලා නැතත් ඔහු විසින් පවත්වා ගෙන ගිය දරුවන්ගේ විස්තර අඩංගු සටහන් පොතට අනුව එම දරුවන් සංඛ්‍යාව 669කි. මේ සංඛ්‍යාව සුළු වුවත් ජර්මානු නාසි හමුදා මගින් ඝාතනය කළ දරුවන් සංඛ්‍යාව බලද්දී තනි පුද්ගලයකු විසින් මෙතරම් දරුවන් සංඛ්‍යාවක් බේරා ගැනීම මහා කර්තව්‍යයක් විය. දෙවැනි ලෝක මහා යුද්ධය නිමවී කලක් යනතුරුත් නිකීගේ මේ මහා සද්කාර්යය ලොවට රහසක්ව තිබුණේ ඔහු තමා කළ මෙහෙය ගැන කිසිවකුටවත් නොපැවසීම හේතුවෙනි. වෙනකක් තබා ඒ පිළිබඳ ඔහුගේ බිරිය ග්‍රේටාවත් දැන නොසිටියාය. මෙසේ තිබියදී 1989 වසරේ එක් දිනයකදී නිකී ගේ බිරිය ග්‍රේටා ඔවුන්ගේ නිවෙසේ සුන්බුන් දමා තිබෙන කාමරයට ගියේ වෙනත් කාර්යක් සඳහාය. එහි වූ පරණ ට්‍රන්ක පෙට්ටියක් අදිද්දී ඇගේ දෑස් ගැටුණේ දූවිලි වැකුණු පොතකි. ඒ පොතේ සටහන් වූ කුඩා දරුවන් රැසකගේ පිංතූර හා තොරතුරු ඇය නෙත ගැටිණි. එම සටහන් පොත නිකී සතු වූවකි. ඒ ගැන නිකීගෙන් විමසද්දී මෙතෙක් වසර 50ක් තිස්සේ ඔහු විසින් රහසක් සේ සුරැකි ඔහු කළ ඒ සද්කාර්යයේ සියලු තොරතුරු ග්‍රේටා දැන ගත්තාය. මුලදී ඇයට ඒ සියලු තොරතුරු සුරංගනා කතාවක් මෙන් විය. එහෙත් ඇගේ සිතේ ඇතිවූ කුතුහලය නිසාම ග්‍රේටා ඒ පිළිබඳ තව තවත් තොරතුරු සෙව්වාය. දිනක් එක් අධිෂ්ඨානයක් ඇතිව ලන්ඩන් නුවරට පැමිණි ග්‍රේටා නිකී ගේ මේ විස්තර පොත ගැන ලන්ඩනයේ කීප දෙනකුට පැවසුවාය. එහෙත් ඔවුන් වෙතින් ප්‍රතිචාරයක් නොවූ තැන ග්‍රේටා ලන්ඩනයේ වෙසෙන ඉතිහාසඥවරියක වන ආචාර්ය එලිසබත් මැක්ස්වෙල් මුණ ගැසුණාය. එම ඉතිහාසඥවරිය ජර්මානුවන්ගේ වධකාගාර පිළිබඳ තොරතුරු සොයා ඒ ගැන නිරීක්ෂණ ඉදිරිපත් කළ තැනැත්තියකි. නිකීගේ සටහන් පොතේ වූ සියලු නම් චෙකොලෝවැකියානු දරුවන්ගේ නම් බව ඇය සොයා ගත්තාය. ඒ සෑම නමක් ඉදිරියේම දරුවාගේ සේයාරුව ද දරුවාගේ උස, දරුවා හමුවූ නගරය පමණක් නොව අදාළ දරුවා ලන්ඩනයට කැටුව විත් හදාවඩා ගැනීමට දුන් ලන්ඩනයේ කැපකරු මවුපියන්ගේ නම් ද විය. එපමණක් නොව දරුවන් කීප දෙනකුගේ මවුපියන් නිකීට ස්තුති කරමින් ලියූ ලිපි කීපයක්ද මේ සටහන් පොත ඇතුළේ විය. නිකී මෙතෙක් කාටවත් නොකියා සිටි ඔහු කළ සද්කාර්යයේ තරම හෙළි වූයේ ඉන්පසුවය. එලිසබත් මැක්ස්වෙල් ගේ සැමියා එකල එංගලන්තයේ පුවත් පත් පතාකයකු වූ රොබට් මැක්ස්වෙල්ය. ඔහු නිකී ගැන පුවත සිය පුවත් පත්වල පළ කළේය.
අප මුලින් සඳහන් කළ බීබීසී රූපවාහිනී වැඩ සටහන සංවිධානය කෙරුණේ එංගලන්තය පුරා නිකී පිළිබඳ තොරතුරු පළ වීමත් සමඟය. 'Thats Life' යනුවෙන් නම් කර තිබූ එම රූපවාහිනී වැඩ සටහනට නිකීට ආරාධනා ලැබුණද මේ කිසිවක් ගැන නිකී ඒ වනතුරුත් දැන සිටියේ නැත. බීබීසී නිවේදිකාව වැඩ සටහන ආරම්භ කරමින් නිකී ගේ 'චෙක් කින්ඩර් ට්‍රාන්ස්පෝර්ට්' හඳුන්වා දෙද්දී ශාලාවේ අසුන් ගෙන සිටියන් වැඩි දෙනකු වෙතින් නැඟුණේ සුසුම් හෙළන හඬය. මේ අතර බීබීසී නිවේදිකාව සිය වැඩ සටහන දිගටම ගෙන යමින් අසුන්ගෙන සිටියවුන් නිහඬ කරවූවාය.
“ඔබගේ ගැලවුම්කරු වී එදා ඔබට නාඳුනන පියකු වූ නිකලොස් වින්ස්ටන් මහතා අද මෙතැන අප අතර සිටිනවා. එදා ඔහු විසින් බේරා ගනු ලැබූ අය මෙතැන සිටීනම් කරුණාකර නැගී සිටින්න” නිවේදිකාව මෙසේ පවසත්ම මුළු ශාලාවේම අසුන් ගෙන සිටියවුන් එකා දෙන්නා බැගින් සැවොම සිය අසුන්වලින් නැගී සිටියේ දෙනෙත්හි කඳුළු පුරෝගෙනය. එය නිකීගේ ජීවිතයේ පුදුම සහගත දිනයක් විය. කිසිවක් අදහාගත නොහැකිව නිකී වටපිට බලද්දී එතැන සිටි සැවොම ඔහු වටා රොක්වන්නට වූහ. තමන් විසින් බේරා ගනු ලැබූ ඒ දරුවන් අද ප්‍රථම වරට දකින්නට ලැබෙන බව නිකී ඒ වනතුරුම දැන නොසිටියේය. ඒ අවස්ථාව සැබවින්ම හෘදයාංගම අවස්ථාවක් වූයේ ඉන් වසර 50කට පසු ඔවුන් පළමු වරට ඔහුට මුණ ගැසීම නිසාය.
නිකීගේ දෑත බදාගෙන මුලින්ම ඔහු හා කතා කරන්නට අවස්ථාව ලැබුණේ ඔහු අසලින්ම වාඩිවී සිටි බෙනඩික්ට් රූත්ටය. ඇය ඒ වෙද්දී 57 වැනි වියේ පසු වූවාය.
“එදා ඔබ විසින් බේරා ගත් එක් දරුවකු මමයි. මං ප්‍රාග්වල සිට පැමිණි දුම්රිය ලන්ඩනයට එද්දී ඔබ වේදිකාවේ අප පිළිගැනීමට සිටියා. එදා ආව අපි එකම පවුලක්. ඒ පවුලේ ගෞරවනීය පියා ඔබයි. අවුරුදු 50කට පස්සේ අපි අප ගලවාගත් ඒ පියා දැක ගත්තා”යනුවෙන් කතාව ආරම්භ කළ ඇය හඬා වැලපෙමින් නිකී වැළඳ ගත්තාය.
නිකී ගැන තොරතුරු ඇස ගැසුණු බීබීසී ආයතනය පළමුවෙන්ම කළේ නිකී ගේ සටහන් පොතේ වූ ලිපිනයන්ට ලිපි ලිවීමය. එලෙස යැවූ ලිපි 600කට පිළිතුරු ලිපි 250ක් පමණ ලැබී තිබිණි.
එදා බීබීසී වැඩ සටහනට සහභාගී වූයේ වැඩිහිටියන් වූ ඒ දරුවන්ය.
මෙය සිහිනයක්දෝයි අදහා ගත නොහැකිව කඳුළු පිරි නෙතින් නිකී බලා සිටිද්දී තවත් කාන්තාවක් ඔහු වෙත පැමිණියේ කාඩ් පතක් ද අතැතිවය. එදාප්‍රාග්වල සිට පැමිණෙන දරුවන්ට දුම්රියට ගොඩවීමට පෙර සිය ගෙලෙහි එල්ලා ගැනීම සඳහා නිකී විසින් හැඳුනුම්පතක් වැනි දරුවාගේ තොරතුරු සඳහන් කාඩ් පතක් දී තිබිණි. එය ඔවුන්ගේ ගමන් බලපත විය. බෙකට් නමැති ඇය එදා දුම්රියට ගොඩ වූයේ ඇගේ සහෝදරියන් දෙදෙනාද සමඟය. “ප්‍රාග්වල සිට පැමිණි අප හරිම වාසනාවන්තයි. එදායින් පසු අපේ මවුපියන්ට වූ දෙයක් අපි තාමත් දන්නේ නෑ. ඔබ නොසිටින්න අපිත් නාසි වධකාගාරවල දැවී අළු දූවිලි බවට පත්වෙලා ”
එදිනෙන් පසු නිකී පිළිබඳ තොරතුරු මුළු ලොව පුරා පතළ වූයෙන් සෑම තැනකින්ම නිකීට ලිපි ලැබෙන්නට විය. එසේ ස්තුති කරමින් ලිපි ලියු පුද්ගලයන් අතර එක් සුවිශේෂී පුද්ගලයෙක් ද වූයේය. ඔහු ඊශ්‍රායලයේ ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ එසර් විස්මාන්ය. ඉන්පසු දිනපතාම නිකීගේ නිවෙසට අමුත්තෝ පැමිණෙන්නට වූහ. ඉන් වැඩි දෙනකු ඔහුගේ සටහන් පොතේ නම් සඳහන්වූවන්ය. නිකී නිසා දිවි ගලවා ගත් සුසානා මරෙසෝවා බීබීසී වැඩ සටහන ප්‍රචාරය වෙද්දී ජීවත් වූයේ ප්‍රාග්වලය. “ඔබේ දරුවන් නැවත ජීවිතයේ කිසිම දිනක නොදකින බව දැන දැනම ඔවුන්ට සමුදීමක් ගැන ඔබට සිතා ගන්න පුළුවන්ද? අපට අපේ දිවි ගැලවීම ගැන නිකීට ස්තුති කරන්න අවස්ථාව ලැබුණා. ඒත් අපේ දෙමවුපියන්ට ස්තුති කරන්න අපට කවදාවත්අවස්ථාවක් ලැබුණේ නෑ.
ඒ දවස ගැන මගේ මතකයේ තදින්ම කා වැදුණු එක් දෙයක් තියෙනවා. අපි දුම්රිය කවුළු වීදුරුවට මුහුණ තද කරගෙන බලා හිටියා. ඔක්කොම අම්මලා තාත්තලා අඬනවා. හැම දෙනෙක්ම එදා කියනවා ඇහුණේ අපි නැවත හමු වෙමු කියලයි. ඒත් එය කවදාවත් සිදු නොවන බව අපි එදා දැන සිටියේ නෑ.” මෙලෙස එදා සිය දරුවන් නිකීට බාර දුන් දෙමවුපියෝ බොහෝ දෙනෙක් එම දරුවන් කිසිදා නොදැකම නාසි වධකාගාරවල සමූහ ආදාහනාගාරවලදී අළු දූවිලි බවට පත්වූහ.නිකී එදා සුරැකිව තබා තිබූ සටහන් පොත දැන් ඊශ්‍රායලයේ කෞතුකාගාරයක සුරැකිව තැන්පත් කර ඇත්තේය. 1993දී චෙක් ජනරජය නිකලොස් වින්ස්ටන් මහතා එරට ගෞරවනීය පුරවැසියකු ලෙස නම් කළේය. අද ද ප්‍රාග් දුම්රිය ස්ථානයේ ඔහු වෙනුවෙන් තැනූ සිහිවටනයක් වෙයි. මිනිසුන් වෙනුවෙන් කරන ලද සේවය සලකා 2002 වසරේදී එංගලන්තයේ දෙවැනි එලිසබත් මහ රැජන ඔහු නයිට් පදවියකින් පිදුවාය. එදා බීබිසී වැඩ සටහනේදී නිකී කඳුළු අතරින් යමක් ප්‍රකාශ කළේය. එය මෙසේය.
“මං වැඩිපුරම දරුවන් සංඛ්‍යාවක් ගේන්න ලෑස්ති කළේ සැප්තැම්බර් 01 වැනිදා එන දුම්රියෙනුයි. ඒත් ජර්මානුවන් දේශ සීමා වැසූ නිසා දුම්රියට එන්න බැරි වුණා. එදා එම දුම්රිය එතැනින් කොයිබට ගියාදැයි කාටවත් දැන ගන්න බැරි වුණා. ඒ දරුවන් බාර ගන්න ලන්ඩන්වල පවුල් 250ක් බලා සිටියා. ඒත් ඒ දරුවන්ට වුණේ කුමක්දැයි අද වනතුරු මා දන්නේ නෑ. ඉන් පසු එක දරුවකු ගැනවත් අහන්නට ලැබුණේ නෑ. ප්‍රාග් දුම්රිය ස්ථානයේදී ඒ දරුවන් දුම්රිය කවුළුවලින් එබී බලා සිටි අන්දම මට කවදාවත් අමතක කරන්න බැහැ. ඒ දුම්රිය එක දිනක් වේලාසනින් පිටත් වුණා නම් අද ඔවුනුත් මේ ලෙස ඔබ අතර ඉඳීවි”
සර් නිකලොස් වින්ස්ටන් 2015 වසරේදී වසර 105ක් ආයු වළඳා මිය ගියේය. ඔහු මිය යනතුරුම ඇඟිල්ලක පැලැඳි මුදුවක් අද ඔහුගේ පවුලේ වස්තුවක් ලෙස සුරැකිව පවතී. නිකී විසින් බේරා ගනු ලැබූ පිරිමි දරුවකු විසින් දුන් ඒ මුදුවේ යුදෙව් නීති පොතින් උපුටා ගත් වැකියක් කොටා ඇත්තේය. 'එක ජිවිතයක් බේරා ගැනීම යනු ලොවක් සුරැකීමයි' එහි සඳහන් වැකිය එයයි.
සේමාලි කැල්ලපත