මාර්කටිං හිඟ වේ හිඟන්නො මාර්කට් වේ | සිළුමිණ

මාර්කටිං හිඟ වේ හිඟන්නො මාර්කට් වේ

දෙනිය කඩේ ළඟින් හැරිලා පහළට බැස්සහම පච්චසෝමේලාගේ වැයික්කිය. මම පච්චෙ සෝමේ කියලා කිවුවහම හිතුවේ නොම්බර එකේ චණ්ඩියෙක් කියලා. පොත්වල හිටිය චණ්ඩි හතරරියන් පුරුෂයෝ. ඒත් අපි දැක්ක චණ්ඩි හුළඟ හැමුවත් විසි වෙනවා. හවස හතර වෙනකොට පච්ච සෝමේගේ සභාව රැස්වෙනවා.

කෝ... මේ චුට්ටා, ආ... මනෝ.. ඉතින් කොහෙමද? සිරා මේ පාර බිස්නස් එහෙම කොහෙමද? හා.... හා... බට්ටි පස්ස ගැහුවොත් නම් ඉස්සරහට යන්න බැරි වේවි. පච්චසෝමේ හැමෝම පිළිගත්තේ ආචාරශීලීව. කියමු ඉතින් බලන්න තමතමන්ට තියෙන ප්‍රශ්න? "

පච්චසෝමේ කෙළින්ම කතාවට බැස්සා

''එදා ඉගැන්නුව හැම දෙයක්ම අකුරටම කරනවා කියලා තමයි මම හිතන්නේ. මොකද මේ හැමදෙයක්ම ලේසි පහසු නෑ. අපි කවුරුත් මිනිස්සු. එකක් මතක තියාගන්න ඕනේ. අපි හිඟා කන්නේ හිඟන්නුන් ගෙන්."

''මොකක්?''

හැමෝම උඩ බිම බැලුවා.

''ඒ මොකද්ද?''

''මට නම් හරියට තේරුණේ නැහැ.''

සිරා එහේ මෙහේ බැලුවා. සිරාගේ කකුලේ පොඩි නොණ්ඩියක් තිබුණා. ඒක උපතින්ම ආපු දෙයක්. මේ බිස්නස් එකට ඒක පොඩි වාසියක්. චුට්ටෙගේ ඇහැක් වපරයි. අලුතින් රඟපාන්න ඕනේ නැහැ. සෝමේ කිවුවේ, උපදින කොටම දෙවියො බිස්නස් එකට පාර කපලා තියෙනවා කියලා. එදා මේ වපරේ නිසා කොච්චර කරදර වුණාද? අම්මා නම් හිටියේ හරිම දුකින්. තාත්තාට නම් ඒ හැටි ගාණක් තිබුණේ නැහැ. අත්තම්මා කිව්වේ පින් පව් අනුව තමා හැමදේම වෙන්නේ කියලා. ඉස්කෝලේ යාළුවෝ ඇද කළා. එතකොට හිතට දුකයි. එදා ඒ වපරේ පින් වපරයක් කියලා කිව්වේ පන්සලේ ලොකු හාමුදුරුවො විතරයි. එත් අද කණ්නාඩිය ළඟට ගිහිල්ලා වපරේ මදි කියලා හදා ගන්න හදනවා. මෙච්චර මාකට් කරන්න පුළුවන් වපරයක් චුට්ටෙට ලැබුණේ පූරුවේ පිනකට කියලා තමයි සෝමේ කියන්නේ.

''‍මේ.. මනෝ අද මොනවාද කළේ?''

''අද නම් බස් එකට නැග්ඟා. ඒත් කීයක්වත් ලැබුණේ නැහැ. මිනිස්සු ළඟ සල්ලි නැහැ වගේ හැමෝම අහක බැලුවා. ඒත් මං අතහැරියේ නැහැ. මං ඒ බස්එකේම නැඟලා තවත් ඉස්සරහට ගියා. ඊළඟ හෝල්ටෙකේ සද්ද බද්ද දාලා කවුදෝ මයික් එකකින් කෑගහනවා. මං ඉක්මනට බස් එකෙන් බැහැ ගත්තා. බැලුවහම එතන සාහිත්‍ය උත්සවයක්ලු. කාර් එකකින් බැහැ ගත්ත නෝනා කෙනෙක් ළඟට මං කිට්ටු කළා.

අනේ නෝනා මට වැඩක් කරගන්න බැහැ. හරියට මගේ ඇහ පේන්නේ නැහැ. නෝනා පර්ස් එක ඇදලා රුපියල් සීයක් දුන්නා. මම එතනින් නැවතුනේ නැහැ. දිගින් දිගටම නෝනා පිටිපස්සෙන්ම ගියා. තිරවලට මුවා වෙලා නෝනා දිහා බලාගෙන හිටියා. නෝනා නැවැතුනේ තවත් නෝනා කෙනෙක් ළඟ.''

''මේ සිසිලි මට මේ පාර සාහිත්‍ය සම්මානය ඕනේ. අනේ නිර්දේශ අහක් කරලා. මාව පළවෙනියාටම දාන්න.''

''නෝනාගේ ඉල්ලීම බරපතළ වුණත් අනිත් නෝනා ඔළුව වැනුවා. ඒ කියන්නේ ඒ නෝනාත් අපි වගේ හිඟමන් යනවා. ඇත්තටම මේක පැෂන් එකක්ද? ''

'' ඉටිස් සීක්රට්.''

''තව ටිකක් හයියෙන් සිසිලි නෝනා කියනවා මම අහගෙන හිටියා. මට ටිකක් හිනා ගියා. සම්මාන උත්සවය ඉවරවෙනකංම මම එතන හිටියා. හැමෝම මිමිනූ හඬවල් මට ඇහුණා. හොඳ නවකතාව 'දිය යට ගින්දර ලු' . ඒත් සම්මානේ හම්බු වුණේ කාර් එකෙන් බැහැපු නෝනගේ ''සහනයක් නෑ පොතට.'' නෝනා සිසිලි නෝනා ළඟට ආවේ උත්සවේ ඉවර වුණාට පස්සේ.

''අනේ තෑන්ස්ක් සිසිලි අක්කා ''

''ඒසැණින්ම මම ආපහු හැරුණා. චුට්ටේගේ කතාව අවසන් කළේ ඒ විදිහට.''

ඊට පස්සේ කතාව පටන් ගත්තේ මනෝ.

'' අනේ ‍නෝනා මගේ රස්සාව නැති වෙලා අවුරුදු පහක්''

මදි මදි දුක හිතෙන්නේ නෑ. මාකටිං පාට් එක මදි. කෝ මුහුණේ දුක් බර බව නෑ. තව පහළට නැමෙන්න ඕනේ. ඔයිට වඩා ෂර්ට් එක පොඩි වෙලා තියෙන්න ඕනේ. ආ... ඒක නෙවෙයි. අද ගත මනාව.''

‘‘ ආ අද රුපියල් පන්දාහක් හම්බු කළා‘‘

‘‘ එක්සලන්ට් පුතා‘‘

පච්ච සෝමේ සැලියුට් එකක් දැම්මා.

‘‘ කෝ බබයියා අද කීයක් හම්බ කළාද?

''මගේ ගාන රුපියල් දාහයි. මං අද ගියා ස්ටාර් තෝරන තැනකට. එතන මරු වැඩ වෙන්නේ. විනිශ්ච මණ්ඩලය ස්ටාර් තෝරන අතරේ මමත් ස්ටාර් දෙක තුනක් තේරුවා. හැමෝම කිවුවේ ඒ අයගෙන් කවුරු හරි ස්ටාර් වේවි කියලා. විනිශ්ච මණ්ඩලය ඒ හැමෝටම කිවුවේ ඔබ ඉන්නේ අවදානම් කලාපේ කියලා. මගේ හිත ගැහෙන්න ගත්තා. මොකද්ද මේ අවදානම් කලාපේ. මමත් ඉන්නේ අවදානම් කලාපේ නේ. තාම කියක්වත් ලැබුණෙත් නෑ. බෙන්ස් එකෙන් බෑහැ ගත්ත මහත්තයෙක් තේ පැයේදී විනිශ්ච මණ්ඩලය ළඟට ගියා. නෝනා, අංක පහ මගේ දුව. මේ ඇන්ලොප් එක ගන්න. විනිශ්ච මණ්ඩලයේ හිටිය කළු නෝනා කෙනෙක් ඇන්ලොප් එක අරගෙන සාක්කුවේ දා ගත්තා. ගත වුණ හෝරාවේ ස්ටාර් එක තේරුවා. ඒත් හැමෝම හිතපු කෙනා නෙවෙයි. ඒ අතරතුරේදි මං ගේට්ටුව ළඟට හිමින් සැරේ ආවා. මගේ කමිස කලිසම් අලුත් නිසා කවුරුත් හිතුවේ නැහැ මං හිඟා කනවා කියලා. අයියෝ මගේ හෑන්ෆෝන් එක රිං වුණා. වැඩේ ටිකක් ගැස්සුණා. මං කිවුවා. මගේ දුවට හිඟා කාලා දානයක් දෙන්න ඕනේ කියලා. එහෙම කිවුවාහම අම්මලා කීපදෙනක්ම ඇස් දෙකේ කඳුළු පුරෝගෙන සීයේ නෝට්ටු හතරක් දුන්නා. දිගටම ඒ ක්‍රමයම අනුගමනය කළා. ටික වෙලාවකින් මට තේරුණා. භූමිය අනුව මගේ මාර්කටිං සාර්ථකයි කියලා.''

සිරා නොණ්ඩි ගහ ගහ ඉස්සරහට ආවා.

''බොස් මේ දවස් වල බිස්නස් ටිකක් බැහැලා. මගේ හෑන්පෝන් එකත් අවුල් වෙලා. ඒ වගේම මගේ බිස්නස් පොට් එක වෙනත් සංගමයකින් ආක්‍රමණය කරලා. ඒ නිසා මං ගියා ඉස්කෝලයක් ළඟට. මාව දැක්ක විතරයි සිකියුරිටි මේ නොණ්ඩියා කොහේ ආවද කියලා එළවා ගත්තා. මගේ හිතට තරහා ආවා. ඒත් මං ගණන් ගත්තේ නැහැ. ඒක මගේ පේන්න තියෙන දුර්වලතාවයක්. හැමෝම පේන්න තියෙන දේ ඇද හොයනවා. අනිත් මිනිස්සු ළඟ නොපෙනන නොණ්ඩි කොච්චර තියෙනවාද?. මං කර බාගෙන ගියේ බස් නැවැතුම් පොළට. මං හිතුවා සිංදුවක් කියන්න ඕනේ කියලා.''

‘‘ ආපෝ.....මාර්කටිං අවුට්. ඔය බෙලෙක් කටහඬට කවුද කැමැති වෙන්නේ.‘‘

පච්ච සෝමේ කලබලවෙලා කෑගැහුවා.

'' මම මෙහෙම කිවුවා. මම ඒ කාලේ හොඳ ගායකයෙක්. ඒත් කලාකාරයන්ගේ ජීවිතේ දුක්බරයි. අපි කාලයක් ඔබලාව පිනෙව්වා. ඒත් අපට විශ්‍රාම වැටුපක්වත් නැහැ. අපේ කටහඬ එදා වගේ අද ලස්සන නැහැ. එත් අපි ජීවත්වෙන්න ඕනේ.''

ඒ පාර මාර්කටිං අප්සට් කිවුව පච්ච සෝමේ කෑගැහලා හොඳයි කිවුවා.

''සිරාගේ වැඩ සිරා. මං කවදාවත් හිතුවේ නැහැ.''

''හැබෑවටම බං මම හිතුවේ නෑ කලාකාරයෝ හිඟා කනවා කියලා. ඒක ඒතරම් හොඳ වැඩක් නොවෙයි. ඇයි ඉතිංඋඹ ඒ පාට් එක ගත්තේ.''

'' මං කලාකාරයන්ට අගෞරව කළේ නෑ. කලාකාරයන් හිඟමනට බස්සන්නේ දේශපාඥයන්ලු. ඒක කලාකරුවන්ගේ වැරැද්ද නෙවෙයි කියලා ලොකුමහත්තයෙක් ටී.වී. එකේ කිව්වා.''

''එහෙනම් උඹ ටිවීත් බලනවා.''

සෝමේ නළල රැළි කළා. කොහොම වුණත් කලාවට අගෞරව කරන එක ඒතරම් හොඳ දෙයක් නෙවෙයි. ඒත් ජීවත් වෙන්න ක්‍රමයක් නැත්නම්. මොනවා කරන්නද? මේ කණ්ඩායමට එකතුවෙලා තියෙන අයගේ එක එක දක්ෂකම් තියෙනවා. සමහරු කොච්චර පුළුවන් වුණත් හිඟා කනවා.

'' හා.... හා.... සෝමෙ අයියා එහෙම කියන්න එපා. මේ දවස්වල ලොකු ලොක්කොත් හිඟා කනවා. සෝමේ දන්නේ නැති වුණාට''

චුට්ටේ කොලූ වටයක් කැරකිලා එහෙ කිවුවා.

''මොකක්....මට තේරුණේ නැහැ.''

''ඊයේ එහා පැත්තේ ගෙදරක පොඩි ඡන්ද රැස්වීමක්. හැම පැත්තම මේ දවස්වල පොරේට නේ.

ඉතින්.... ඉතින්..... මං එතනට කිට්ටු කළා. එතනට ගෙනාපු කෑම සුවඳේ බැරුවා. මං ගියේ රෑට කෑම පාර්සලයක් ඉල්ලාගන්න හිතාගෙන. හිතුව විද­ිහටම සුපිරි කෑම පාර්සලයක් ලැබුණා. ඒත් එක්කම නෝනා කෙනෙක් දුවගෙන ඇවිල්ලා මෙහෙම කිවුවා. අපේ මහත්තයා නිමන්ත දිග්දෙණිය. ලබන පාර කරත්තෙන් ඡන්දේ ඉල්ලනවා. දන්න දන්න අයට කියන්න කියලා.

ඒ පාර මම හා .... කියලා ඔළුව වැනුවා. ඒ අතරේ මං හිතන්නේ නිමන්ත මහත්තයා වෙන්නැති, මට ඇහුණා මයිඑකෙන් මෙහෙම කියනවා. අනේ සහෝදරවරුනි, අපට වැඩක් කරන්න. අපට ඡන්දේ දීලා බලන්න. අපි ඔබේ සහය බලාපොරොත්තු වෙනවා. ඒ මහත්තයා එහෙම කියනකොට මට මෙහෙම හිතුණා. ඒකත් සුපිරි විදිහට හිඟා කෑමක්. මාර්කටිං සිස්ටම් එක හොඳටම හොඳයි.''

චුට්ටේගේ කතාවෙන් පස්සේ බට්ටිට අවස්ථාව ලැබුණා.

''මෙන්න බොස් මං සිංදුවක් හැදුවා. මේක මේ විරිඳුවක් වගේ.

හා... හා... කියමු බලන්න.

පින් ඇති ඇති නෝනේ

පින් ඇති මහත්තයෝ

පින් මද මට....ආ....

දෙනවද? පනමක්? ආ.......

''ආපෝ....බට්ටි ඕවාට ද සිංදු කියන්නේ. උඹ වයර්ලස් එකේ යන සිංදු අහලා නැනේ.

ආ....බොස් දන්නේ නෑ. වයර්ලස් එකේ යන සිංදු. ඒවත් මේ වගේ. අද වයර්ලස් එකේ සිංදු දාන්නේ කීයක් හරි දීලා පද ගැළපෙන්නම ඕනේම නෑ. අවශ්‍ය ශබ්දේ විතරයි. අද හැම දෙයක්ම සිංදු. අපි සල්ලි ගන්න හිඟා කනවා. ඒ ගොල්ලො සල්ලි දීලා ජනප්‍රියකම හිඟා කනවා. සමහර හිඟමන් සිස්ටම්වල තියෙන්නේ මූල්‍ය මූර්ත වෙනසක් විතරයි.''

''ඈ....... ඒ මොකද්ද බං බට්ටි?''

''ආ.... ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ වචන දෙකක්.''

''ඒ කියන්නේ උඹ ඉස්කෝලේ ගියාද?''

''ඔව් මං ඒලෙවෙල් ගොඩ දාගත්තා.''

''ඇයි එහෙනම් මේ වගේ රස්සාවක් කරන්නේ?''

''මේ තමයි ලේසිම රස්සාව. අනෙක අපේ කිත්තා කිරිකිත්තාගේ ඉඳලා කරපු රස්සාවනේ. ඉතින් කොහොමද බොස් අතහරින්නේ?''

''හා.... හා... ඒක ඇත්ත හුඟක් පුරුදු මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන්නේ පරම්පරාවෙන්.''

කළුවර වැටෙන්න ළඟයි. අපි යමු නේද? උඹලාගේ වැඩ ගැන මට සන්තෝෂයි. හැමදෙයකම සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට ගියහම අද කාලේ කුණු මාළුත් අලෙවි කරන්න පුළුවන්.

සෝමේ කතාව නැවැත්තුවේ සිරාගේ පිටට තට්ටුවක් දමමින්. 

 

Comments