
සම්මුතිවාදී ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණයට සමගාමීව පසුගිය 17 වැනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රට හමුවේ තැබූ සහන පැකේජය ක්‍රියාවට නැඟීමත් සමඟ මෙරට ආර්ථිකය සුබදායි දිශාවක් වෙත ගමන් කිරීම වේගවත් වනු ඇතැයි වාර්තා වේ. සුළු හා මධ්‍ය පරිමාණ අංශවල ආර්ථික වර්ධනයක් මෙමඟින් විශේෂයෙන් බලාපොරොත්තු වන බවද පැවසේ.
මෙම සහන පැකේජයට අනුව එන්ජින් ධාරිතාවය 50CC සිට 150CC දක්වා මෙතෙක් අය කරන ලද බදු 90%කින් අඩු කිරීම 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටම ක්‍රියාවට නැඟුණු අතර ඒ අනුව 50CCවලට අඩු යතුරු පැදියක මිල රුපියල් පනස් දහසකින් පමණ ද, 50CC හා 150CC අතර යතුරුපැදියක මිල රුපියල් ලක්ෂයකින් පමණ ද අඩු වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් “සිළුමිණට” පැවසීය. මේ අතර මෙතෙක් රුපියල් ලක්ෂ 21ක්ව පැවැති සිංගල් කැබ් රථයක මිල ලක්ෂ තුනකින් පමණ ද මෙතෙක් රුපියල් ලක්ෂ 16ක් වූ කුඩා ලොරි රථයක මිල ද රුපියල් ලක්ෂ තුනකින් අඩු කිරීමට ද කටයුතු යොදා ඇත. අන්තර්ජාල භාවිතය සඳහා 25%ක නව බද්දක් පැනවීමට පසුගිය අයවැය ලේඛනයෙන් යෝජනා වී තිබුණ අතර එම යෝජනාව ක්‍රියාත්මක නොකිරීමටත්, අන්තර්ජාල භාවිතය සඳහා මෙතෙක් අය කරන ලද 10%ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඉවත් කිරීමටත් රජය තීරණය කර තිබේ.
මෙම සහන පැකේජය ප්‍රකාශයට පත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ රට පුරා නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතුළුව හා ආර්ථික ගමන වේගවත් කිරීමේ අරමුණින් මේ සහන ලබා දීමට තීරණය වූ බවය.
මෙලෙස යතුරුපැදි, සිංගල් කැබ් හා කුඩා ලොරි රථ මිල අඩුවීමත් සමඟ පසුගිය කාලය තුළ මන්දගාමී වූ මෙරට වාහන වෙළෙඳපොළ යළි සක්‍රීය වනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.