ලංගම සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ 200ක් ධාවනයට එක්කිරීම සඳහා ආයතනවලින් අභිලාෂයන් (EOI) කැඳවීමේ නිවේදන එළැඹෙන සතියේදී නිකුත් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ලංගම සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
ඉතිහාසයේ ප්‍රථම වරට ලංගම සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ 200ක ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා කැබිනට් අනුමැතිය පසුගියදා හිමි විය.
මීට ප්‍රථම කැබිනට් අනුමැතිය ලබා දී තිබුණේ විදුලි බස් රථ 50ක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසට බව ඒ පිළිබඳ සිළුමිණ කළ විමසීමකදී ආචාර්ය බන්දුල ගුණවර්ධන හෙළි කළේය.
එහෙත් එවැනි ශක්‍යතා අධ්‍යයනවලින් පෙනී යන ආකාරයට එවැනි ව්‍යාපෘතියක් ආයෝජිත පිරිවැය ආයෝජන විධි ක්‍රමයට නොගැළපෙන බැවින් ඒ සඳහා ප්‍රථමයෙන් ලැබුණු කැබිනට් අනුමැතිය වෙනුවට විදුලි බස් රථ 200ක ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය පසුව හිමි වූ බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
ලෝකයේ බොහෝ රටවල් වසර 2030 වන විට පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්ව විදුලි බලයෙන් ක්‍රියාකරන ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ ධරණීය සංවර්ධනයට දායක විය යුතු බවට තිබෙන විශ්වීය පිළිගැනීම අනුව යමින් ශ්‍රී ලංකාව ද ඊට එක්වන ගමනේ ඇරඹුම මෙය වනු ඇතැයි ද ඇමැති ආචාර්ය ගුණවර්ධන අවධාරණය කළේය.