QR කේත ක්‍රමය හරහා ගෙවීම් කළ හැකි කළ ධීවර සංස්ථා වෙළෙඳසැල් | සිළුමිණ

QR කේත ක්‍රමය හරහා ගෙවීම් කළ හැකි කළ ධීවර සංස්ථා වෙළෙඳසැල්

මතුගම නෑබඩ පාරේ හැටන් නැෂනල් බැංකුව අසල ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල නවීකරණය කොට විවෘත කිරීම ඊයේ(10) ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අතින් සිදුවිය. 
 
ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කිරීමේ වැඩසටහන යටතේ මෙතෙක් අවිධිමත්ව නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන ගිය මෙම වෙළෙඳසැල නවීකරණය කර තිබේ.
 
මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා පවසා සිටියේ මහජනතාවට පහසු මිලට මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා මෙමගින් අවකාශය සැලසෙනු ඇති බවයි. "මේ වෙළඳසැල නවීකරණය කිරීමත් සමග QR කේත ක්‍රමය හරහා ගෙවීම් සිදු කිරීමේ අවස්ථාවත් අපි උදාකරලා දිලා තියනවා. මෙතන කලින් තිබුණු වෙළඳසැලට වඩා වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි නවීකරණය කිරීමට අපි කටයුතු කලා. වෙළඳ ප්‍රජාව සමඟ අපිට තරගයක් නැහැ. අපි සියලු දෙනා සමඟම සහයෝගයෙන් කටයුතු කරනවා. ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදන පහසු මිලට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවකාශය සැලසීම තමා අපේ අරමුණ"
 
මෙම වෙළෙඳසැල විවෘත කිරීමත් සමග මතුගම නගරය සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට වඩාත් ගුණාත්මක පෝෂ්‍යදායි මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේ අවකාශ උදා වී තිබේ. ඉදිරියේදී මෙවන් වෙළෙඳසැල් රැසක් දිවයින පුරා ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ධීවර සංස්ථාව සඳහන් කරයි.
 
මෙම අවස්ථාවට ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී උපුල් මහතා ඇතුළු ධීවර සංස්ථා නිලධාරීන්, මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙරිල් මුණසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ටෙරී රන්ජිත් දිසානායක මහතා, උප සභාපති  දුලාන්ත වික්‍රමනායක මහතා ඇතුලු ප්‍රදේශවාසීන්, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම් චාමර සමරසිංහ මහතා, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
 

Comments