වැස්ස ඉදිරි දිනවලත් | සිළුමිණ

වැස්ස ඉදිරි දිනවලත්

දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් මි.මී 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවත්, මේ වන විට ඇති වෙමින් පවතින වර්ෂා සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේ අඩුවැඩි වශයෙන් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට පැවැසූයේ මේ වන විට වැඩිම වර්ෂාපතනයක් පෙන්නුම් කරන්නේ රටේ නිරිත දිග කොටසට බවත්, දිවයිනේ සෙසු පළාත් වන නැ‌ෙඟනහිර, ඌව, උතුරුමැද මෙන්ම මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩ පවතින බවත්ය.

මේ අතර විදුලි බලාගාර සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර ජලාශ පිරියාමේ ඉඩකඩ පවතින බවත් එහි වැඩි වර්ෂාපතනයක් ලැබිය හැක්කේ මධ්‍යම කඳුකරයේ හා බටහිර බෑවුම් පෙදෙසේ ඇති ජලාශවලට බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර නියඟය පවතින පළාත්වලටද වැසි ලැබෙමින් පවතින බවත් පසුගිය දිනවල පැවැති අධික උෂ්ණත්වය මෙම වර්ෂාපතන තත්ත්වය නිසා ක්‍රමයෙන් පහව යන බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.

පුත්තලමේ සිට මන්නාරම හරහා

කන්කසන්තුරේ දක්වාත්, ගාල්ල සිට පොතුවිල් දක්වාවූ වෙරළබඩ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50- 60 දක්වා ඉහළ යාමේ හැකියාව පවතින අතර වැසි සමඟ තාවකාලිකව තද සුළං හෝ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් පවතින හෙයින් අනතුරු වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Comments