මෙතෙක් හිරේ සිටි සීදේවීලා පාරමීලා උජාරුවෙන් දළදා පෙරහරේ | Page 4 | සිළුමිණ

මෙතෙක් හිරේ සිටි සීදේවීලා පාරමීලා උජාරුවෙන් දළදා පෙරහරේ

 ශ්‍රී ලංකාවේ අලි ඇත්තු කොටස් දෙකක් සිටිති. එක් කොටසක් වන අලිය. අනෙක් කොටස හීලෑ අලිය. මේ කොටස් දෙකෙන් වර්තමානයේදී වන අලි ගහනය ක්‍රමයෙන් වැඩිවෙද්දී හීලෑ අලි ගහනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබේ. වන අලි ගම්වැදී මිනිසුන් සමඟ ගැටෙද්දී හීලෑ අලි නිසා මිනිසුන් හා මිනිසුන් ගැටෙන්නට පටන්ගෙන තිබේ. මෙම ගැටුම කොතරම් උණුසුම්ව තිබෙන්නේද යත් ඊට භික්ෂුන්වහන්සේ, මහේස්ත්‍රාත්වරු, දේශපානඥයෝ, පරිසර සංවිධාන නියෝජිතයෝ ඇතුළු සමාජයේ ඉහළ පෙළේ විශාල පිරිසක් මැදිහත්ව සිටිති. අද වනවිට මෙරට හීලෑ අලි සම්පත 115 ක් දක්වා පහත බැස ඇත. මේ හේතුවෙන් පෙරහර මංගල්‍යයන් ඇතුළු සංස්කෘතික උත්සව ඉදිරියේදී අලි නොමැතිව සිදුකරන්නට වනු ඇති බවට සම්ප්‍රදායික අලි හාම්පුත්තු පවසති. මෙයට පසුබිම සකසනු ලැබුවේ පසුගිය කාලය තුළ අලි ඇතුන් 42 නෙකු සම්බන්ධයෙන් රජය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමය. මහනුවර ඇසළ පෙරහර ප්‍රමුඛ පෙරහර මංගල්‍යයන් දොරකඩට පැමිණෙද්දී හීලෑ අලිඇතුන්ගේ හිඟය කරළියට පැමිණෙන්නේය. මහනුවර ඇසළ පෙරහර හා සමගාමීව කතරගම හා දෙවුන්දර පෙරහරද එකම කාලවකවානුවක යෙදීම නිසා හීලෑ අලි හිඟය පෙරට වඩා තදින් මෙවර දැනිණි. මේ නිසා දේවාල නිලමේවරු කල්තියා ප්‍රශ්නයට විසඳුම් සොයන්නට ජනපති හා වනජීවී ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළහ. එහි ප්‍රතිපලයක් ලෙස මෙවර මහනුවර ඇසළ පෙරහර සඳහා පමණක් දැනට අධිකරණ භාරයේ නඩු භාණ්ඩ වශයෙන් සිටිනා අලි ඇතුන් 15 දෙනකු තාවකාලිකව නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේය.

දෙවැනි පෑතිස් රජු ථූපාරාමය ගොඩනගද්දී එහි තැන්පත් කිරීමට සර්වඥධාතූන් වහන්සේ දළ ඇතකු මතින් වැඩම කළ බව ඉතිහාසයේ සඳහන්ය. පැරැණි රජ දවස රජු සතු වූ සිවු රඟ සේනාවන්ගෙන් පෙරමුණේ ගමන් ගත්තේ ද ඇත් සේනාවය. දුටුගැමුණු එළාර යුද්ධයේදී කඩොල් ඇතු හා අයිරාවන ඇතු පිළිබඳ ඉතිහාස පොත්වල බොහෝ දේ ලියැ‍වී තිබේ. මෑතකාලීනව ගතහොත් මහනුවර ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසක් පමණ සධාතුක කරඬුව වැඩම වූ රාජා හස්තියා හීලෑ අලියකු ලෙස ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් මෙරටට කළ සේවය අගයා හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් කෞතුක වස්තුවක් ලෙස නම් කරනු ලැබීම සුවිශේෂී අවස්ථාවකි. ඒ ආකාරයෙන් සියවස් ගණනාවක් තිස්සේ පැවත ආ හීලෑ අලි සම්පත රටට අහිමිව යෑමේ දැඩි අවධානමක් වර්තමාන‍යේ ගොඩනැගෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්ට තිබෙන දෙයකි. මේ සඳහා යම් පිළියමක් සෙවීමට උනන්දු නොවන විට නැගෙන චෝදනාව වන්නේ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවය. පෙරහර ඉදිරියට දමා ‍අධිකරණභාරයේ සිටින හොර අලි එළියට ගැනීමේ වැඩ පිළිවෙළක් දියත්වෙමින් තිබෙන බවට පරිසර සංවිධාන නියෝජිතයන් චෝදනා කළේ වසර දෙකක පමණ කාලයක සිටය. පසුගිය වසරේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පවත්වද්දීද අධිකරණ භාරයේ සිටි අලි ඇතුන් අතරින් කොටසක් පෙරහර සඳහා නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණි. එය එසේ නොවූ තැන හීලෑ අලි සුරැකීමේ සංවිධානයේ සභාපති මාගලකන්දේ සුදන්ත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුවේදී උපවාසයක නිරත වූයේ පෙරහර ආරම්භවී තිබියදීය. එය සිදුනොකළ හොත් පෙරහරින් අලි ඇතුන් සියල්ල ඉවත් කර ගන්නා බවට තර්ජනයක් ද සිදුකළහ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහ දේවාල බස්නායක නිලමේවරුන් මෙවර පෙරහර සඳහා අලි ඇතුන් ලබාදෙන ලෙස අලි හිමිකරුවන් ගෙන් ඉල්ලීමක් කළේ මෙවැනි පසුබිමක් රටේ තිබියදීය. දැනට අධිකරණය භාරයේ නඩු භාණ්ඩ වශයෙන් පවතින, පින්නවල හා උඩවලව ඇත් අතුරු සෙවණට රැකබලා ගැනීම සඳහා යොමුකර සිටින අලි ඇතුන් කිහිප දෙනකු පෙරහර මංගල්‍යයන් සඳහා සහභාගීවී පළපුරුද්ද ඇති සතුන් බැවින් ඔවුන් මෙවර පෙරහරට ලබා ගැනීම නිලමේවරුන්ගේ අදහසවී තිබිණි. නිලමේවරුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපි කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධකරණයට ඉදිරිපත් ‍කළේ නීතී විරෝධී අයුරින් අලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දැනට චෝදනා ලැබ සිටින අලි හිමිකරුවන් විසිනි. එම ඉල්ලීමට අනුව පසුගියදා මහනුවර ඇසළ පෙරහරට පමණක් අලි ඇතුන් 15 දෙනකු මුදා හැරීමට අධිකරණය නියෝග කළේ දැඩි ඇප කොන්දේසි යටතේය.

මෙම අලි මහනුවර ඇසළ පෙරහරට පමණක් සහභාගි කරවීම ඉන් එකකි. රුපියල් කෝටියක බැඳුම්කර මත මුදා හරින සතුන් අගෝස්තු මස 15 හෝ ඊට පෙර වනජීවී දෙපාර්තුමේන්තුව මගින් යළි අධිකරණ භාරයට පත්කළ යුතුවීම තවත් කොන්දේසියකි. දළදා පෙරහර සඳහා අලි සහභාගි කරවීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මගින් බලපත්‍රයක් ලබා ගැනීමටද අධිකරණය දැනුම්දී තිබේ. මේ යටතේ පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටි අලි 05 දෙනකුද උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටි අලි 10 දෙනකුද පෙරහර සඳහා නිදහස් කළ මුත් ප්‍රදීප් මියනපලාව මහතා හිමිකම් කියන වස්තු කෙනෙර නිදහස් නොකෙරුණේ ඇයගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් මට්ටමක නොතිබූ බැවිනි. ඒ අනුව සීදේවි, පාරමී, සුදුමැණිකේ හා සුමන යන අලි පින්නවලින් පසුගිය 29 දා ලොරිවලට නැගුණේ මහනුවර බලා යෑමටය. ඔවුන‍ට හිමිකම් කියන හාම්පුත්තුද එම අවස්ථාවට සහභාගී වූහ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු බලපත්‍ර නොමැතිව හා කූඨ ලේඛණ සකස්කර අලි ළඟ තබාගත් බවට චෝදනා කරමින් වනජීවී දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගත් අලි ඇතුන් 42 ක් අධිකරණට ඉදිරිපත් කෙරිණි. එම සතුන් පින්නවලට හා උඩවලව ඇත් අතුරු සෙවණට ඉදිරිපත් කෙරුණේ රැකවරණය සඳහාය. ඔවුන්ගේ සියලු තොරතුරු ඇතුළත් චිප් එකක් සතාගේ ශරීරයට ඇතුළු කර තිබෙන අතර අධිකරණයේ විභාග වන නඩුවක නඩු භාණ්ඩ වශයෙන් සිටින එම අලි මෙවර පෙරහරේ ගමන් කරන්නේ එම චිප් එකද සහිතවය.

අධිකරණයෙන් තාවකාලිකව මුදාහරින ලද මෙම අලි 14 දෙනා ශ්‍රී දළදා මාලිගාව, නාථ, කතරගම හා පත්තිනි දේවාල නියෝජනය කරමින් පෙරහරේ ගමන් කරති. විෂ්ණු දේවාලයට මෙම එකම අලියකු හෝ නොලැබුණු බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි කරුණාරත්න මහතා පවසයි.

මහනුවර ඇසල පෙරහර මංගල්‍යය සාර්ථකව පැවත්වීම සඳහා අලි ඇතුන්ගේ හිඟය විශාල බාධාවක්ව පැවැති බවත් අධිකරණ නියෝගයක් මත අලි 15 දෙනකු පෙරහරට ලබාදීම අගය කරන බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. පෙරහර සඳහා පවතින හීලෑ අලි හිඟය සම්බන්ධව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හා වනජීවී ඇමැතිවරයා දැනුම්වත් කිරීමෙන් පසු එතුමන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කළ බවත් ඒ මහතා කීය. තමන් ඇතුළු සතර මහ දේවාල බස්නායක නිලමේවරුන් සිදු කළ ලිඛිත ඉල්ලීමකට අනුව නීතිපති දෙපාර්තුමේන්තුවේ ද උපදෙස් මත මෙම අලි තාවකාලිකව මුදා හැරීමෙන් පසු ඔවුන් පෙරහරට සම්බන්ධ කිරීමෙන් පෙරහරේ විචිත්‍රත්වය ඔප් නැංවුණු බවත් මේ පිළිබඳ මැදිහත්වූ සියලු පාර්ශවයන්ට ස්තූතිය පුදකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පෙරහර මංගල්‍යය සාර්ථක කැර ගැනීම සඳහා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ලබාදෙන සහාය අගය කරන බවද නිලංග දෑල මහතා කීය.

අසේල කුරුළුවංශ
ඡායාරූප - සුනිල් ගුණවර්ධන-කුණ්ඩසාලේ සමූහ

Comments