කුලා මැරූ වැඩකරුට රජුගෙන් ගම්වර | Page 4 | සිළුමිණ

කුලා මැරූ වැඩකරුට රජුගෙන් ගම්වර

 රාජසිංහ රජතුමා කලේගාල නුවර මාලිගයේ දින කිහිපයක්ම ඒකාකාරීව සිට අප්‍රසිද්ධියේ තවත් ගමනකට සූදානම් විය.

“මහා අලසකමක් දැනෙනවා... මේ කණ්ඩායම් පිරිවරා ඉන්නෙ නැතිව මේ අයට හොරෙන් පිටත්වුවහොත්...” එසේ සිතූ රජතුමා අවශ්‍ය ආම්පන්න ද රැගෙන වන බූටෑවේ රිංගා නිශාචර සතකු රැය ගමනේදී පරෙස්සම් වන ලෙසින් ශබ්ද නොනඟා පිටත් විය.

මේ සොඳුරු වනතුර නිවහන කරගත් බොහෝ සතුන් අතර එක්තරා මුවෙක් රජුගේ දසුනට ලක් විය. රජු දුනු හී අමෝරා ඌ වෙත පැන්නේය. හැල්මේ දුවන මුව පොව්වා වන වදුලේ අතුරුදන් විය. වතුරට පැන්න විට කිඹුලකුට වඩා වේගයෙන් පිහිනා යා හැකි, කුළුමීමකුට වඩා වේගයෙන් වනය බිඳගෙන දිව යා හැකි රාජසිංහ මංමුළා විය. ඔහු කුඩා පර්වතයකට නැංගේය. වටපිටාව සෝදිසියෙන් බැලුවේය.

ම්... හ්... දුරින් ගමන් කරන්නේ මිනිසෙක්... හුහ්... හු... රජු හඬ නැඟුවේය.

මගියා ශබ්දය ආ දෙස බැලුවේය. ඔහුට කුඩා පර්වතයක් උඩ සිටින මිනිසකු පෙනෙයි.

වල්මත් වෙච්ච ඇත්තෙක් වෙන්ට ඇති. අසරණ කැර යන්ඩ නාකයි... මගියා සිතුවේය. ඔහු හිමිහිට ඒ පැත්තට ගෑටුවේය. පර්වතයට ළංවත්ම ඒ උඩ සිටි මිනිහාගේ රූපකාය හොඳින් දර්ශනය වන්නට විය.

අහ්... මේ රාසිං දෙයියො. බලන්ඩ... තෙදවත්කම... හඳුනාගත් බව පෙන්වන්නට හොඳ නෑ. මා හිතන්නෙ. මේ දිනවල වැඩ වසන්නෙ කලේගාල මාලිගාවෙ.

ඔහු රජු අසල නැවතුණේය. පර්වතය බැස ගත් රාසිං රජ්ජුරුවන්ට මහත් පිපාසාවක් ද ඇති විය.

මට මහත් පිපාසාවක්... මට වතුර ටිකක් දෙන්ඩ...

රජු වචන තෙපළේ අමාරුවෙනි. ඒ අතරට රජු මඟියා විමසුවේය. ඔබ කවුරුන් ද? මේ වන මූකලානේ ගෑටුවේ...

“මයෙ හරක් පට්ටිය වහුගල මූකලානෙ. උන් බලන්ඩ යනිං ගමන තමුන්නැහැගේ හූ ශබ්දය ඇහිලා ආවා... මගියා යටහත්ව කීවේය. මඳක් හිටින්න මං වතුර ටිකක් ගෙනෙන්නං... එසේ කියූ ඒ මඟියා යුහුසුලුව පල්ලම් බැස කොළපතක් සොයා ක්‍රමානුකූලව නවා වතුර ගෙන යා හැකි භාජනයක් ද තනාගෙන එය රැගෙන ආවේය.

මෙන්න! ඇත්තෝ. ඇති පදං පිපාසාව නිවාගන්ඩ...

රජු පිපාසාවෙන් පීඩිතව හුන්නේය. ඔහු වතුර බොනු බලා සිටි මඟියාට මෙතුමා කුසගින්නෙන් සිටින වග වැටහිණ.

ආයුබෝවන්ඩ... අපත් හොඳ කුලවත් ඇත්තෝ... මනාප තියේනං මයේ මේ බත් ගෙඩිය දෙතෑකි කුස ගින්දර නිවාගන්ඩ... මඟියා එසේ කීවේ ඉතා ළෙන්ගතුවය.

බැලු බැල්මටම මේ හතර රියන් මහා පුරුෂයා කුලවතෙක් බව රජුට ඒ වන විටත් වැටහී ගියේය. රජු බත් ගෙඩිය ගෙන තුති පුදා ඉන් අඩක් වළඳා ඉතිරිය මඟියාට දිගු ක‍ළේය. මට හොඳටෝම ඇති... ඔබට පින්... රජතුමා කීවේය.

“මට පෙනෙන්නෙ කැලේ මංමුළා වගෙයි.”

“ඔව්”

“ආවෙ”

“කලේගාල නුවර ඉඳලා...”

යමු මට ඇහැකි පාර පෙන්වන්ඩ... මඟියා කීවේය.

පෙරමුණේ සිටින මගියා වන පෙතින් පාර පුරා හැලුණු වන වැල් පීරමින් ගමන් කරයි. දැන් ඔවුන් ගමන් කරන්නේ මඩ සහිත තරමක් සිඳුණු දොළ පාරක් ළඟිනි...

බ්හ්හ්ස්ර්ර්ස්...

වන වදුලු බිඳගෙන ඇදෙන ශබ්දයකින් දෙදෙනා වටපිට බැලූහ. ආහ්... කුලා... වනය බිඳගෙන එනවා... මගියා කීය. සකල කලාවන් දන්නා රාසිං දෙයියන් බියපත් බවක් පෙන්වා කුලෑටිව පසුපසට ආවේය.

කුලා මහත් වේගයෙන් නාසයෙන් පිඹියි. උගේ ඇස් දොට්ට පනින්නට සැරසුණාක් මෙන් මහත් වී ඇත්තේය. ඇඟ පුරා වැඩුණු ලෝම හා ශක්තිමත් ඇඟ දුටු මඟියා රජතුමාට වහන් වන්නට අතින් සන් ක‍ළේය.

මං මෙයාව බලාගන්නම්. ඔබ තවත් පස්සට වෙන්ට... එවර මඟියා කීවේ අත් දෙක ද වකුටු කැර කුලා දෙසට අමෝරමිනි.

කුලා මහත් හඬ නඟා මඟියා වෙත පැන්නේය. මගියා කරණමක් ගසා ඈත් විය. ඊළඟ මොහොත ඉතා ඓශ්චර්යවත් එකකි. ඉස්බක් පමණ අහසේ ගුවන්ගත වූ මඟියා ඊළඟ මොහොතේ මරු විකල්ලෙන් දඟලන කුලාගේ අං තට්ටුව තදින් අල්ලා ගත්තේය. උගේ සුදු ඉංගිරියාව පමණක් පෙනෙන තරමට ඇස් මහත් විය.

චරස්... අනුකරණයෙන් කුලාගේ කරටිය බිඳිණි. ඌ විලාප දීගෙන වැටුණේය.

රජු නොසැලී මේ ගමන එක තැනක සිට හිනැහෙමින් බලා සිටින වග පෙනුණු මඟියා රජු ඉදිරියේ වැඳ වැටුණේය.

අපේ රාසිං දෙයියො... ගැත්තාට සමාව දෙන්ඩ... මං ඔබ වහන්සේට අනතුරක් වෙයි කියලා ඉක්මන් වුණා... මඟියා තෙපළේය.

අං දෙක අල්ලාගත් විදියේ සුළු පමාවක් පෙන්වා දුන් රජු මැරුණු කුළුමීමා පෙන්වා උගේ ගෙල බිඳුණු ආකාරය ගැන කිසිවක් කීවේය. දඟ කුළු මීමුන් අතොරක් නැතිව මරා දැමු රාජසිංහ රජු පෙන්වා දුන් ආකාරයට කළානම් කුලා මීට ප්‍රථම අන්තිම හුස්ම ගන්නේ යැයි මගියාට ද වැටහිණ.

මහරජතුමනි! මහ වාසලට යම්බඳු හිරිහැරයක් සිදුවීනම් කමාවන සේක්වා...! නැවතත් මඟියා කීය.

නැත. ඔබ අපෙ රටටත් මහ වාසලටත් ඉතා වටී. හෙට මේ කුළු මීමාගේ අං දෙක සමඟ වාසලට පැමිණිය යුතුය... කියූ රජු එතැනින් නික්මී ගියේය.

පසු දින තම නෑසියන් සමඟ කුළු මී අං තට්ටුව ද රැගෙන මඟියා රජ වාසලට පැමිණියේය. රජු ඒ සියලු දෙනාට සත්කාර සංග්‍රහ කරන්නැයි අණ කළේය.

මේ තා සමඟ සිටින අය කවුරුන් ද? ඒ අතර රජු මඟියා විචාළේය.

ඒ මහ රජුනි, මගේ සනුහරේ ඇත්තෝ... රාසිං දෙයියන් දකිනු රිසියෙන් මෙහි ආවා... ඔහු කීය.

හොඳයි. පෙර දින තොප මට උපකාර කළෙහිය. මගේ දිවි රුදුරු කුලාගෙන් ගලවා දුන්නේය. මේ ලංකාද්වීපයේ මහා භයානක සතුන් සමඟ සටන් වදින්නට පුළුවන්කම ඇත්තේ මට පමණක් බව මම සිතා සිටියෙමි. එහෙත් තොප මා ඉදිරියේදීම එය එසේ නොවේයැයි ඔප්පු කළේය. තොප සියලු දෙනා වසන ප්‍රදේශය මෙතැන් පටන් ‘රාසිංගොල්ල’ වන්නේය.

ඒ අවට ගම් රැසක් ද ඒ මගියාට ‘ගම්වර’ වශයෙන් රජුගෙන් ලැබිණි.

උපාලි සමරසිංහ

Comments