විපත් උමඟක් රටේ හෑරූ ‘උමා ඔය සංවර්ධනය’ | Page 15 | සිළුමිණ

විපත් උමඟක් රටේ හෑරූ ‘උමා ඔය සංවර්ධනය’

අන්තර්ජාලයේ ඇති දත්ත අනුව ඉරානයේ FARAB සමාගම ජල උමං කැනීම සඳහා වූ පුරෝගාමින් නොවේ. මීට වඩා හොඳ සමාගම් ඉරානයේ තිබෙන්නට ඇත. කෙසේ නමුත් ඇති තොරතුරු අනුව FARAB සමාගම බණ්ඩාරවෙල උමා ඔය ඇතුළුව ව්‍යාපෘති 35ක් පමණ කර ඇත. එයින් 26ක්ම ඉරානය තුළ කර ඇති අතර අනෙක්වා කිරීමට බාරගෙන ඇත්තේ අසර්බයිජාන්, ඉරාකය, කෙන්යාව, තජිකිස්තාන්, පාකිස්තාන් හා ආර්මෙනියා යන රාජ්‍යයන්ගේය. ඉහත සඳහන් කළ ව්‍යාපෘති 35න් 19ක්ම භුමිය මතුපිට වේලි ඉදිකිරීම්, ජලවිදුලි බලාගාර වැනි ඒවාය. භුගත උමං මාර්ග කැනීම් 8ක් පමණ වන අතර අනිත්වා ගැන වැඩිවිස්තර නැත. 

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය අපේ හදවත හා සමානය. එහි ඉරානයට අයත් ෆරාබ් නම් තෙල් සමාගමක් හරහා උමං මාර්ගයක් ඉදිකර උමා ඔයෙන් කිරිඳිඔයට ජලය ගෙන යාමට ගන්නා ක්‍රියා මාර්ගය පිළිබඳව තැන තැන සිදු වන කතා බහ බොහෝය. එනිසා මේ පිළිබඳව කිසියම් සවිස්තරාත්මක විග්‍රහයක් මෙන්ම මෙහි කටයුතු ඉදිරියට ගෙනයාම පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත භූගෝලවිද්‍යා මහාචාර්ය ජිනදාස කටුපොත මහතා සමඟ විධිමත් කතාබහක නිරත වුනෙමු. මේ ඒ පිළිබඳව තබන සටහනකි.

හෝර්ටන් තැන්නෙන් ආරම්භ වී වැලිමඩ සානුව දිගේ ගලාබසින උමා ඔයෙන් පෝෂණය වන උමා ඔය නිම්නය මධ්‍ය කඳුකරයේ සරුසාර භූමි ප්‍රදේශවලින් එකකි. වර්ග කිලෝමීටර් 720 ක වපසරියකින් යුතු උමා ඔය; බොඹුරුඇල්ල ඔය, කුඩා ඔය, අඹේවෙල ඔය, මාතැටිල්ල ඔය, මාදොළු ඔය යන අතු ගංගා එකතු කරගනිමින් කිලෝමීටර් 75ක දුරක් ගෙවා රන්ටැඹේ දී මහවැලි ගඟට එකතු වේ. මෙහි අක්‌කර සීයකට නොවැඩි වාරි ව්‍යාපෘති බොහා්මයක් ක්‍රියාක්මක වන අතර උමා ඔය ද්‍රෝණියේ වගාකෙරෙන කුඹුරු ප්‍රමාණය අක්කර 28,000කට ආසන්නය. මෙහි පවතින කුඹුරු වැඩි ප්‍රමාණයකට ජල හිඟය නිසා යල කන්නයේ දී වගා කටයුතු කිරීමට පවා අපහසුය. මීට අමතරව විශාල ගොඩ ඉඩම් ප්‍රමාණයක් වගා කෙරෙන එළවළු බෝග සඳහා ද ප්‍රමාණවත් ජල සැපයුමක් මේ මගින් ලබාගත නොහැකිය. සංඛ්‍යාලේඛන අනුව 2008 වර්ෂයේදී බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ කිරිගව දෙනුන් 65,000කට ආසන්න ප්‍රමාණයක් සිටි අතර බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ කිරිගව පාලනය වැඩිපුරම කෙරෙනුයේ ද උමා ඔය නිම්නයේ ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ උමාඔය නිම්නය ආර්ථික උල්පතකි, සම්පතකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ උමා ඔය නිම්න සංවර්ධනය ද එකතු වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව මහියංගන රොටලවෙලදී මහවැලි ගඟ හරස්‌කර ජලාශය ඉදිකිරීම, මිනිපේ ඇළ අඹන් ගඟ දක්‌වාත් දෙවනුව කවුඩුල්ල දක්‌වාත් දිගු කිරීම, මාදුරුඔය දකුණු ඉවුර මගින් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ජලය සැපයීම, උමාඔයේ ඉහළ ජල විදුලිබලාගාරය (මෙගාවොට් 25) සහ උමා ඔය පහළ විදුලි බලාගාරය (මෙගාවොට් ‌30) ඉදිකිරීම ද ඊට අයත් විය.

උමාඔය, එහි ස්වාභාවික ගමන්මගෙන් ඉවතට ගෙන දකුණේ කිරිඳි ඔය නිම්නයට හරවා දකුණු පළාතේ හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශයට ජලය ලබාදීම, කලක සිට සාකච්ඡා වූ මාතෘකාවකි. එහෙත් මෙහිදී උද්ගත වන ප්‍රධාන ගැටළුවක් වන්නේ උමාඔය හැරවීම ප්‍රයෝගිකව කරන්නේ කෙසේද යන්නයි. පොළොව මතුපිටින් හැරවීම කළ නොහැකි වීම නිසා වැලිමඩ, පුහුල්පොළ සිට බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයට යටින් ඉදිකෙරෙන භූගත උමං මාර්ගයකින් ජලය ගෙනයාම යෝජනා විණි. එසේ දකුණට ගෙනයනු ලබන ජලයෙන් හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ, ක්‍රීඩාංගණ, සංචාරක හෝටල්, කර්මාන්ත ප්‍රදේශ සඳහා ජලය ලබා දීමටත්, කිරිඳි ඔය නිම්නයේ වගා ඉඩම් හෙක්‌ටයාර් 8,000-10,000 කට වාරි ජලය සැපයීමටත්, මෙගාවොට්‌120ක ජලවිදුලිය නිෂ්පාදනය කිරීමටත් යෝජිත ය.

මේ සඳහා වැලිමඩ පුහුල්පොලදී ඔය හරස්‌කොට එක් ජලාශයක් හා වැලිමඩ ඩයරබාහිදී මාතැටිල්ල ඔය හරස්‌කොට තවත් ජලාශයක්‌ ඉදිකිරීම, පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශයට කිලෝ මීටර් 3.5ක දිගකින් යුත් හා මීටර් 4.1ක් පළල උමගක්‌ ඉදිකිරීම, ඩයරබා සිට කුරුකුදේගම, බිඳුණු වැව, හීල් ඔය, අඹදණ්ඩේගම යන ගම්මාන යටින් කරඳගොල්ල දක්වා කිලෝ මීටර් 19 පමණ දිගින් හා මීටර් 4.3 පළලින් යුත් උමං ඉදිකිරීම අරමුණු විය. ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වැල්ලවාය මායිම්ව භූගත විදුලි බලාගාරයක් ඉදිකර එහි සිට අලිකොටආර දක්‌වා කිලෝ මීටර් 3.3ක් දිගින් යුත් හා මීටර් 4.1ක් පළලින් යුත් ජලය පිට කිරීම සඳහා ද උමඟක් ඉදිකෙරේ. මීට අමතරව විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමඟක්‌ ඉදිකිරීම හා විදුලි බලාගාරයේ සිට බදුල්ල උපපොළ දක්‌වා අධිබලැති විදුලි රැහැන් මාර්ග ඉදිකිරීමට මේ මඟින් යෝජනා වී තිබේ. මෙහි භුවිද්‍යාත්මකව පෙනෙන කාරණය නම්, ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ගිනිකොණ බෑවුම ආශ්‍රිතව, ඉහළ ඌවේ කඳුකරය යටින් උමං මාර්ග ඉදිවීම එම ප්‍රදේශවල ජල මුලාශ්‍රවලට විශාල තර්ජනයක් වනවා පමණක් නොව ඉදිරියේදී නාය යෑම් තත්ත්ව උග්‍ර වේ. දැන් සිදුවී තිබෙන්නේ ද එයයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට නිවාස 7,000ක් පමණ ඉරිතලා, පුපුරා, ගිලාබැස හානියට පත්ව ඇති බව පැවසේ. බොහෝ නිවාස මුළුමනින්ම විනාශව ඇති අතර ළිං, පෝෂක උල්පත්, දියකඳුරු 3,500 ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.

වැලිමඩ පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා කිලෝමීටර් 3.5 උමං මාර්ගය සැකසීම සඳහා විශාල ගල් පර්වත කඩා ඉවත් කිරීම සඳහා ගල් වෙඩි යෙදවීම හේතුවෙන් පුහුල්පොළ, ලුණු වත්ත, කොන්කණුවෙල යන ප්‍රදේශවල නිවාස වලට හානි සිදුව ඇත. ඒ සමග ඩයරබා ජලාශයේ සිට කරඳගොල්ල දක්වා උමං මාර්ගය තැනීම හේතුවෙන් ගම්මාන රාශියකම ළිං දිය උල්පත් සිඳී යෑම නිසා පානීය ජල අවශ්‍යතාවයවත් සපුරාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර දැවැන්ත ජල හිඟයක් උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විසින් උරුම කර දී ඇත. දැනට මෙම ප්‍රදේශවලට ජල අවශ්‍යතා සපයනු ලබන්නේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් දිනකට ලීටර් 180,000 පමණ ජලය ලබාදීමෙනි. එසේම බණ්ඩාරවෙල හා අවට ගම්මාන රාශියක්ම මේ වනවිට අවදානම් කලාප ලෙස නම්කර ඇත. බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැගිල්ල, කුමාරි ගොඩනැගිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැගිලි ආශ්‍රිත කලාපය ද දැඩි ගිලාබැසීම්වලට ලක් වී ඇත.

2015 මාර්තු මාසයේදී වත්මන් රජය විසින් තාවකාලිකව නතර කළ නමුත් උමා ඔය ව්‍යාපෘතියට අදාළ කැණීම් කටයුතු නැවත ආරම්භ කිරීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ භූගත ජලය විශාල වශයෙන් කාන්දුවට ලක්විය. එවකට තත්පරයට ජලය ලීටර් 875 ක් හෙවත් දිනකට ජලය ලීටර් මිලියන 75-80 කට ආසන්න ප්‍රමාණයක් උමග තුළින් අපතේ යාම සිදුවිය. 2017 මැයි-ජූනි වන විට පනංගල ප්‍රදේශයෙන් උමඟ තුළට තප්පරයට ලීටර් 976 ක ප්‍රමාණයකින් ජලය කාන්දුවන බව සොයා ගන්නා ලදී. මෙය දිනකට ලීටර් මිලියන 84 පමණ අපතේ යාමකි. බෝතල් කළ උල්පත් ජල ලීටරය රුපියල් 80/ කට මිලදී ගන්නා රටක, දිනකට ජල ලීටර් මිලියන 84 පමණ අපතේ යැවීම බරපතල ගැටලුවකි. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගම විසිනි. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සඳහා වැයවන මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 155 කි. කැනඩාවේ ඩබ්ලින් උපදේශන සමාගම ඇස්තමේන්තුව ලබාදීමෙන් වසර 3 කට පසුව ඉරානය මෙම ව්‍යාපාරයට මැදිහත් වේ.

2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරය අතරතුර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට සුදානම් ව පැවති අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පවරා තිබුණි. ඔහු ගේ දැඩි විරෝධනය නිසා ශක්‍යතා අධ්‍යයනයකින් පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග “හිස් ගිවිසුමක්“ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අත්සන් තැබූ බව පැවසේ. මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු මුදල ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය.

කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද එක්ව සකස් කරන ලද ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 548කි. ශ්‍රී ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකඟ වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 248 කට වැඩි වීමකි. ආසන්න වශයෙන් රුපියල් මිලියන 76,320 කි. එයින් 85%ක් ඉරාන රජය මගින් ද, 15% ක් ලංකා රජය මගින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකඟත්වය පළ කරනු ලැබීය. ඇස්තමේන්තු කර ඇති 1,670ක සේවක සංඛ්‍යාවෙන් බහුතරය, එනම් 1334ක් ම කම්කරුවන් ය. එම කම්කරු රැකියාවලින් 1,197ක් ලංකාවේ සේවකයන් ද ඉංජිනේරු රැකියා ඇතුළු ඉතිරි පුරප්පාඩු සියල්ල ඉරාන ජාතිකයන්ගෙන් පිරවීමට තීරණය වී තිබිණ.මේ සඳහා අපක්ෂපාතීව කරැණු සොයා බැලිය යුතුය.

අවස්ථා කිහිපයකදී රටවල් හා වෙනත් මුල්‍ය ආයතන භාර නොගත් උමාඔය බහු කාර්ය ව්‍යාපෘතියට මහින්ද රාජපක්ෂ රජය 2009 වර්ෂයේ අප්‍රේල් මාසයේ 29 වන දින ඉරාන රජයේ දායකත්වයෙන් ඉරානයේ අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර-ණය ආධාර සහිතව FARAB Consultant සමාගම හා ශ්‍රී ලංකා හා ඉරාන ජනාධිපතිවරුන් විසින් උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2009 අප්‍රේල් මස 29 දින ආරම්භ කරන ලදී. මේ ආරම්භය සිදු වන්නේ කිසුදු පරිසර ඇගයීම් වාර්තාවක් හෝ ශක්‍යතා අධ්‍යනයකින් තොරවයි.

අන්තර්ජාලයේ ඇති දත්ත අනුව ඉරානයේ FARAB සමාගම ජල උමං කැනීම සඳහා වූ පුරෝගාමින් නොවේ. මීට වඩා හොඳ සමාගම් ඉරානයේ තිබෙන්නට ඇත. කෙසේ නමුත් ඇති තොරතුරු අනුව FARAB සමාගම බණ්ඩාරවෙල උමා ඔය ඇතුළුව ව්‍යාපෘති 35ක් පමණ කර ඇත. එයින් 26ක්ම ඉරානය තුළ කර ඇති අතර අනෙක්වා කිරීමට බාරගෙන ඇත්තේ අසර්බයිජාන්, ඉරාකය, කෙන්යාව, තජිකිස්තාන්, පාකිස්තාන් හා ආර්මෙනියා යන රාජ්‍යයන්ගේය. ඉහත සඳහන් කළ ව්‍යාපෘති 35න් 19ක්ම භුමිය මතුපිට වේලි ඉදිකිරීම්, ජලවිදුලි බලාගාර වැනි ඒවාය. භුගත උමං මාර්ග කැනීම් 8ක් පමණ වන අතර අනිත්වා ගැන වැඩිවිස්තර නැත. මේ අනුව මෙම සමාගම උමං කැණීම සඳහා නොර්වේ, ස්වීඩන්, ජර්මන්, චීන, ජපන් විද්‍යඥයින් තරම් නිපුණ නොවූවෝය.

ශ්‍රි ලංකාව නිවර්තන රටක්වන අතර අපේ භූ ස්කන්ධය ප්‍රාක්කේම්බ්‍රීය පාෂාණවලින් සමන්විත විපරීත අවසාදිත/ විපරීත ආග්නේය පාෂාණ වුව ද මේවා අවුරුදු මිලියන 1500- 2000 හෝ ඊටත් වඩා පැරණිය. මධ්‍යම කඳුකරයේ භූ විද්‍යාව තුළ කුස්තුර, විවර, ව්‍යාකෘති කලාප (shear zones) ඇත. විවිධ ඛණිජ වර්ගවල ඒකරාශිවීම් අනුව පිහිටීම් රටා අනුව, ජීර්ණයට භාජනය වීම් අනුව දුර්වල පාෂාණ ව්‍යුහයන් භූ තලය මතුපිට සිට අභ්‍යන්තරයට විහිදී යයි. ශ්‍රි ලංකාවේ පැවැති පැරණි දේශගුණික වෙනස්කම් සමහර විට මීටර් සිය ගණනක් ගැඹුරට විහිදී යයි. ඒවායේ අභ්‍යන්තර ජලවහන ලක්ෂණ ජල ගබඩා ඇත. මේ ගැන උමාඔය උමං ව්‍යාපෘතියෙදී භූවිද්‍යාත්මක ගවේශණ නොකළේ මෙම සමාගම උමං කැණිම සදහා නොර්වේ, ස්වීඩන්, ජර්මන්, චීන, ජපන් විද්‍යඥයින් තරම් නිපුණ වූවන් නොවන නිසාය. නමුත් යෝජිත උමඟට මතුපිටින්, උමඟ ලක්ෂ (tunnel points) යොදා ගනිමින් භූගත ජල මට්ටම් සොයා ඇත්තේ කුමකට ද යන්න ගැටළුවකි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයනාංශය යන අංශ වලින් මෙම ව්‍යාපෘතියට කුමන දායකත්වයක් දුන්නාදැයි පැහැදිලි නැත. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල මූලාශ්‍ර පිළිබඳව දත්ත ද තිබියදී මෙරටේ භූ ව්‍යුහය ගැන කිසි අවබෝධ නැති ෆරාබ් සමාගම වැනි සමාගමකට මේ ව්‍යාපෘතිය භාරදීමේ රහස කුමක්ද යන්න සොයා බැලිය යුතුවේ. කෙසේ වුවද සක්‍යතා අධ්‍යන හා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා ද සකස්‌කර නොතිබියදීම, 2009 අප්‍රේල් 29වන දින වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේ දී “උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය” මුල්ගල තබා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මුල්ගල තැබීමේ උත්සවයට පමණක් වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 260ක් හෙවත් මිලියන 26ක් බව ප්‍රකාශවේ. මුල්ගල් තබා වසර 03 ක්‌ගත වූ මොහොතේ ලංකා ඉතිහාසයේ වැඩිම ලිඛිත විරෝධතා ප්‍රමාණයක් ‌ඉදිරිපත් කර තිබියදී, එවකට රජය විසින් 2012 අප්‍රේල් මස 12 වන දින පරිසර වාර්තාවට අනුමැතිය ලබාදී මෙම ව්‍යාපෘතිය කිරීම යෝග්‍ය බව ප්‍රසිද්ධ කළේය. මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක දෙකට ද උග්‍ර ජල හිඟයක්‌ පවතින බව සත්‍යයකි. එම දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවට ජලය සැපයීම ද අත්‍යවශ්‍ය කාරණාය. නමුත් කිරිඳිඔය නිම්නයේ ජලහිඟය පියවීමට, උමාඔයට හැකියාවක්‌ නැත. ඊට හේතුව වන්නේ මෙම නිම්න දෙකටම වර්ෂාව ඇති වන්නේ සහ පායන්නේ එකම කාලයක නිසා ය. උමා ඔය සහ කිරිඳි ඔය නිම්නයට වර්ෂාව ලැබෙනුයේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමගය. මේ නිසා කිරිඳි ඔය නිම්නයට ජලය හිඟ වන විට උමා ඔය නිම්නයට ද ජලය හිඟ වේ. වැස්ස සහ පෑවිල්ල එකම කාලයක සිදුවන බැවින්, කිරිඳි ඔයට ජලය හිඟ වූ විට උමාඔයෙන් ලබාදීමට තරම් ජලයක් උමා ඔයේ ඉතිරි වන්නේ නැත. එබැවින් ෙම් නව ව්‍යාපෘතිය මගින් කිරිඳිඔය නිම්නයේ ජල හිඟයට විසඳුමක් කිසිසේත්ම ‌ලැබෙන්නේ නැත.

අනෙක් අතට මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා මුහුදට ගලා යන ගංගා ගණනාවකි. ඒවායෙන් තවමත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩහැර ඇති ජලධාරිතාව ද අතිවිශාලය. රජයේ වාර්තා අනුව නිල්වලා ගඟෙන් 40% ක්‌ද කිරිඳි ඔයෙන් 30% ක්‌ද මැණික්‌ ගඟෙන් 33% ක්‌ද, කුඹුක්‌කන් ඔයෙන් 36% ක්‌ද කිරම ඔයෙන් 33.5% ක්‌ද, උරුබොක්‌ක ඔයෙන් 27% ක්‌ද, වලවේ ගඟෙන් 22% ක්‌ද ගල්ඔයෙන් 31% ක්‌ද මුහුදට ගලා බසින්නේ මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා ය. මෙම ජලය ප්‍රයෝජනයට ගත හැකි පරිදි කළමනාකරණය කරන්නේ නම්, රුපියල් කෝටි ගණන් වියදම් කරමින් උමාඔයෙන් වතුර හැරවීමට අවශ්‍යතාවයක් මතුනොවේ.

එසේම උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල තැබීමෙන් පසු හම්බන්තොට සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශය සඳහා පානීය ජලය සැපයීමට යැයි පවසමින් ''රුහුණුපුර ජල ව්‍යාපෘතිය" නමින් තවත් මහා පරිමාණ ව්‍යාපාතියක්‌ රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර අලුතින් අරම්භ කළේය. එසේ රුහුණුපුර ජල ව්‍යාපෘතිය මගින් හම්බන්තොට සහ කිරිඳි ඔය නිම්නයට ජලය සපයන්නේ නම් උමා ඔය හරවන්නේ ඇයි? යන ප්‍රශ්නය මතුවේ.

දකුණට ජලය සැපයීමට යයි පවසමින් ඇරඹු උමා ඔය ව්‍යාපෘතිය අවසාන වන්නටත් ප්‍රථම, දකුණට ජලය දෙන්නට අලුතෙන්ම "රුහුණුපුර ව්‍යාපෘතිය" පටන්ගැනීම මගින් බලධාරීන් නිහඬවම පිළිගෙන ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නොවේ ද? එය එසේ නොවේ නම් එය අයථා අන්දමින් මුදල් සොරාගැනීමේ තවත් එක් උපායක් ද? කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියෙන් ජලය දකුණට හැරවීම තුළින් ඉහළ ඌවේ ජල ගැටලුව තවත් උග්‍ර වනු ඇත. ඒ එසේ වුවද මේ ව්‍යාපෘතිය දැන් නතර කිරීමෙන් කිසිදු පලක් නොවේ. සිදු නොවිය යුතු විනාශය මේ වන විටත් සිදු වී හමාරය. මෙම ව්‍යාපෘතිය යථාතත්වයට පත්කිරීමට පිට සක්වලින් විශේෂඥයින් පැමිණියද දැනට භුමියට, භුසම්පත් වලට, ආර්ථිකයට හා ජන ජීවිතය ට කර ඇති හානිය සිදු වී හමාරය.

කේ. ඩී. රසික 

Comments

ලංකාව තව වසර 10ක් යන විට ජිවත් විමට ඉතාමත් අපහසු රටක් වන බව මටනම් හැගෙනවා. පාලකයින් විසින් රට විනාශකර අවසන් කිසි දිනක ලංකාව දියුණු රටක් වන්නේ නෑ

ලංකාව තව වසර 10ක් යන විට ජිවත් විමට ඉතාමත් අපහසු රටක් වන බව මටනම් හැගෙනවා. පාලකයින් විසින් රට විනාශකර අවසන් කිසි දිනක ලංකාව දියුණු රටක් වන්නේ නෑ

පිටු