ශ්‍රී ලංකාවේ පාසල්හි 6 – 11 ශ්‍රේණිවල ‘ඉතිහාසය’ හර (අනිවාර්ය) විෂයයක් ලෙස දැන් ඉගැන්වේ. ඉතිහාසය පාසල් විෂයමාලාවෙන් ඉවත් කිරීමට සූදානමක් ඇතැයි පසුගිය මාසවලදී ද ආන්දෝලනයක් ඇතිවිය. එවැනි කිසිම සූදානමක් නැතැ’යි ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රකාශ කර සිටී. (NEWSLINE 2017/12/19)
එහෙත් ජාතික අධ්‍යාපන කොමිසම විසින් ‘ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යෝජනා 2016’ නමින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ 21, 22 සහ 29 පිටුවල පැහැදිලිව එවැනි යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.
මෙම පරස්පර විරෝධය අවබෝධ කර ගැනීම සඳහා ‘ඉතිහාසය’ විෂය ඉගැන්වීම පිළිබඳ ඉතිහාසය සොයා බලමු. එතෙක් පැවැති ‘ඉතිහාසය’ විෂයය 1972 දී සමාජ අධ්‍යයනය බවට ද 1986 දී ඉතිහාසය හා සමාජ අධ්‍යයනය බවට ද 1998 දී සමාජ අධ්‍යයනය හා ඉතිහාසය බවට ද 2006 දී ඉතිහාසය බවට ද පත්වීය. 2016 යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එම විෂයය ‘සමාජ අධ්‍යයනය හා ප්‍රජාචාරය’ බවට පත්වෙනු ඇත.
එවිට මෙතෙක් 2006 සිට හර විෂයයක් ම පැවැති ඉතිහාසය පහළට වැටී සමාජ අධ්‍යයනය විෂයය තුළ විෂය කොට්ඨාසයක් බවට පත්වේ. ඒ ප්‍රජාචාරයටත් වඩා අඩු තැනකි. දැනට හර විෂයයක් වන ඉතිහාසය ද කාණ්ඩ (තෝරාගන්නා) විෂයයන් වන භූගෝල විද්‍යාව ද ප්‍රජාචාරය ද එක් කොට සමෝධානික විෂයයක් කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලැබේ යැයි ජා.අ.කො. ප්‍රකාශ කර ඇත.
‘සමාජ අධ්‍යයනය හා ප්‍රජාචාරය’ විෂය සමෝධාන විෂයයක් ය යන්න එයින් අදහස් කර ඇත. එහෙත් මූලධර්මය අනුව නම් එය අංගසම්පූර්ණ සමෝධානිත විෂයයක් නොවේ. එසේ වීමට අවශ්‍ය නම් විෂයය සැකැසිය යුත්තේ ‘සමාජ අධ්‍යයනය’ ලෙසට ය.
සමාජ අධ්‍යයනය හා ප්‍රජාචාරය විෂය ක්ෂේත්‍ර දෙකක් ලෙස ගැනීම ද තර්කානුකූල නොවේ. සමාජය හා ප්‍රජාව යනු එකක් ම ය.
තවද ඉතිහාසය ඉවත් කොට ප්‍රජාචාරයට ප්‍රමුඛත්වය දීම ද සාධාරණ නොවේ. ප්‍රජාචාරය යනු වර්තමාන සමාජය පිළිබඳ කථාන්තරය යි. ඉතිහාසය යනු අතීතය පිළිබඳ කථාන්තරයයි. වර්තමාන කථාන්තරය අමුතුවෙන් ඉගැන්වීමට වඩා උපකාර අවශ්‍ය වන්නේ අතීත කථාන්තරය ඉගෙනීමට ය.
මට නම් පෙනෙන්නේ මෙම යෝජනාව එක් විෂයයක් ඉවත් කිරීමට කරන ලද වෑයමක් ලෙසට නොවේ. මෙය විෂයමාලා සංවර්ධනය පිළිබඳ ව්‍යාකූලත්වයකි. විෂයය ඉගැන්විය යුත්තේ තනි විෂයයක් ලෙසට ද සමෝධානිතවද යන්න ගැන පැහැදිලි තීරණයක් නැත.
තවත් අතකින් බැලූ කල මෙම ක්‍රියාවලිය පද පෙරළියක් බවට පත්ව ඇති බොළඳ ක්‍රීඩාවක් මෙන් පෙනේ.
තවද ඉහත දැක්වූ විවිධ නම් මාරු කරමින් හැඳින්වුණ විෂය අතරින් කුමන විෂයය නාමය යටතේ ඉගැන්වීමෙන් අභිමතාර්ථ ඉටු වූයේ දැයි කිව හැකිද? තවද මෙහි ඉදිරියට යාමක් නැත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ද ජපානයේ ද එම විෂය සමෝධාන කර ‘සමාජ අධ්‍යයනය’ නමින් ඉගැන්වේ. එංගලන්තයේ ද ඕස්ට්‍රේලියාවේ ද ඉතිහාසය, භූගෝල විද්‍යාව හා ප්‍රජාචාරය වෙන වෙන විෂයයක් ලෙස ඉගැන්වේ. ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමයක් පවතින බවට විශ්වාස කරන පින්ලන්තයේ ද තවමත් ඉතිහාසය, භූගෝල විද්‍යාව, පරිසර අධ්‍යයනය යනුවෙන් තනි තනි විෂය උගන්වති. (Finish National Board of Education/ Compulsory Education/ FNB 2016)
ශ්‍රී ලංකාවේ ද ඉතිහාස, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය දැනට වෙන වෙනම විෂය තුනක් ලෙස ඉගැන්වේ. මෙයින් ඉතිහාසය හර (අනිවාර්ය) විෂයයකි. 2006 න් පටන්ගත් මේ ක්‍රමයෙහි වෙනසක් අවශ්‍ය බවක් නොපෙනේ. ‘වෙනසක් සඳහා වෙනසක්’ ද අනවශ්‍යවේ.
ඉතිහාසය පිළිබඳ දැනුම නැති ඔබගේ ලෝකය කුඩාය. (Lyne Munson)
“කවදාවත් ඉතිහාසය අයින් කරන්නේ නැතැ’යි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරල්වරිය අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරියේ සපථ කර සිටී.
ඉතිහාසයක් නොමැතිව අනාගතයට යා නොහැකි බව ද ඉදිරියට යා යුත්තේ ඉතිහාසය ආරක්ෂා කරමින් බවද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ඒ. එම්. එස්. ජයවීර
විෂයමාලා සංවර්ධන අංශයේ හිටපු අධ්‍යක්ෂ
මහරගම අධ්‍යයන ආයතනය