ආපදා අවම කිරීමට තැනට සුදුසු ආපදා සන්නිවේදනයක් ඕනෑ | Page 2 | සිළුමිණ

ආපදා අවම කිරීමට තැනට සුදුසු ආපදා සන්නිවේදනයක් ඕනෑ

පසුගිය වසර කිහිපය ඇතුළත සිදු වූ ආපදා පිළිබඳ හැරී බලන විට අපේ රටේ පවතින ආපදා සන්නිවේදනය හා ආපදා කළමනාකරණය නවීකරණය විය යුතු බව විද්වතුන්ගේ මතය වී තිබේ.

ගංවතුර නාය යෑම නිත‍ර ඇති වන ප්‍රදේශවල ආපදාවට පෙර ක්‍රියාත්මක වන නවීකරණය වූ හා කණ්ඩායම් සන්නිවේදනය අනුව ක්‍රියාත්මක වන පූර්ව ආපදා සන්නිවේදන සැලසුම් සකස් කර තිබිය යුතුය‍. දිස්ත්‍රික් ලේකම්වරයාගේ සිට ආපදා සහන සේවකයා දක්වා නව දෘෂ්ටිකෝණයකින් ආපදාමය සන්නිවේදන සැලසුම් හා ක්‍රමෝපායන් සකස් කරගැනීමට ඒ පිළිබඳ ප්‍රවීණයන්ගේ විද්වතුන්ගේ පූර්ව උපදෙස් ලබාගත යුතුය.

එතෙර මෙතෙර ආපදා සන්නිවේදනය පිළිබඳව පර්යේෂණ ගණනාවක් කර ග්‍රන්ථ කිහිපයක්ද පළ කර ඇති පරිසර අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතා පවසන පරිදි එක් එක් ප්‍රදේශයට අනුරූපී ස්වාධීන ආපදා සන්නිවේදන සැලසුම් සම්පාදනයේදී ඒ ප්‍රදේශයේ ජනතාව සතු පාරම්පරික ඥානයද ආපදා සංජානනයද අධ්‍යයනය කළ යුතුව ඇත.

ඒ මහතා පවසන පරිදි ගංවතුර තත්ත්වයකට මුහුණදීමේදී ක්ෂණිකවත් කාර්යක්ෂමවත් ආපදා සන්නිවේදනය කළ යුතුව ඇත.

ඒ ප්‍රදේශවල නියම ආපදා සන්නිවේදනයක් නොකර සිටියොත් මරණ සංසිද්ධි වැඩි විය හැක බවද සුනිල් සරත් පෙරේරා මහතා පවසයි. මෙහිදී පාරම්පරික ඥානයට සුදුසු තැන ලබාදීමත් වැස්ස හා ජල මට්ටම පිළිබඳව දැඩි අවධානයෙන් සිටීමත් ඉතා වැදගත් වේ.

සුනිල් සරත් පෙරේරා මහතා පවසන පරිදි පූර්ව-ආපදා සන්නිවේදනය ඉතා වැදගත් වේ.

මෙහිදී ග්‍රාම කේන්ද්‍රීය සන්නිවේදනය හා පාරම්පරික ඥානයද උපයෝගි කරගත යුතුව ඇත. ඒ සමඟම දේශානුරූපි සන්නිවේදන රටාවක්, දේශානුරූපි ග්‍රාම කේන්ද්‍රීය සන්නිවේදන ආකෘතියක් ඇති කළ යුතු බවද හෙතෙම පවසයි.

මෙහිදී ගම්වලට අනන්‍ය වූ ආපදා සන්නිවේදන කණ්ඩායම්ද බිහි කළ යුතුව ඇත. මෙහිදී පරිසරයට හා ජනතාවට සවන්ඳීම ඉතා වැදගත්ය.

පසුගිය සමයේ අපේ රටට ආපදා රැසක් ඇති විය. ඒ නිසා 220ක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. පීඩාවට පත් ගණන ලක්ෂ 6කට වඩා අධිකය.

මේ අවස්ථාවේදී නිවැරදි ආපදා සන්නිවේදනයක් තිබුණේ නම් මේ මරණ සංඛ්‍යාව හා දේපොළ හානි අවම කරගත හැකිව තිබුණු බවද සුනිල් සරත් පෙරේරා මහතා පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැන් පවසන්නේ කුකුළේ ගඟ හා බුලත්සිංහල මිල්ලකන්ද ප්‍රදේශවලට මැයි 25/26 දිනවලදි මිමී 550–600 අතර වැස්සක් ලැබුණු බවයි. එමෙන්ම මේ ආයතන දෙකම පෙන්වා දෙන්නේ තෙත් කලාපයේ ස්ථාන රැසකට මැයි 25, 26 දිනවල දී මිලිමීටර් 400ට වැඩි වැස්සක් ලැබුණු බවයි.

එසේ වැඩි වැස්සක් ලැබෙන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ අයුරින් අදාළ බලධාරීන්ට ලැබෙන වැස්ස වැඩි බව දැනුම්වත් කිරීමට පැහැදිලි ආපදා සන්නිවේදන ක්‍රමයක් අපේ රටට අත්‍යවශ්‍ය වී තිබේ.

ඒ සඳහා ක්‍රමයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉක්මනින් සකස් කළ යුතුව ඇත.

විශේෂයෙන් කළු, කැලණි, මහවැලි, ගිං හා නිල්වලා ගංගාවල ඉහළ ජල මට්ටම යම් මට්ටමකට වඩා ඉහළ ගිය විට ඒ බව පහළ ජනතාවට දැන්වීමට සුනාමි කුලුනු මෙන් යාබද විකාශන හා නළා සහිත ගංවතුර අනතුරු ඇගවීමේ කුලුනු සවි කිරීම යෝග්‍ය බව විද්වතුන්ගේ අදහසයි.

කැලණිය, කඩුවෙල, රත්නපුර, අකුරැස්ස, ඇල්පිටිය, නෙළුව, කටුගස්තොට ආදි ප්‍රදේශවල ඒවා සවි කිරීම සුදුසු බව ඔවුන්ගේ අදහසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ මහතා පවසන්නේ මේ ක්‍රමය සුනාමි අනතුරු ඇඟවීම් ක්‍රමවේදයට සමාන ලෙස ක්‍රියාවට නැංවීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට හැකියාව ඇති බවයි.

සුනාමි විපතට පෙර භූමි කම්පාව පිළිබඳව දැනගන්නට ලැබෙන නමුත් වැස්ස වැඩි වීම හා ගංගාවල ජල මට්ටම වැඩි වීම පිළිබඳව ක්ෂණිකව දැනගැනීමට තවමත් මෙරටදී විද්‍යානුකූල ක්‍රමවේදයක් නැත.

අපේ ර‍ටේ ඇත්තේ ශබ්ද විකාශන පද්ධති හා රූපවාහිනි මඟින් තොරතුරු දැන්වීම් පමණි.

එහෙත්, සුළිසුළං වැනි ආපදාවක් සිදු වී ඇති විට යළි ගංවතුරක් ඒමට ඉඩ ඇති විට ඉහත ක්‍රම මඟින් ගංවතුරක් වන බව සන්නිවේදනය කිරීම ප්‍රමාණවත් නොවේ.

ඒ අනුව ඉහත අයුරින් ගංවතුර අනතුරුදායක බව පූර්ව-අනතුරු ඇඟවීමේ කුලුනු ප්‍රයෝජනවත් බවද අභයසිංහ මහතා පවසයි.

මීට අමතරව ඒ ඒ ප්‍රදේශවල පදිංචි ජංගම දුරකතන පාරිභෝගිකයන්ටද කෙටි පණිවිඩ මඟින් ඒ බව දැන්වීමට පුළුවන. අභයසිංහ මහතා පවසන පරිදි ජපානය වැනි රටවල ආපදා පිළිබඳ දැනුම්දීමට වෙනම ගුවන්විදුලි සේවාවක්ද ඇත.

අමෙරිකාවද වසර කීපයකට පෙර සිටම පූර්ව-අනතුරු ඇඟවීමේ ගුවන් විදුලි පණිවිඩ ක්‍රමයක්ද ක්‍රියාවට නංවා තිබිණි.

ඒ සමඟම නිරිත -දිග මෝසම් වන මැයි මාසයයේදීත්, අන්තර්-මෝසම් වන මාර්තු හා ඔක්තෝබර් මාසවලදීත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව රටට දන්වා සිටියි.

එසේ වුවත් හරියටම අහවල් දිනයේදී අන්තර් මෝසම් හෝ නිරිත දින මෝසම ආරම්භ වනවා යයි කීමට ඔවුන්ට හැකියාව නැත.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය නොකිරීම නිසාය. කෙසේ වුවත් මේ අන්තර් මෝසම් හා නිරිතදිග මෝසම පිළිබඳ ‘සිළුමිණ’ ඇතුළු මුද්‍රිත මාධ්‍ය විසින් කීපවරක්ම ජනතාව දැනුම්වත් කරනු ලැබීය.

එහෙත් ර‍ටේ ඇතැම් පරිපාලන නිලධාරීන් හා පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන් ඒ පිළිබ‍ෙ අවධානය යොමු කළේ නැති බව පෙනේ.

මෙවර ගංවතුර පිළිබඳවද සමහර නිලධාරීන් හැඟීමක් ඇතිව කටයුතු කරන බවක් නොපෙනේ.

මේ අනුව ඔවුන්ට ගංවතුර නාය යෑම් පිළිබඳව පූර්ව-අනතුරු ඇඟවීමේ සන්නිවේදනයක් ලැබී නොතිබිණි.

එහෙත් දේශගුණ විපර්යාස නිසා මේ වකවානුවල අපේ රටේ පවතින කාලගුණ රටාව පිළිබඳ රජයට සම්බන්ධ කොයි නිලධාරියාත් බලධාරියාත් අවධානය යොමු කළ යුතුය. ඒ අනුව ආපදාවට ලක් වන ජනතාව ඒ ස්ථානවලින් වහාම ඉවත් කළ යුතුව ඇත.

ඒ සමඟම ආපදා සන්නිවේදනය පිළිබඳ කටයුතු කරන විට ආපදාවට ලක් වීමට ඉඩ ඇති පුද්ගලයන් සිටින ස්ථානයෙන් ඉවත් කර රඳවා තබාගෙන තාවකාලික ස්ථාන පිළිබඳ නව සැලසුම් සකස් කර තිබිය යුතුය. එය ඉතා කාලීන අත්‍යවශ්‍ය කටයුත්තකි.

සමස්තයක් ලෙස ගත් විට ‍යළිත් මෙවැනි අධික වැස්ස නායයෑම් ඇතිවීමට පෙර පීඩාවට පත්විය හැකි අය දැනුම්වත් කිරීමේ ක්ෂණික කාර්යක්ෂම සන්නිවේදන වැඩ පිළිවෙළක් සකස් කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගත යුතු ය.

ඒ සමඟම රටේ මහ ජලාශවල පවතින රොන්මඩත් වැව් පද්ධතියේ මඩත් පිරී තිබීම පිළිබඳ තොරතුරු හෙළි කිරීමද ආපදා සන්නිවේදනයකි.

ඒ අනුව ඉහළ ජලාධාර සංරක්ෂණය කිරීමත් අධික බෑවුම්වල තේ වගාව රබර් වගාව කුරුඳු වගාව සිදු කිරීමත් වහා නතර කළ යුතුය.

කෙසේ වුවත් මේ රටට සුදුසු ආපදා සන්නිවේදන ක්‍රමවේදයක් සකස් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාල හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යම් විධිමත් සැලැස්මක් සකස් කිරීම වහා කළ යුතු කටයුත්තක් වී ඇත.

නාය යෑම් පිළිබඳ නම් දැනටත් පැහැදිලි ප‍ූර්ව ආපදා සන්නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදු කිරීම සතුටට කරුණකි. කෙසේ වුවත් ඉදිරි වැස්ස කාලවලදීවත් ක්‍රියාවට නැංවීමට‍ සුදුසු ආපදා සන්නිවේදන සැලැස්මක් සැකසීම ඉක්මනින්ම ආරම්භ කළ යුතු බව අවධාරණය කරමු.

 

 

Comments