පුල­ක­ච්චන්නා - පුල­ක­ච්චන්නා | Page 2 | සිළුමිණ

පුල­ක­ච්චන්නා - පුල­ක­ච්චන්නා

දවසක්දා පණ්ඩිත හාමුදුරුනමක් ඇබිත්ත කොල්ලා එක්ක ගියා ගමනක්. ඒ ගියේ කුඹල් ගමක් හරහා. ඒ කුඹල් ගම හරහා යන හාමුදුරුවන් ඉස්සරහට ආවා සරම් කෙටියක් ඇඳ ගත්ත කොළුවෙක්. මේ කොලුවා “පුලකච්චන්නා, පුලකච්චන්නා” කිය කියා හාමුදුරුවන් පහුකරන් ගියා. ගමන ගිහින් ආපහු පන්සලට ආපු හාමුදුරුවෝ අටුවා ටීකා, සන්න පොත් පෙරළ පෙරළා හොයනවා, මොනවද? දන්න තරම් උපාසකයන්, පණ්ඩිත හාමුදුරුවන් හමුවෙලා ඇහුවා, “පුලකච්චන්නා, පුලකච්චන්නා” කියන වචනෙ තේරුම මොකක්ද කියලා. ඒ කවුරුවත්ම දන්නෙ නැහැ.

හාමුදුරුවෝ දානයක්වත් හරි හැටි නොගෙන නිදි මරමින් ඒ අද්භූත වචනෙ තේරුම හොයනවා. එහෙම හිතලා හාමුදුරුවන් වැහැරෙන්න පටන් ගත්තා. ආහාරයි, නිදි මැරීමයි හින්දා හාමුදුරුවෝ ගිලන් වුණා. මෙහෙම ඉන්නකොට සැතපෙන කුටියට ගිලන්පස අරන් ආව ඇබිත්ත කොලුවගෙන් ඇහැව්වා “කොලුවෝ, උඹට මතකද අපි දවසක්දා අර කුඹල් ගම හරහා ගිය ගමන” කියලා “එහෙයි, හාමුදුරුවනේ” කියල කොලුවා උත්තර දුන්නා.

“උඹට මතකද අර අපි ඉස්සරහට දුවගෙන ආපු කොලුවා කියපු වචනේ?” හාමුදුරුවෝ ආයෙත් ඇහැව්වා. “එහෙයි හාමුදුරුවනේ” කියලා කොලුවා කිව්වා. “අර පුලකච්චන්නා, පුලකච්චන්නා. කියන වචනේ නේද?”

“ඔව් කොලුවෝ ඔව්. ඒකේ තේරුම් උඹවත් දන්නවද?”

“ඇයි හාමුදුරුවනේ ඌ පුලකච්චන්නා කියලා කිව්වෙ “කළ පුච්චන්නා, කළ පුච්චන්නා කියන එකනේ” කියලා කොලුවා කිව්වා.හාමුදුරුවන්ට ඇති වුණු සතුට අප්‍රමාණයි.

ලැ‍ජ්ජාව ඊටත් වැඩියි. මෙතෙක්කල් උගතුන්ගෙන් තේරුම් හෙව්ව වචනෙ තේරුම් ඇබිත්තයගෙන් ලැබුණා.

මේක අපේ ජනකතාවක්

Comments