
හෙටට යෙදෙන ජගත් ජෛව විවිධත්ව දිනය වෙනුවෙනි.
‘නෝමන් මෙයර්’ නම් පාරිසරික විද්වතා අපේ රටේ තෙත් කලාපයේ ඉතිරිව ඇති වනාන්තරවල ජෛව විවිධත්වය පිළිබඳව අවධානය යොමු කොට ඒවා සියල්ල ලෝකයේ සුවිශේෂ වැසි වනාන්තර 18 අතරට ඇතුළත් කර ඇත. ඒ අනුව සිංහරාජය, කෙන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය යන තෙත් කලාපීය වනාන්තර ජෛව විවිධත්වය අතින් ලෝකයේ ඉතා සංවේදී කලාපයක් (Hot Spot එකක්) ලෙස ජගත් පිළිගැනීමට ලක්වී තිබේ.
අලුත් ම තොරතුරු අනුව මේ වනාන්තරවල අද වුව ද දක්නට ලැබෙන සමහර ජෛව විශේෂ ඓතිහාසික ‘.ගොන්ඩ්වානලන්තය’ මහාද්වීපයේ තිබූ ජෛව විශේෂය බව ද පර්යේෂණවලින් තහවුරු වී ඇත.
අපේ රටේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවසන්නේ අප රටේ වසරකට වනාන්තර අක්කර 13000ක් පමණ විනාශ වන බවයි. රාජ්‍ය නොවන පරිසර සංවිධාන කියන්නේ ඒ ප්‍රමාණය වසරකට අක්කර 20000ක් බවයි. කෙසේ වුවත් මේ වන විනාශය නිසා අපේ රටට ආවේණික ඒක දේශීය සත්ව හා ශාක විශේෂ ගණනාවක් අපට සදහටම අහිමිවීමේ හෝ වැනසීයෑමේ තර්ජනයට හෝ ලක් වී තිබේ. තෙත් කලාපයේ වනාන්තර 5ක සිදු කරන ලද අධ්‍යයනයකදී ඒක දේශීය ශාක 879කින් විශේෂ 399ක් තර්ජනයට ලක්ව ඇති බව ද පෙනී ගොස් ඇත. එහෙයින් ශ්‍රී ලංකාවේ නිරිතදිග වැසි වනාන්තර ඒක දේශීය ශාක විශේෂ ගණනාවකටම ................ වශයෙන් ක්‍රියා කරන බවට මේ අනුව සැලකිය හැකි ය.
මීට අමතරව රතු දත්ත ලැයිස්තුව අනුව රත්නපුර, ගාල්ල, මහනුවර දිස්ත්‍රික්කවල ඇති වනාන්තරවල විශාල ජෛව විවිධත්ව හානියක් පසුගිය වසරවලදී සිදු වෙමින් පවතින බව එම පරිසර අධ්‍යයනවලට එක් වූ කොළඹ සරසවියේ සත්ත්ව විද්‍යා මහාචාර්ය දේවක වීරකෝන් මහතා පවසයි.
පේරාදෙණිය සරසවියේ උද්භිද විද්‍යා මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක හා මහාචාර්ය නිමල් ගුණතිලක යන මහත්වරුන්ගේ සුවිශේෂ පර්යේෂණ අනුව ලොව සුපතළ වූ අපේ ශාක ජෛව විවිධත්වයෙන් අතිවිශේෂ වනාන්තරය වූ සිංහරාජයේ වැඩි කොටසක් නොයිඳුල් වනාන්තරයකි. ලෝක උරුම වන භූමියක් ද ජගත් ජෛව ගෝල රක්ෂිතයක් ද ජාතික උරුම වන භූමියක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති සිංහරාජයේ ඇති කාෂ්ඨීය ශාක විශේෂ ගණන 337කි. ඉන් විශේෂ 192ක් 52%ක් ඒකදේශීය වන අතර විශේෂ 116ක් (34%)ක් විශ්ව මට්ටමින් තර්ජනයට ලක් වී ඇති බව ද සොයා ගෙන ඇත. මෙහි ඇති තුරුලතාවලින් 75%ක් පමණ අපේ රටට ආවේණික වීම විශේෂත්වයකි.
නිරිතදිග වැසි වනාන්තර අතර කන්නෙලිය රක්ෂිතය හෙක්ටයාර 6835.9කි. මෙහි සමහර ප්‍රදේශ මීට වසර ගණනාවකට පෙර තුනී ලෑලි නිෂ්පාදනයට අවශ්‍ය දැව ලබා ගැනීම සඳහා යොදා ගෙන ඇත. පසුව එලෙස දැව හෙළීම නවත්වා ඇති අතර තවමත් ජෛව විවිධත්වය අතින් එය ඉතා උසස් මට්ටමක තිබෙන බව ජාතික සංරක්ෂණ සමීක්ෂණයේදී වාර්තා කර ඇත. මෙහි කාෂ්ඨීය ශාක විශේෂ 239ක් ඇති බවය. ඉන් විශේෂ 155ක් ඒක දේශීය වන බවත් විශේෂ 106ක් විශ්ව මට්ටමින් තර්ජනයට ලක් වී ඇති බවත් ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවේ නිරිත දිග වැසි වනාන්තර සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහන් කරයි.
කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය වන ගොටුවේ පැතිරීම අනුව දෙදියගල රක්ෂිතය හෙක්ටයාර 3504කි; නාකියාදෙණිය හෙක්ටයාර 1325කි. මුළු වනාන්තර පද්ධතියේ ම විශාලත්වය හෙක්ටයාර් 11668කි.
කන්නෙලිය ශාක විශේෂ 234ක් ඇති අතර, ඉන් 155ක් අපේ රටට ආවේණිකය. වනාන්තර තුනම එකට ගත් විට ඒක දේශීය ශාක 159ක් ඒක දේශීය ශාක කුල 41ක් හා ශාක ඝන 94ක් මෙම සංකීර්ණය ඇතුළත දක්නට ඇතැයි ලෝක සංරක්ෂක විමසුම සඳහන් කර ඇත.
කොළඹ සරසවියේ සත්ත්ව විද්‍යා මහාචාර්ය නිහාල් දයාවංශ කළ පර්යේෂණ අනුව නාකියාදෙණිය රක්ෂිතයේ සත්ත්ව විශේෂ 43ක් ඇති අතර, ඉන් සත්ත්ව විශේෂ 15ක් ජාතික මට්ටමින් වඳ වීමේ තර්ජනයට පත්ව සිටිති. තවත් සුවිශේෂ විශේෂ තුනක් ගෝලීය වශයෙන් වඳ වීමේ තර්ජනයට ලක්වී සිටින බව ද නිහාල් දයාවංශ පවසයි.
කන්නෙලිය රක්ෂිතයේ ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ ගණන 15ක් වන අතර, ගෝලීය ලෙස වඳ වීමේ තර්ජනයට පත් වූ විශේෂ ගණන 5කි.
දෙදියගල රක්ෂිතයේ සත්ත්ව විශේෂ 51ක් සිටින බවත් ඉන් 14ක් ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇති බවත් මහාචාර්ය නිහාල් දයාවංශ සිය පර්යේෂණ අනුව සඳහන් කර ඇත.
මේ අනුව බලන විට අපේ රටේ ඉහළම ෛජව විවිධත්වය ඇති නිරිතදිග වැසි වනාන්තර සුරැකීමට කටයුතු කිරීම පරිසර අමාත්‍යාංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මීට වඩා කාර්යක්ෂම සංරක්ෂණ ක්‍රම භාවිතා කළ යුතු ය.
අප මේ රටට වැදගත් අදහස් සටහන් කරන්නේ හෙටට යෙදෙන ජගත් ජෛව විවිධත්ව දිනය ගැන අවධානය යොමු වනු පිණිසය. ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරයි.
‘ජෛව විවිධත්වය හා සංචාරක ව්‍යාපාරය’ යන තේමාව ඔස්සේ මෙවර ජගත් ජෛව විවිධත්ව දින උත්සව වැඩසටහන් මෙරට දී ක්‍රියාවට නංවා ඇත. පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්වය ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පවසන පරිදි මෙවර ජෛව විවිධත්ව දිනයේ කළුතර දිස්ත්‍රික්කය ආශ්‍රිතව මොරපිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අපේ ජෛව විවිධත්වය සුරැකීමට රජය, පරිසර සංවිධාන, පරිසර අමාත්‍යාංශය පියවර ගත යුතු ය.
එසේ නොකළහොත් අනාගතයේදී අපේ රටේ රත්නපුර, ගාල්ල, මහනුවර දිස්ත්‍රික්කවල හා රටේ තෙත් කලාපීය වනාන්තරවල ජෛව විවිධත්වය විනාශ වී අපේ රටේ ජෛව විවිධත්වය පිළිබඳව ලොව ඉහළ පිළිගැනීම ඉවත්ව යන්නට ඉඩ තිබේ. මේ ගැන අවධානය යොමු කර අපි සියලු දෙනාම එක් වී අපේ රෙට් ජෛව විවිධත්වය තවත් ඉහළ නැංවීමට කටයුතු කරමු.