කලාව පවතින්නේ එක්තරා වරප්‍රසාදිත පන්තියකටයි | Page 3 | සිළුමිණ

කලාව පවතින්නේ එක්තරා වරප්‍රසාදිත පන්තියකටයි

තුරුණු මඬල

 ජීව විද්‍යා විශය ධාරාව ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ලලිත් මානගේ නම් ඔහු පසු කාලීනව පරිගණක තාක්ෂණය සහ දෘෂ්‍ය කලාවට ප්‍රවිශ්ඨ වෙමින් විභවී ලලිතකලා ඇකඩමිය ඔස්සේ සිය දෘෂ්‍ය කලා අධ්‍යයනයන් සිදු කරන අතර දැනට තීර්ත කලා පාසලේ කළමණාකරු ලෙසත් තීර්ත ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකමුතුවේ සම අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරන්නේ ය.පසුගිය දා බොරැල්ල නගරය ආශ්‍රිත ව අන්තර්ජාතික දෘෂ්‍ය කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් අභිවාහ්‍ය කලා සංදර්ශනයක් ඔවුන් ඉදිරිපත් කළ අතර මෙවර තුරුණු මඬල සංලාපය දෘෂ්‍ය කලා ශිල්පී ලලිත් මානගේ සමඟ මෙරටට එතරම් හුරු පුරුදු නොවූ අභිවාහ්‍ය කලාව පිළිබඳ ව ය.

• ඔබ ඇතුළු දේශීය හා විදේශීය දෘෂ්‍ය කලාකරුවන් පසුගියදා ඉදිරිපත් කළ අභිවහ්‍ය කලා සම්ප්‍රදාය වෙනත් රටවල ප්‍රචලිත පශ්චාත් නූතන දෘෂ්‍යකලාවක් වන නමුත් දේශීය වශයෙන් එතරම් ප්‍රචලිත බවක් දක්නට නැහැ. අන්තර්ජාතිකය පිළිගත් මේ අභිවාහ්‍ය දෘෂ්‍ය කලාව පිළිබඳ ව ඔබේ හඳුනා ගැනීම කුමක් ද?

මෙය වසර 1950 – 1960 කාලය තුළ යුරෝපය, ඇමරිකාව, ජපානය වැනි රටවලින් මූලාරම්භය සටහන් වන අසියාතික රටවල ප්‍රචලිත දෘෂ්‍ය කලා මාධ්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ පසුබිම යටතේයි අපි තීර්ත අභිවාහ්‍ය කලා වේදිකාව 2017 නම් උළෙල පවත්වන්නේ. මෙය අපේ දෙවන අභිවාහ්‍ය කලා උළෙලයි. සාමාන්‍ය දෘෂ්‍ය කලාවේදී අපි තීන්තයෙන් කැන්වසයක් මත හෝ මැටිවලින් වෙනත් අවකාශයක හෝ නිර්මාණයක් කරනවා.එහෙත් අභිවාහ්‍ය කලාවේදී ප්‍රධාන මාධ්‍යය වන්නේ කලාකරුවාගේ සිරුරයි. ඒ නිසාම කලාකරුවාගේ සිරුර ඒ කලා මාධ්‍යයේ කොටසක් බවට පත් වෙනවා.ඒ නිසා මෙය චිත්‍ර කලාව හෝ මූර්ති කලාවන්ගෙන් වෙනස් වෙනවා.මෙය වෙනස් ම කලා ශානරයක් . මේ කලා මාදිලිය තුළ කාලය හා අවකාශය සමඟ ගනුදෙනුවක් තිබෙනවා. ඊට අමතරව කලාකරුවාගේ දේහය එතැන පවතිනවා.ඒ වගේ ම කලාකරුවාගේ දේහය නිතරම පාහේ මෙයට සහභාගි වන ප්‍රේක්ෂකයා සමඟ වහාම සිදුවන ගනුදෙනුවක් තිබෙනවා.චිත්‍රයක් නිර්මාණය කර එය ප්‍රේක්ෂකයාට බාරදී ඔවුන්ගේ ප්‍රතිචාරය නිර්මාණකරුවාට බලා සිටිය හැකියි. එහෙත් මෙහි නිර්මාණය කියන්නේත් තමා ම යි. ඒ වගේ ම තමයි ප්‍රේක්ෂකයා කියන සාධකය මෙතනදි ප්‍රධාන වෙනවා.ප්‍රේක්ෂකයා පවතිනවාය කියන සාධකය අභිවාහ්‍ය කලාවේදී තීරණත්මක වෙනවා. කාලය, අවකාශය, දේහය ප්‍රධාන මාධ්‍යය ලෙසත්, ප්‍රේක්ෂකයා සමඟ කරන ගනුදෙනුව කියන හතර මේ කලාවේදී ප්‍රධාන වෙනවා.

• අභිවාහ්‍ය කලා සම්ප්‍රදාය එක්තරා ආකාරයක නිරූපණ කලා මාධ්‍යයක් නැත්නම් අභිරූපණ කලාවක් අතරින් වෙනස් වන්නේ කෙසේද?

ඔබ පවසන කලා මාධ්‍යයන් තුළත් අභිවාහ්‍ය ලක්ෂණ දක්නට ලැබෙනවා.මේවා අභිවාහ්‍ය කලාවක් නොවන්නේත් අභිවාහ්‍ය කලාව මේ කලාවන් නොවන්නේත් එය නිරූපණය වන සංදර්භය හා කලාකරුවා ඊට ලබාදෙන අර්ථකථනය මතයි. අභිවාහ්‍ය කලාව අනිවාර්යයෙන් ම දෘෂ්‍ය කලා සංදර්භයක සිදුවිය යුතු බවයි මා දරන මතය. චිත්‍ර කලාව, මූර්ති කලාව වැනි දෘෂ්‍ය කලා සංදර්භයක සිදුවන විට වගේ ම කලාකරුවා ඊට දක්වන අර්ථකථනයත් මෙහිදී වැදගත් වෙනවා. මෙහිදී මේ කලාකරුවන් රංගනය පිළිබඳ විශේෂ හැදෑරීමක් සිදුකර නෑ. එසේ හැදෑරීක් තිබෙනවානම් එහි වරදකුත් නෑ. මොකද අභිවාහ්‍ය කලාව අන්තර් විෂයික කලා මාධ්‍යයක්. එහෙත් මෙහි රංගනය පිළිබඳ අවශ්‍යතාවයක් නෙවෙයි, ප්‍රකාශනය පිළිබඳ අවශ්‍යතාවයයි තිබෙන්නේ. ඒ වගේ ම නාට්‍ය කලාවේ තිබෙන දෘඩ ව්‍යුහයන්ගෙන් හි බල අරගලයෙන් මිදීමටයි ඉතිහාසයේ මේ කලාව බිහි වන්නේ. මෙහි පුහුණුවීම නාට්‍යයක පුහුණුවීම හා සමාන නෑ.ඒ වගේ ම පිටපතක් නෑ.කලාකරුවා නිදහසේ තමන්ගේ ප්‍රකාශනය කරනවා. ඒ වගේ ම කලාව යනු කුමක්ද? කියන ප්‍රශ්නයට පිළිතුර නොදැන අභිවාහ්‍ය කලාවට ප්‍රවේශ වන්නත් බැහැ.

• ගීතය, නාට්‍යය,නවකතාව. චිත්‍ර, මූර්ති වැනි කලාවන්ට අනන්‍ය වූ වෙන වෙන ම වස්තු විෂයයන් තිබෙනවා.එමෙන් ම ඒ සඳහා වෙන් වූ මාධ්‍යයන් ද තිබෙනවා. අභිවාහ්‍ය කලා සම්ප්‍රදායේ වස්තුවිෂය හා ප්‍රකාශන මාධ්‍යය පිළිබඳ ව විවරණයක් කළොත්?

මා උදාහරණයක් ලෙස බන්දු මනම්පේරි ගත්තොත් ඔහු ලොකු බාල්දියක ජලයට සබන් දමා පෙණ නඟින තුරු කලතවා පදික වේදිකාවේ සිටිමින් සබන්පෙන මුළු සිරුර පුරා දවටා ගන්නවා. එය නිරන්තරයෙන් සිදුකරනවා. ඊට ඔහු කියන්නේ බුබුළු මිනිසා කියලා. බලා සිටින පිරිසට ඇතැම් විට මෙය නොතේරෙන්න පුළුවන්.එහෙත් ප්‍රේක්ෂකයා යම් මැදිහත් වීමක් වෙනවා. පසුගිය අවුරුද්දේ ජේක් ඕලෝෆ් පදිකවේදිකාවේ මෙට්ටයක් දමාගෙන ඇතිරිල්ලක් පෙරවගෙන නිදා සිටිනවා. දැන් ප්‍රේක්ෂකයාට කුතුහලයක් ඇතිවෙනවා. මේ මොකද කරන්නේ? පිස්සුවක් ද? කියලා ඇතැමෙක් ප්‍රශ්න කරනවා. හොඳ කලාවක ලක්ෂණය තමයි අප මෙතෙක් ස්ථාපිත කරගෙන තිබෙන මතවාද ප්‍රශ්න කිරීම හා දෙදරුම් කැවීම. ලංකාවේ අනූව දශකයේ මුල් භාගයේ සිට දෙදහස පමණ වනතුරුත් වියුක්ත කලාව(අමුර්ත කලාව) පිළිබඳ ව මෙවැනි මතවාද තිබුණා. එහෙත් වියුක්ත කලාවෙනුත් මේ කියන දෙදරීම සිදු වුණා. සංකල්පීය කලාව තුළත් මෙය ම තිබුණා.අභිවාහ්‍ය කලාව මහජනයා ඉදිරියේ වගේ ම කලාගාරයකදීත් කළ හැකියි.

• ඔබ සඳහන් කරන ආකාරයට මෙය සාමාන්‍ය ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීම අපහසු කලාවක් බවයි හැඟෙන්නේ. නොතේරෙන කලාවකින් සමාජයට දිය හැකි වන්නේ කුමක්ද?

මෙවැනි අසාමාන්‍ය හා සම්මතය තුළ තේරුම් ගත නොහැකි වැඩක් කලාවක් වන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අප තේරුම් ගතයුතු යම් කියැවීමක් මේ හැමෙකක ම තිබෙනවා. සබන් පෙණවලින් මුළු ගත ම වසා සිටින බන්දු මනම්පේරි කියන්නේ මේ පෙණ බුබුළු තමන්ගේ කන් වසාගෙන බෝම්බ වගේ පුපුරා යන බවයි. ඔහු එක පැත්තකින් කියනවා මේ සමාජයේ දෙදරුම්කෑම් තමයි මේ ඇසෙන්නේ කියලා.අනෙක් පැත්තෙන් මොනවටද මේ ඔළුව සෝදන්නේ? මේ ප්‍රශ්න කිරීම ඔස්සේ වෙනම සමාජ දේශපාලනික කාරණා තුළට යන්නේ.

• ඒ වගේ ම මගේ කණ අසළ පිපිරෙන පෙණ බුබුළු මට බෝම්බ වගේ ඇසුණට අනෙකාට එසේ ඇසෙන්නේ නෑ?

බන්දු කියන අනෙක් කාරණය ඒක ම තමයි.මට ඇහෙන දේ ම ද අනෙක් අයට ඇහෙනවද?ඇහි ඇහිත් නෑසෙන සේ ඉන්නවාද?මේ මනුස්සයා මහපාරේ නාන්නේ ඇයි වගේ ප්‍රශ්න අපට පැන නඟිනවා. මෙය විකාරයක් නොවන්නේ කොහොමද?මේවා සිදුවන්නේ යම් කිසි කලා පසුබිමක් තුළ අධ්‍යයනය හා ලිඛිත පටිත සාහිත්‍ය තුළයි. මේවා සිතාමතා කරන දේවල්. ඒ වගේ ම අකමැත්තෙන් වුණත් කියන්න අවශ්‍යයි මෙය ආයතනගත ව්‍යුහයක් මඟින් කලාව ලෙස ස්ථාපිත කළ දෙයක් ලෙසි ඉදිරිපත් වන්නේ. එතන ප්‍රශ්නයක් තියනවා,ආයතනික ප්‍රවේශයක් නැතිව තනි පුද්ගලයකුට මෙය කළ නොහැකිද කියලත්. කෙසේ නමුත් මේ කලාව සමාජයට බල කර සිටිනවා මේ ප්‍රකාශ කරන වෙනස පිළිගන්න කියලා.

• ඔබ පවසන මේ වෙනස පිළිගන්නත් මේ කලාව මුලින් අවබෝධ විය යුතු නොවේද?

කලාව පවත්වාගෙන යන්නේ හා ඊට ප්‍රවිශ්ට වන්නේ බිම් මට්ටමින් එන දුප්පතුන් වුණත් කලාව පවතින්නේ එක්තරා වරප්‍රාදිත පන්තියක් තුළයි.කලාවට අනුග්‍රහය ලැබෙන්නේ ධනය බලය ශක්තිය තිබෙන පන්තියෙන්. විදේශවල පමණක් නෙවෙයි, ලංකාවේ කැලණි විහාරයේ වුණත් තත්ත්වය එයයි. යම් මට්ටමකට තෘප්ත වූ පිරිසකට පමණයි මේ පිළිබඳ දැනුම් ගවේෂණයක් කරන්න අවකාශය තිබෙන්නේ.එහෙත් කලාකරුවන් කවුරුත් කැමතියි සාමාන්‍ය ජනතාව මේ කලාව තේරුම් ගැනීමේ මට්ටමක සිටිනවානම්.එහෙත් එය සිදුකිරීම පහසු නෑ. අභිවාහ්‍ය කලාව කියන්නේ මට මා පිළිබඳ ව තේරුම් ගැනීමේ ක්‍රියාවලියක්.

Comments