සේකරගේ කෙටිකතාවක් යන දවසට පත්තර වැඩියෙන් විකිණෙනවා | Page 3 | සිළුමිණ

සේකරගේ කෙටිකතාවක් යන දවසට පත්තර වැඩියෙන් විකිණෙනවා

මහගම සේකරයන් ගේ කෙටිකතා කියවන මට එහි විශේෂ ලක්ෂණයක් ලෙස මතුපිටින් දිවෙන හාස්‍යෝත්පාදක රීතියක් පෙනෙන්න තිබෙනවා. ඔහු ජීවිතය දෙස එක්තරා විදියක සිනහවකින් බලන්නෙක්. එය මිනිසුන්ගේ කියුම් කෙරුම් අදහස් උදහස් පිළිබඳ ව සිනාමුසු ව බලන සද්ධර්ම රත්නාවලී කතුවර ධර්මසේන හිමියන්ගේ රීතිය හා සමපාතයි. ඒ වගේ ම අපට මතක් වෙනවා ප්‍රංසයේ කෙටිකතාකරු ගී ද මෝපසාන්. මක්නිසාද ඇතුළත ගැඹුරුයි, එහෙත් මතුපිට තිබෙන්නේ හාස්‍යයයි.

සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පරිස්සමින් පියවරෙන් පියවර අඩි තබමින් ක්‍රමික ව ආ ගමන් මගක් ඇති දැවැන්තයකු ලෙසයි, මා මහගම සේකරයන් දකින්නේ. ආරම්භයේදී කවිය, කවිය සමඟ ගීතය, තුංමංහන්දිය වැනි නවකතා ආදියෙන් පසුව තමයි ඔහු කෙටිකතාවට ප්‍රවේශ වන්නේ. ඔහුගේ කෙටිකතා රචනයේ විශේෂයක් මා දකිනවා. ඔහු කෙටිකතා රචනයේ අදහසක් තිබූවෙක් නොවෙයි. කෙටිකතා රචනයට ප්‍රවිෂ්ටයට පෙර සිට ම ඔහු මුළු රට ම පිළිගත් කලාකරුවෙක්. එවැනි කලාකරුවන් කිසිවිටෙකත් සියලු දේ කරමින් තමන්ට සියල්ල හැකි බවක් පෙන්වීමට උත්සාහ දරන්නේ නෑ. සේකරයනුත් තමන්ට මෙය කළ හැකිද යන්න පිළිබඳ ව කරුණු කාරණා කල්පනා කිරීමකින් අනතුරුව යි කෙටිකතා රචනයට යොමු වන්නේ.

කෙටිකතාවෙන් බැහැර ව නිදර්ශනයක් ගතහොත් ඔහු “නොමියෙමි” වැනි කාව්‍යයක් ලියා ප්‍රකාශයට පත් නොකර කාලයක් බලා සිටියා, මෙය සාමාන්‍ය පාඨකයාට තේරුම් ගැනීමට හැකි වේ දෝ කියන සැකයෙන්. සේකරයන් තුළින් මා දුටුවේ එවැනි ලක්ෂණයක්.

වර්ෂ 1971 කාලයේ මා ලේක්හවුස් ආයතනයේ “නවයුගය” සංස්කාරක වශයෙන් සිටින විට අපට අවශ්‍ය වුණා, නවයුගය නව මුහුණුවරකින් පළ කිරීමට. එහි අංගයක් ලෙස කෙටිකතා ආදිය ද නව්‍ය ආකාරයට පළ කිරීමට අප උත්සාහ කළා. සම්මත පුවත්පත් කෙටිකතාවෙන් ඔබ්බට ගොස් ගැඹුරු හරවත් කෙටිකතා පළ කරන්න අප කටයුතු කළා. ඒ අනුව අපි ජ්‍යෙෂ්ඨ ලේඛකයන්ට පුවත්පතට කෙටිකතා රචනා කරන මෙන් ආරාධනා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එතෙක් කෙටිකතා රචනා කර නැති දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, ආර් ආර් සමරකෝන්, ඩී. ඩී. කුරුප්පු වැන්නන් අපේ පුවත්පතට කෙටිකතා රචනා කරන්න පෙලඹුණා. ඒ අතර අප සේකරයන්ටත් ආරාධනා කළා. එවිට ඔහුගේ ප්‍රතිචාරය වූයේ “හැබෑට ම මට පුළුවන් වෙයි ද?” කියා යි. නවකතා, කවි , ගීත නිර්මාණය කළා නම් කෙටිකතා ලිවීම අපහසු නොවන බව මාත් එවකට අප සමඟ ම ලේක්හවුස් කතෘ මණ්ඩලයේ සේවය කළ ඒ. ඩී. රන්ජිත් කුමාරත් පැවසුවා. ඒ වන විටත් මහගම සේකරයන් අප දෙදෙනාගේ ම සමීප මිතුරෙක්. පසුව රන්ජිත් නිරන්තරයෙන් ම ඔහුට කතා කරමින් මේ පිළිබඳ ව මතක් කළා. ඒ අනුව තමයි මහගම සේකරයන්ගේ ප්‍රථම කෙටිකතාව අප වෙත ලැබෙන්නේ.

ඔහු අප වෙත එවන පළමු කෙටිකතාව “පීතර”. පීතර කියන්නේ කාර්යාලයක සෙවය කරන අහිංසක සුළු සේවක මහත්තයෙක්. ඒ පුද්ගලයා කේන්ද්‍ර කරගත් ඔහු වටා ගෙතුණු ඔහුට ම ආවේණික ස්වරූපයක් හා සිද්ධි පිළිබඳ ව එක්තරා ආකාරයක ගැඹුරු චරිත නිරූපණයක් සහිත ව යි මේ කෙටිකතාව නිර්මාණය වන්නේ. එහෙත් මෙහි මතුපිටින් හාස්‍ය මුසු බවකි දක්නට ලැබුණේ. ඔහුගේ සියලු කලා නිර්මාණවලින් මනුෂ්‍යත්වය පිළිබඳ සියුම් විවරණයක් සිදු වුණා. පීතර කෙටිකතාවේත් ඒ ලක්ෂණය දක්නට ලැබුණා. පීතර කියන සුළු සේවකයා කෙරෙහි ඔහු දැඩි මානව දයාවකින් බලමින් ඔහුගේ ගති පැවතුම් සහ වෙනත් අය සමඟ තිබූ සම්බන්ධතා මනාව විග්‍රහ කර තිබුණා. මේ කෙටිකතාව පුවත්පතක පළ කළහැකි ප්‍රමාණයට වඩා දිගු වූවක් වුණ නිසා අප එය කොටස් දෙකකට පළ කළා.

ඉන් පසුව ඔහු නවයුගයට රචනා කළේ “පුතාට කාර් එකක්” කියන කෙටිකතාව සහ “මං තනන්නෝ” කියන කෙටිකතාවයි. මීට අමතරව තවත් කෙටිකතා දෙකක් සිළුමිණ පුවත්පතේ පළ වුණා. ඒ “පුඤ්ඤා” සහ “මීයා” කියන කෙටිකතා දෙකයි. මහගම සේකරයන්ගේ කෙටිකතා ලෙස හඳුන්වන්න පුළුවන් මේ කෙටිකතා පහ පමණයි.

පසුකාලීනව මේ කෙටිකතා එකතු කළ සේකරයන්ට ආදරය කළ රසිකයකු වන මහවැව ජිනසේන මහතා සේකරයන්ගේ අභාවයෙන් පසු කෘතියක් ලෙස මේ කෙටිකතා පහ පළ කළා. ජිනසේන මහතා සේකරයන්ට තිබූ ඇල්ම නිසා ම යි ඒ කෘතිය පළ කරන්නේ. ඔහු මා සමඟත් නිතර කතා කරමින් නවයුගයේ සහ සිළුමිණෙහි පළවූ මේ කෙටිකතා කෘතියක් ලෙස පළකිරීමට අවශ්‍ය අවසරය ලබා ගත්තා. ඒ වගේ ම මා ඒ කෘතියේ දීර්ඝ ප්‍රස්තාවනාවකුත් ලියා තිබෙනවා. ඒ. ඩී. රන්ජිත් කුමාර ලවා පිටකවරයක් නිර්මාණය කරගන්නත් මහවැව ජිනසේනයන් කටයුතු කළා. මේ සිදුවීම විශේෂිත සිදුවීමක් ලෙසයි මා දකින්නේ. මක්නිසාද කිසියම් පාඨකයෙක් තමන් රුචිකරන නිර්මාණකරුවාගේ නිර්මාණ එකතු කර මෙවැනි කෘතියක් නිර්මාණය කිරීමක් පිළිබඳ ව අපට මීට පෙර අත්දැකීම් නැහැ. ඒ වගේ ම මේ පාඨකයා සේකරයන් සමඟ පෞද්ගලික සම්බන්ධතාවක් තිබූ කෙනකු නොවීමත් විශේෂයි.

මහගම සේකරයන් ගේ කෙටිකතා කියවන මට එහි විශේෂ ලක්ෂණයක් ලෙස මතුපිටින් දිවෙන හාස්‍යෝත්පාදක රීතියක් පෙනෙන්න තිබෙනවා. ඔහු ජීවිතය දෙස එක්තරා විදියක සිනහවකින් බලන්නෙක්.

එය මිනිසුන්ගේ කියුම් කෙරුම් අදහස් උදහස් පිළිබඳ ව සිනාමුසු ව බලන සද්ධර්ම රත්නාවලී කතුවර ධර්මසේන හිමියන්ගේ රීතිය හා සමපාතයි. ඒ වගේ ම අපට මතක් වෙනවා ප්‍රංසයේ කෙටිකතාකරු ගී ද මෝපසාන්. මක්නිසාද ඇතුළත ගැඹුරුයි, එහෙත් මතුපිට තිබෙන්නේ හාස්‍යයයි.

මතුපිට හාස්‍ය මිශ්‍ර ව රසවිඳලා ගැඹුරට කල්පනා කිරීමට හැකි ආකාරයක් මහගම සේකරයන්ගේ කෙටිකතාවල තිබෙනවා. ඒ වගේ ම මේවා ඉතා කෙටියෙන් රචනාවී තිබෙනවා. මේ කෙටිකතා පළ කිරීමේදීත් කියැවීමේදීත් මට හැඟී යන්නේ මේවා ඉන්දියනු වංග කෙටිකතා කලාව සමඟ යම් සමාන බවක් තිබෙන බවයි. එයින් මහගම සේකරයන් ඉන්දියානු කෙටිකතා අනුකාරකයෙක් යැයි කියවෙන්නේ නෑ. වංග කෙටිකතාත් කතාව කෙටියි. එහෙත් ගැඹුරුයි. මෙසේ ම කුඩා කතාවලින් ගැඹුරු අර්ථ මතු කරගැනීමට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයනුත් උත්සාහ කළා. මේ දෙදෙනාගේ ම සමාන බවකුත් තිබෙනවා. මා සිතන්නේ සේකරයන් මෙන් ම මානවසිංහයනුත් කවීන් වීම නිසා මේ සුවිශේෂත්වය විද්‍යමාන වන බවයි. මක්නිසාද කවියේ සාමාන්‍ය සිද්ධාන්තයේ ම තිබෙන්නේ “මඳක් කියා රැසක් හඟවනු කව් නම්” යනුවෙන්. ටිකක් කියා ගොඩක් හැඟවීමේ ඒ හුරුව ම ඔහුට පිහිටා තිබෙන බවයි පෙනෙන්න තිබෙන්නේ.

සේකරයන්ගේ පීතර කෙටිකතාව කාර්යාලයක සුළු සේවකයකු පිළිබඳ ව ලියූවක් බව කලින් සඳහන් කළා. සේකරයන් ගේ මේ චරිත විග්‍රහය වැනි, චරිත විග්‍රහ විශ්ව සාහිත්‍යයේත් අපට දක්නට ලැබෙනවා. ඇන්ටන් චෙකොෆ්ගේ කිවිසුම වැනි කෙටිකතාවක මෙවැනි මට්ටමේ කාර්යාල සේවකයකු හමු වෙඅනවා. එහෙත් සේකරයන් එවැනි කෘති ඇසුරින් නිර්මාණකරණයේ යෙදුණු නිර්මාණකරුවකු නොවේ. මා එය මතු කරන්නේ ලෝකයේ කොතනත් සිටින සාමාන්‍ය මිනිසා සේකරයන් ද විෂය කරගෙන තිබෙන බවයි.

එමෙන් ම “පුතාට කාර් එකක්” කෙටිකතාවේ තිබෙන්නේ කුඩා දරුවකුට සෙල්ලම් බඩුවක් ලබාදීමට පියකු දරන උත්සාහයක් පිළිබඳ ව සානුකම්පිත දෘෂ්ටියකින් ඒ පියා සහ පවුලේ අය දෙස බැලීමක්. “මං තනන්නෝ” කෙටිකතාවේ තිබෙන්නේ පාර හදන මිනිසුන් පිළිබඳ ව යි. පාර හදන මිනිසුන් අව්වේ වේළෙමින් දාදිය වගුරමින් පයට සෙරෙප්පු කෑල්ලක්වත් නොමැති ව වැඩ කරනවා. ඒක බලන්නට එක්තරා පියෙක් තමන්ගේ දරුවා ද කැටුව යෑමට සූදානම් වෙනවා. එවිට දරුවාගේ මව, දරුවා ඒ ආකාරයෙන් යැවීමට කැමති වන්නේ නෑ. ඇයට අවශ්‍ය වන්නේ දරුවාට හොඳින් අන්දවා සපත්තු දමා යැවීමටයි. එහි තිබෙනවා තියුණු උපහාසයක්. එක්තරා ආකාරයකට මානසික වශයෙන් සර්වපිත්තල ලෝකවල සිටින අය සහ සැබැවින් ම කය වෙහෙසා වැඩ කරන මිනිසුන් අතර ඇති අභ්‍යන්තර ඝට්ටනය මේ කෙටිකතාවෙන් නිරූපණය වෙනවා.

සිළුමිණ පුවත්පතෙහි පළ වූ “පුඤ්ඤා” කෙටිකතාව ගැඹුරු ධර්ම පණිවිඩ ගෙන ‍ෙදන්නක්. ඒ කාන්තාවගේ හැසිරීම, මූලික සිදුවීම් ආදිය අපට සිහිකරන්නේ බුද්ධකාලීන සමාජයේ තෙරණියන්ගේ උදාන හා තොරතුරු ඇතුළත් ථෙරි ගී ආදී ධර්ම සාහිත්‍යයයි. වටිනාකමක් හෝ වැදගත්කමක් නැති වස්තුවක් පිළිබඳ ව වුවත් මිනිසුන්ගේ හැසිරීම් රටාව පිළිබඳ ව වුවත් ඔහුගේ අවධානය යොමුවී තිබෙනවා. මේ එක කෙටිකතාවක්වත් වත්මන් ඇතැම් කෙටිකතා මෙන් ප්‍රේමය මුල් කරගත් කතා නොවෙයි. ඔහු තැනකවත් ප්‍රේමය පටලවා ගන්නේ නෑ. තුන්කොන් ආදරය හෝ ප්‍රේම ත්‍රිකෝණවලින් බාහිර ව කෙටිකතාවකට විෂයය වන කාරණා කොතරම් තිබෙනවාද යන්න මහගම සේකරයන්ගේ කෙටිකතා පහ අධ්‍යයනය කිරීමෙන් හැඟෙනවා.

මහගම සේකරයන්ගේ කෙටිකතාවල මතුපිට තිබෙන අරුතට එහා ගිය ගැඹුරු අරුත් මනෝ විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක ආදී විග්‍රහ වශයෙන් මිනිසුන්ගේ මනස හා සමාජ සත්ත්වයා වෙසෙන සමාජය ඇසුරින් විග්‍රහ කළ හැකියි. එය ගැඹුරින් හැදෑරිය යුතු කරුණක්. එමෙන් ම මහගම සේකරයන් එවකට කෙටිකතා රචනා කළ වෙනත් ලේඛකයන්ට සාපේක්ෂ ව ස්වාධීන රටාවකට රචනා කළ බවක් දක්නට ලැබෙනවා. සමහර ලේඛකයන්ගේ ආරම්භක කෙටිකතාකරණ අවදිය බොහෝවිට රුසියන් කෙටිකතා, ප්‍රංස කෙටිකතා ඇසුරින් පෝෂණය වූ බව හැඟෙනවා. ඒ වගේ ම කෘති වශයෙන් කෙටිකතා රචනා කළ අය කෆ්කාගේ කෙටිකතා රීති යොදාගෙන තිබෙනවා. එහෙත් මහගම සේකරයන් තමන්ට ම ආවේණික වූ ස්වාධීන ශෛලියක් භාවිතා කර තිබෙනවා. අපට ඔහුගේ කෙටිකතා බටහිර කෙටිකතා සමඟ සසඳන්න බැහැ.

ඔහුගේ කවිත්වය තුළ තිබෙන ගැඹුරු හාස්‍යය සමඟ ආ ඔහුට ම ආවේණික ශෛලියක් තමයි අපට දකින්න ලැබෙන්නේ. ඔහු සමාජයේ බොහෝ දේවල් පිළිබඳ ව යටි සිතින් සිනාසී තිබෙනවා. ඔහුගේ කෙටිකතා තුළ එය මනාව දක්නට ලැබෙනවා. බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ කලාකරුවාට කාගේවත් රීති උකහා ගැනීම අවශ්‍ය වුණේ නෑ. ඔහු ඔහුගේ ම ස්වාධීන රචනාවක් බිහි කළා. එයයි කෙටිකතාවේ සේකර ලකුණ ලෙස අපට පෙනෙන්නේ. ඒ වගේ ම සේකර වැන්නන්ගේ කෙටිකතා පුවත්පතෙහි පළ වනවිට වෙනත් පාඨකයන්ගෙන් පුවත්පතට ලැබෙන කෙටිකතා නිතර ම උසස් තත්වයේ ඒවා වෙනවා. දුර්වල කෙටිකතා පළ වුවහොත් පාඨකයාගෙන් ලැබෙන්නේත් දුර්වල කෙටිකතායි. ඊට හේතුව අලුතින් ලියන අයට අවශ්‍ය වන්නේ තමන්ගේ කෙටිකතාව පළ කරගැනීමයි. එවිට ඔවුන් තමන් රචනා කළ යුත්තේ කෙබඳු කෙටිකතා ද යන්න තීරණය කරන්නේ පුවත්පතෙහි පළවන කෙටිකතා පිරික්සීමෙන්. හොඳ කෙටිකතා පළවන විට නිරන්තරයෙන් නවකයන් හොඳ කෙටිකතා එවීමට පටන් ගන්නවා. මේ ආකාරයට අපි උපක්‍රමශීලී ව හොඳ කෙටිකතා පමණක් පළ කිරීමෙන් උසස් කෙටිකතා රචනා කරන නවක ලේඛක පිරිසක් බිහි වුණා. මේ කාරණයේදී මහගම සේකරයන්ගේ කෙටිකතා ඊට තදින් ම බලපෑවා. ඒ යුගයේ සේකරයන්ගේ කෙටිකතාවක් පුවත්පතෙහි පළ වන විට අපි ඒ පිළිබඳ ව දන්වා පෝස්ටර් ගැහුවා. පුවත්පත් ඒජන්තවරු පුවත්පත් විකුණන තැන්වල ඒ පෝස්ටර් ප්‍රදර්ශනය කළා. එවිට පුවත්පත්වල අලෙවියත් වැඩි වුණා. ඒ තරම් සේකරයන් පිළිබඳ සමාජයේ ගෞරවයක් තිබුණා.

ඒ වගේම උසස් කෙටිකතා කියවන්න පමණක් නොවෙයි, උසස් කෙටිකතා රචනා කරන්නත් ලේඛක පිරිසක් එයින් ම බිහි වුණා. ඇරැව්වල නන්දිමිත්‍ර, සුමිත්‍රා රාහුබද්ධ, මහින්ද භද්‍රජී ජයතිලක වැන්නන් රටට මතුවන්නේ මේ උසස් කෙටිකතා සමාජගත වීමත් සමඟයි. ඒ අනුව සේකරයන්ගේ කෙටිකතා කලාව සාහිත්‍යයට පමණක් නොවෙයි ඊළඟ ලේඛක පරපුරටත් බලපෑමක් සිදු කළා.

මහගම සේකරයන් ජීවතුන් අතර සිටියා නම් තව තවත් උසස් කෙටිකතා බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වීමටත් ඒ මඟින් අපේ කෙටිකතා කලාව පෝෂණය කරන්නත් ඉඩ තිබුණා. එහෙත් ඉතා අඩු වයසකින් එතුමා අපෙන් සමුගත් නිසා ඒ සේවාව අපට ලබන්නට නොහැකි වුණා. එහෙත් ඒ ඉතා කෙටි කාලසීමාව තුළ වුවත් ඔහුගෙන් විශාල සේවයක් අපේ කලාවට සිදුවුණා. චිත්‍ර ශිල්පියකු ලෙස, කවියකු ලෙස, ගීත නිබන්ධකයකු ලෙස, නවකතාකරුවකු ලෙස මෙන් ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස අපට ඔහු හමුවෙනවා. ඔහුගේ මේ කෙටිකතා සියල්ල නිර්මාණය වෙන්නේ 1971 වර්ෂය තුළයි. විශේෂයෙන් ම ලේක්හවුස් ආයතනයේ නවයුගය හා සිළුමිණ පුවත්පත් මෙවැනි දැවැන්ත කලාකරුවකු කෙටිකතාකරුවකු ලෙසත් ලෝකයට හඳුන්වා දීම පිළිබඳ ව අපේ ගෞරවය හිමි විය යුතුයි.

Comments