සිංඥෝ සහ පුත්‍රයෝ | Page 3 | සිළුමිණ

සිංඥෝ සහ පුත්‍රයෝ

 ආදුරුප්පු වීදීයේ පේදිරික් සිංඥෝ පාන් සෑදීමට ඉගෙන ගත්තේ පෘතුගීසිකාරයන් ගෙනි. පරංගි හමුදාව සඳහා පාන් සෑදීමේ ව්‍යාපාරයෙන් හෙතෙම විශාල ධනයක් උපයා ගත්තේය. ඔහුගෙන් පසුව ඔහුගේ එකම පුත්‍රයා වූ ෆ්රැන්සිස්ට ව්‍යාපාරයේ අයිතිය හිමි වූ නමුත් ඉන් ටික කලකට පසුව පරංගින් එළවා දමා ලන්දේසීකාරයන් විසින් දූපතේ පාලනය බාර ගන්නා ලදී. එතැන් සිට ෆ්රැන්සිස් ළන්දේසී හමුදාවට පාන් සැපයූ අතර එයින් තම පියාටත් වඩා ඉහළ ආදායමක් උපයා ගැනීමට ඔහු සමත්විය. ලන්දේසීන් පන්නා දමා ඉංග්‍රීසිකාරයන් දූපතේ පාලනය අත්පත් කර ගන්නා විට ෆ්රැන්සිස්ගේ පුත්‍රයා වූ හෙන්රි විසින් පාන් ව්‍යාපාරය පවත්වා ගෙන යමින් සිටින ලදුව ඉංග්‍රීසී ආණ්ඩුව ද පාන් සඳහා ඔහු සමඟ ගිවිසුමකට එළඹෙමින් විශාල අනුග්‍රහයක් දුන්නේය. තම සීයාටත් පියාටත් යන දෙදෙනාට ම වඩා සරුසාරව පාන් ව්‍යාපාරය පවත්වා ගෙන ගිය හෙන්රි ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදී අති මහත් ධනයක් උපයා ගත්තේය.

තොලමිගේ දූපතේ පාලනය ස්වදේශීනට පවරා දී ඉංග්‍රිසින් ඉන් නික්ම යනවිට හෙන්රිගේ පුත්‍රයා වූ කැමිලස් පාන් ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිටි අතර තව දුරටත් තම ව්‍යාපාරය පවත්වා ගෙන යා හැකිවේද නො එසේ නම් දූපතෙන් නික්ම ඉංග්‍රීසින් සමඟ ම එංගලන්තයට යා යුතුද යන අතීරණය ඔහු තුළ බලවත් වෙමින් තිබුණේ ය. ඒ සඳහා ඉතාම සාධාරණ හේතු දිනෙන් දින ඉස්මතු විය. පාන් සෑදීම සඳහා අත්‍යවශ්‍ය තිරිඟු පිටි විදේශ රටකින් ගෙන්වා ගත යුතුය. මෙතෙක් ඒ කටයුත්ත කරන ලද්දේ ඉංග්‍රීසි ආණ්ඩුව විසිනි.

පාන් නිෂ්පාදනයෙන් සියයට 90 ක් ම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මිලට ගන්නා ලද අතර ඉතිරි සියයට 10 අගනුවර ජීවත් වූ ඉංග්‍රීසි පන්නෙට කෑම් බීම් සිදුකළ ප්‍රභූ පවුල් සඳහා වෙන්විය. ඒ මිස බහුතර ස්වදේශීය දූපත්වාසීන් පාන් ආහාරයට නොගත් අතර පාන් බනිස් බිස්කට් කේක් ආදී බේකරි නිෂ්පාදන වනාහී ධනවත් නාගරික ප්‍රභූන් සඳහා ම සීමා වූ වරප්‍රසාද ලත් ආහාරයක් යැයි ඔවුහු සිතුවෝය. එසේ කෑම්බීම් කළ ප්‍රභූන් තුළ 'ඩයබෙටිස් ' නම් අමුතු රෝගයක් තිබූ අතර ඒ රෝගය පවා නම්බුකාර එකක් ලෙසට දූපත් මතය ගොඩනැගී තිබිණ. මෙසේ තිබියදී තිරිඟු පිටි බේකරි කර්මාන්තයට අනාගතයක් තිබේ දැයි දස අතේ කල්පනා කළ කැමිලස් සිය ව්‍යාපාරය ද රැගෙන ඉංග්‍රීසින් සමඟ ම එංගලන්තයට යා යුතු යැයි තීරණය කෙළේය.

මේ ආරංචිය සැලවීමත් සමඟ ම අගනුවර ඉංග්‍රීසී පන්නෙට කෑම් බීම් කළ ස්වදේශීය ප්‍රභූ නෝනාවරු අතිශය කැලඹීමට පත්වූහ. ඔවුහු ආණ්ඩුවේ උසස් නිලතල දැරූ තම ස්වාමි පුරුෂයන් වෙත බලපෑම් කළ අතර එය කෙතරම් උග්‍ර වීද යත් අග්‍රාණ්ඩුකාරවරයාට පවා තම බිරිඳ වෙතින් එන පීඩනය දරාගත නොහැකි විය. එහෙත් ඒ කිසිදු උසස් නිලධරයකු සතුව කැමිලස්ගේ තීරණය වෙනස් කළ හැකි තරම් බලයක් හෝ සැලසුමක් හෝ නොතිබිණ.

කෙසේ නමුත් තොලමිගේ දූපතේ ඉතිහාසයේ ප්‍රථම වරට අගනුවර උසස් බවලත් සංගමය බිහිවීමට මේ සිද්ධිය හේතු වූ අතර කැමිලස්ගේ බිරිඳ එහි ගරු සාමාජිකාවක ලෙස බඳවා ගැනීමට තරම් උපායශීලී වූ අගනුවර නෝනාවරු ඉතා වේගයෙන් තමන්ටම ආවේණික වූ සැලසුමකට අනුව ක්‍රියාකාරී වූහ.

එහෙයින් බේකරිය වසා දමා එංගලන්තයට යෑමේ තීරණය වෙනස් කරන ලෙසට කැමිලස්ට තම බිරිඳ වෙතින් එල්ල වූයේ බලවත් පීඩනයකි. අවසානයේදී කැමිලස් සහ අගනුවර උසස් බවලත් සංගමයේ සාමාජිකාවන් අතර හමුවක් පිළියෙළ කෙරිණ.

සුද්දෝ තොලමිගේ දූපතින් නික්ම ගියත් ආණ්ඩුව ලවා දිගටම තිරිඟු පිටි ගෙන්වා දෙන බවට එහිදී අගනුවර බවලත්හු පොරොන්දු වූහ. එහෙත් තම තීරණය වෙනස් කිරීමට ඒ පොරොන්දුව පමණක් ප්‍රමාණවත් නැති බව කී කැමිලස් ; තව දුරටත් බවලතුන් මැද තර්ක කෙළේය.

'.. මගේ පාන්වලින් සියයට අනූවක් මිලට ගත්තේ ඉංග්‍රීසි ආණ්ඩුව දැං මං ඒවා විකුණන්නේ කාටද ?' යැයි ඔහු ප්‍රශ්න කෙළේය.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අගනුවර බවලතුන් මීට පෙර දීර්ඝව කරුණු සාකච්ඡා කොට තිබුණා පමණක් නොව ඒ සඳහා සැලැස්මක් ද ඔවුන් සතුව තිබිණ. ඒ මෙසේ විය.

තොලමිගේ දූපතේ ආරම්භයේ සිටම ප්‍රභූන්ට පමණක් සීමා වූ සුපිරි ආහාරයක් වී තිබුණු පාන් මෙතැන් සිට ස්වදේශීය වැසියන්ට ද පරිභෝජනය කළ හැකි ලෙස සිල්ලර වෙළෙඳසල් හරහා ගම් නියම්ගම් දක්වා බෙදා හරිනු ලැබේ. එයින් දූපත්වාසීන් තමන්ට ද සමතැන ලැබුණා යැයි සතුටින් අභිනව ස්වදේශීය පාලකයන් වෙත ස්තූති ප්‍රශංසා කරනු ඇත. ඒ සියල්ලටමත් වඩා කැමිලස්ට ඉතා පහසුවෙන් තම නිෂ්පාදන අලෙවි කැර ගත හැකි වෙයි.

එහෙත් කැමිලස් සහ අගනුවර බවලතුන් අතරට පමණක් සීමා වූ රහසක් මෙහි සැඟැවීණ. ඒ අනුව අගනුවර බවලතුන් වෙනුවෙන් ම පෙර ලෙස ම සුදු පාන් සුළු ප්‍රතිශතයක් නිෂ්පාදනය වූ අතර දූපත්වාසීන් අතර බෙදා හැරියේ එතරම් පිරිපහදු නොකරන ලද කළු පාන් ය. මේ අලුත් වැඩ පිළිවෙළ අනුව තොලමිගේ දූපතේ පාන් නිෂ්පාදන ඉතිහාසයේ 4 වැනි පරම්පරාව නියෝජනය කරමින් සිටි කැමිලස් තම පරම්පරාවේ කිසිවකුටත් කිසිදා උපයා සපයා නොගත හැකි තරම් අති මහත් ධනස්කන්දයක් ඉතා කෙටි කලකින් උපයා සපයා ගත්තා පමණක් නොව රාජ්‍ය සම්මානයක් ද හිමිකර ගත්තේ ය.

ඊ ළඟ වසරේදී ඔහු උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ගරු නියෝජිතයකු ලෙස පත්වූයේ අග්‍රාණ්ඩුකාරවරයාගේ අති විශේෂ අක්ත පත්‍රයක විධාන ලබමිනි. කැමිලස් මේ සියලු ලාබ සත්කාර එක්විටම භුක්ති විඳීමේ භාග්‍ය ලැබුවේ ස්ත්‍රී මොළයක් නිසා බව සත්‍යයකි. එහෙත් ඔහු කිසි විටෙක ඒ බැව් පිළිගත්තේ නැත.

කැමිලස්ගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වූ ලයනල් ද ලයනල් ගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වූ ඩොනල්ඩ් ද ඩොනල්ඩ්ගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වූ සිඩ්නි ද පිළිවෙළින් 'සිංඥෝ සහ පුත්‍රයෝ' සමාගමේ අධිපතිත්වයට මෙන් ම උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ගරු නියෝජිතයන් බවටද නිතරගයෙන් පත් වූහ. 7 වැන්නා වූ සිඩ්නිට පුත්‍රයකු නොසිටි හෙයින් පරම්පරා උරුමය එතැනින් අවසන් වනු ඇතැයි බොහෝ දෙනා සිතුවෝය. අනෙක් අතට ඔහු විවාහ වී සිටියේ ද විදේශ සම්භවයක් සහිත කව්සල්යා නම් ස්ලොවෙනියානු රූමතියක සමඟ ය.

සිඩ්නි මියගොස් දින 7 ක් ඇතුළත 'සිංඥෝ සහ පුත්‍රයෝ' සමාගමේ අධිපතිනිය ලෙස කව්සල්යා නිතරගයෙන් පත් වූ අතර ඒ සමඟ ම ඇය උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ගරු නියෝජිතවරියක ලෙස ද පත් කෙරිණ.

මේ සිද්ධියෙන් පසුව දිනක් දූපත්වාසීන් දෙදෙනකු අතර සංවාදයක් හට ගත්තේ ය.

' මං හිතුවේ සිඩ්නි මළහම සැනේට් ඒජන්ත නිලේ වෙන කාට හරි යාවී කියලයි. බලාගෙන යද්දී මේක පරම්පරාවට ම මුල් ඇදලනේ ... වෙන රටක උපන් එකියක් වුණත් සිඩ්නිගේ ගෑනී හින්දා කෙළින්ම කවුන්සිලේ ..'

'නෑ නෑ ඔතන තියෙන්නේ වෙන කතාවක් .. ඔය සැනේට් එකේ ඒජන්ත නිලේ අයිතිය තියෙන්නේ කාටවත් නෙවෙයි 'සිංඥෝ සහ පුත්‍රයෝ' කොම්පැනියට... '

 

Comments