බෞද්ධ දර්ශනයෙන් මතු කරගත් හිත් හදන දේශපාලනය | Page 12 | සිළුමිණ

බෞද්ධ දර්ශනයෙන් මතු කරගත් හිත් හදන දේශපාලනය

 ශිෂ්ටසම්පන්න ජන සමාජයක් සඳහා යහපාලන සංකල්පය ප්‍රායෝගික තලයට රැගෙන ඒම හා එය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. 2015 ජනවාරි 8 වැනිදා සිදු වූ දේශපාලන පෙරළියට පසුව යහපාලනය අලුත් සංකල්පයක් ලෙස ද කතාබහට ලක්විණි. එහෙත් යහපාලනය යනු මෙරට සංස්කෘතියෙන් සම්ප්‍රදායෙන් හැඩ ගැන්වී ඉතිහාසයේ සිට ගලා එන සංකල්පයක් වේ. මෙහි ඇති බෞද්ධ මුහුණුවර අත්හළ නොහැකි සත්‍යයකිිි.

යහපාලන සංකල්පය බුදු දහමේ විග්‍රහ වන ආකාරය පිළබඳ Buddhist ideals of good governance කෘතියේ රචක ප්‍රංසයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් දින කමිටුවේ ජේෂ්ඨ උපසභාපති තම්පලාවෙල ධර්මරතන හිමි සමඟ මේ ගැන කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙය සැකසිණි.

නූතන ශ්‍රී ලාංකීය දේශපාලනයේ කතාබහට ලක්වන වදන් අතර 'යහපාලනය' ප්‍රධාන වදනකි. ලෝකය දෙස බැලුව ද විවිධ සංවිධාන, රාජ්‍ය නායකයන් මේ සම්බන්ධයෙන් ගැඹුරු සහ පුළුල් අයුරින් සාකච්ඡා කරනු දක්නට ලැබේ. කොතරම් කතාබහට ලක්වුව ද යහපාලන සංකල්පය මෙරට ජනතාවට අපැහැදිලි බව ඔවුන්ගේ හැසිරීම් සහ අදහස් නිරීක්ෂණය කරන විට පෙනී යයි.

එක් අතකින් මෙය ලෝකයට කොහෙත් ම ආගන්තුක දෙයක් නො වේ; මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමඟ ම ඇති වී සංවර්ධනය වුණු සංකල්පයකි‍. ඒ කෙසේදයත් මානව ශිෂ්ටාචාරය ආරම්භ වූ පසු ව මිනිසාගේ මූලික ස්වරූපයන් නිසා මිනිසුන් අතර ප්‍රශ්න රැසක් පැන නැගිණි.

මෙවැනි ගැටුම්, වාද විවාද, දුරාචාර, අයහපත් පාලන ක්‍රම, නී‍තියේ ආධිපත්‍ය බිඳ වැටීම ආදී දේ නිසා යහපත් සමාජයක් ඇති කිරීමට බාධා ඇති විය. ඒ නිසා යහපත් සමාජයක් ඇති කිරීම සඳහා සාමකාමී, ශිෂ්ටාචාරයක් ගොඩනැගීමේ පදනම මිනිසුන් තුළින්ම පැන නැගිණි‍. ඒ අනුව යහපාලන සංකල්පයේ මූලික බීජය ජනතාවගේ ම අභ්‍යන්තරයේ හට ගැනී වැඩෙන්නට විණි.

මෑත කාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ සංවිධාන රැසක් යහපාලනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ඒ අනුව යහපාලනය යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය අංග ගණනාවක් ගැන ඔවුහු කතා කරති.

යම් පාලනයක් සාර්ථක කරගැනීමට නම් ජනතාවගේ සහභාගිත්වය අවශ්‍ය වේ. ලෝකයේ බොහෝ රටවල් ජනතාවගේ හඬට සවන්දෙන්නේ නැත. එසේ නොවී නියමිත කාලයට ඡන්ද පැවැත්වීම පවා කළ යුතු ය. ඒ තුළින් ජනතා‍වගේ විශ්වාසය තහවුරු වේ.

එසේ ම ජනතාව සහ ආණ්ඩුව අතර තිබෙන එකඟතාවක් තුළින් කටයුතු කිරීම ද වැදගත් වේ. සෑම දෙයක් ම රහසිගතව ‍නො තබා‍ විනිවිදභාවයෙන් යුතු ව කටයුතු කළ යුතු ය.

ජනතාව වෙනුවෙන් පැහැදිලි නිරවුල් තීරණ ඉදිරිපත් කිරීම ද වැදගත් වන අතර, සෑම පුද්ගලයකු ම සමාජයේ වගකිව යුතු අය බවට පත්කළ යුතු ය. එසේ සෑම පුද්ගලයකු ම වගකීමෙන් වැඩ කළ විට සමාජය වැරදි දිශාවට යොමු නො වේ.

සමාජය භේද භින්න නො කර පවත්වා ගැනීම ද යහපාලනයට ඉතා වැදගත් ය.

ඒ අනුව ස්ත්‍රී-පුරුෂ, දුප්පත්-පොහොසත්, කුල, පන්ති ආදී ලෙස බෙදීමකින් තොර ව, සමාජ විෂමතාවකින් තොර ව මිනිසුන්ට සේවය කළ යුතු වීම ද වැදගත් ය. අල්ලස, දූෂණයෙන් තොර සමාජයක් බිහි කිරීම ද යහපාලනයේ වැදගත් ලක්ෂණයක් ලෙස හැඳින්වේ.

සියල්ල සලකන විට බුදු දහමට මේ කරුණු කිසිවක් අලුත් ඒවා නො වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද කතා කරන හැම කරුණක් ම බුදු රජාණන් වහන්සේ එදා පසේනදී කෝසල, බිම්බිසාර ආදි රජවරුන්‍ට පැහැදිලි කර දුන්හ.

බුදු දහම අධ්‍යයනය කරන විට බුදු රජ­ාණන් වහන්සේ තරම් යහපාලනය ගැන කතා කළ ශාස්තෘවරයෙක් ලෝක ඉතිහාසයේ පහළ වී නැත. ඒ සඳහා බලපෑ කරුණු තිබිණි. පළමු ව බුදුරජාණන් වහන්සේ ගිහි අවදියේදී රජ කුමාරයකු වශයෙන් සිට සමාජයේ විෂමතාව පිළිබඳ අවබෝධයක් ලබා තිබීම. දෙවැන්න බුද්ධත්වයට පත්වීමෙන් පසු ව සමාජයේ පැවැති පාලන තන්ත්‍රවලින් සිදුවුණු හිංසා පීඩා පිළිබඳ අවබෝධයක් ලබා තිබීම වැනි කරුණු බලපාන්නට ඇත.

විශේෂයෙන් ම කූටදත්ත සූත්‍රයේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කෙරේ. ඒ අනුව ජනතාවට බර පැටවීම, බදු ඉහළ දැමීම, මිනිසුන්ට සමාජ අසාධාරණ විිඳින්නට හැරීම මිනිසුන්ට සහන නො දීම, වැනි

කරුණු මගින් සමාජය තුළ නොයෙක් ආකාරයේ විරෝධතා, කලකෝලාහල, විප්ලව, ආදිය සිදු වේ. මේ නිසා බුදු හාමුදුරුවන් එකල සිටි පාලකයන්ට රට පාලනයේ දී ජනතාව පිළිබඳ සානුකම්පිතව බලා කටයුතු කිරීමට කියා තිබේ. ඒ සමඟ ම, ඔවුන්ට ජීවත්වීමේ ක්‍රම සැලසීම, ඒ අයගේ විශ්වාසය තහවු‍රු කිරීම ජනතාව රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ කර ගැනීම ඔවුන්ගේ අදහස්වලට ගරු කිරීම කළ යුතු බව කියා තිබේ.

මේ දේශනාව නිසා බුදුරජණන් වහන්සේගේ යුගයේදී සමහර රජවරුන් තුළ පැවැති ඒකාධිපති ස්වරූපයෙන් ඔවුන් ඉවත් කර ‍යහමඟට ගැනීමට හැකියාව ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මනා රාජ්‍ය තන්ත්‍රයක් ගොඩ නැගිණි.

ඊළඟට චක්‍රවර්තී සීහනාද සූත්‍රයේ සඳහන් වන පරිදි යම් පාලකයකු අධාර්මික නම් ඔහුගේ ඇමැතිවරු අධාර්මික වෙති. ඇමැතිවරුන් අධාර්මික වන විට ඔවුන් යටතේ සිටින සේවකයෝ අධාර්මික වෙති. මෙලෙස සමස්ත සමාජය ම විනාශයට පත් වන අතර අවසානයේ ස්වාභාවික පරිසරයට ද මෙය බලපායි.

එම නිසා බුදුරජාණනන් වහන්සේ දේශනා කරනුයේ සතර අගතියෙන් තොර පාලනයක් ගැනය. ඒ සමඟ ම බුදුරජාණන් වහන්සේ දශ රාජ ධර්මයෙන් රටක් පාලනය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර තිබේ.

ඒ අනුව දශ රාජ ධර්මයෙන් රටක සාමය ආරක්ෂා කිරීම, මිනිසුන‍්ගේ අයිතිවාසිකම් රැකීම, ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම,යහතින් ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම,ස්ත්‍රී-පුරුෂ භේදයෙන් තොරව සමාජයේ එක හා සමානව ජීවත්වීමේ අයිතිය සුරැකීම, බලයට තිබෙන කෑදරකමින් තොරවීම යන ප්‍රතිපත්ති පිළිබඳ ව විධිමත්ව කතා කර තිබේ.

මේ අනුව බුදුරජානන් වහන්සේගේ දේශනා තුළ යහ පාලනය අලුත් දේශනාවක් නො‍ වේ. එය ලෝකයට මෙන් ම ලංකාවේ අපට ද අලුත් සංකල්පයක් වන්නේ නැත. බුදු දහම පිළිබඳ අවධානය යොමු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන මේ ධර්මයේ පවතින විශිෂ්ටතාව පිළිගෙන ඇත.

මේ අන්තර්ජාතික සංවිධාන අද ලෝකයට ගැ‍ලපෙන දහම බුදු දහම බවත් මෙහිදී ප්‍රකාශ කර තිබීම දක්නට ලැබේ. අල්ලස, දූෂණය, වංචාව, මැරකම ආදී අපරාධ නැති කිරීම මෙන්ම අනෙක් අතට යහපත් සමාජයක් ස්ථාපනය කිරීමට බුදු දහමේ උපයෝගීතාව පිළිබඳ ඔවුන් ප්‍රශංසා මුඛයෙන් කතා කරනු දක්න‍ට ලැබේ.

බුදු දහමේ පවතින මේ සුවිශේෂ තත්ත්වය මඟින් කියැවෙන යහපාලන සංකල්පය ගැන ලෝකයට තව දුරටත් ගෙන යෑමට මහඟු අවස්ථාවක් අපට ලැබී තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර්ජාතික වෙසක් දිනය මේ මැයි මාසයේ ලංකාවේ පැවැත්වීමට කටයුතු කර තිබීමෙනි.

ශ්‍රී ලංකා රජය ද මේ උත්සවය මහත් ඉහළින් පැවැත්වීමට කටයුතු කර තිබේ. මේ සඳහා ලෝකයේ රටවල් 85ක් පමණ සහභාගීවීමට නියමිත බව වාර්තා වී තිබේ. මේ හරහා අප රටට විශාල ප්‍රතිලාභයන් ද ලැබිය හැකි ය.

1- ලංකාව බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට පත් කර ගැනීම

2-ලෝක බෞද්ධ ජනයා ලංකාවට පැමිණීමෙන් බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් සංස්කෘතික බැඳීමක් ඇති කර ගත හැකි ය.

3- සංචාරක ව්‍යාපාරය දියුණුවට බලපානු ඇත.

4- සංහිඳියාව සවිමත් වනු ඇත.

මෙවැනි කාරණා සම්පූර්ණ වීමෙන් යහපාලනය යථාර්ථයක් බවට පත්වීමට මඟ පෑදෙනු ඇත.

අප රට ගත් විට පසුගිය කාලය පුරාවට විවිධ චෝදනාවලට ලක්වී තිබිණි. ජාතීන් අතර, ආගම් අතර, ජන කොට්ඨාස අතර, ගැටුම් පවතින බව අන්තර්ජාතිකව පිළිගෙන තිබිණි.

විවිධ ජන කොටස් අතර සංහිඳියාව අර්බුදයට ලක්වී තිබිණි. දැන් උදාවී පවතින අවස්ථාව එයට පිළිතුරු දීමට අවස්ථාවකි.

විශේෂයෙන් ම පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ලංකාව පිළිබඳ අන්තර්ජාතිකව ඇතිවෙමින් පවතින සුබවාදී ආකල්පය තවදුරටත් සවිමත් වීමට මෙය අවස්ථාවක් වනු ඇත‍. බුදුදහම මඟින් අනාවරණය කෙරෙන යහපාලන සංකල්පය ලොවට විදහා දැක්වීමේ අවස්ථාව දැන් ශ්‍රී ලංකාවට උදා වී ඇත.

මලික් චමින්ද ධර්මවර්ධන
සේයාරූ- සමන්ත වීරසිංහ 

Comments

Ey obalaa me gena nosoyaa thanathuru denna....Dr Walpola Rahula himitavath Prfessor kamam thibune netha. Pransa vishistha ugathekuvana Mohan wijerathna da Professor kenek noveeya....Me himiyan ta pransha hariyata katha karannatath nohekiya. mohu mahaachaarya vuuyei keseda....Sambhaavaniiya loka vishvana vidhYaalakata nigaa kiriima jaathika aparadhayakmaya.....Insulting to world famous reputed University....it is a tradgedy.....Why he lies this way very bad...??? Ask any body in france ???

සොර්බොන් මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි.... මෙබඳු මහාචාර්ය කෙනෙක් අපි දන්නා පරිදි සොර්බොන් සරසවියේ කවදාවත් සිට නැත. මෙය පට්ටපල බොරුවකි. අපේ මාධ්‍යයන් විමසා නොබලා මේවා පිළිගන්නේ ඇයි ? සොර්බොන් යනු ලෝකයේම සම්භාවනීය කීර්තිමත් සරසවියකි. මෙහි මහාචාර්ය කෙනෙක් වීමට ආචාර්ය උපාධි දෙකක් වත් තිබිය යුතුය. ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික උගතෙකුවූ ආචාර්ය වල්පොල රාහුල හිමිටවත් එබඳු තනතුරක් නොලැබිණ. උන්වහන්සේගෙන් පසු ප්‍රංශ පාඨකයන්ට බෞද්ධ ත්‍රිපිටකය ප්‍රංශයට පරිවර්තනය කර මහත් සේවාවක් කරණ. ප්‍රංශයේ සොර්බොන් සරසවියෙන් ම ආචාර්ය උපාධි දෙකක් ඇති මොහන් විජේරත්න වියතුන්ට ද කවදාවත් මෙබඳු තනතුරක් නොතිබිණ. ඔහු ප්‍රංශ කොලීජියෙහි මහාචාර්ය කෙනෙක් ලෙස සිට අද විශ්‍රාම සුවයෙන් සිටියි. මේ ලෙසට ලෝකය රවටන්නේ ඇයි...අපට උන්වහන්සේ සමග පෞද්ගලික විරසකයක් නැත. එහෙත් සොර්බොන් වැනි විශ්ව කීර්තිමත් ආයතනයක නම මෙසේ යොදා ගැණීම ගැන ප්‍රංශයේ වසන ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ඇත්තේ මහත් පිළිකුළකි. මීට අමතරව උන්වහන්සේ යුනෙස්කොවේ ආගමික උපදේශක යෙකු ලෙස නම් කර ගනිති. අපේ රටවල මෙන් එබඳු උපදේශකයන් පත් කිරීමක් ප්‍රංශයෙහි නැත. එයද පට්ට පල් බොරුවකි. මේවා ගැන විමසීමක් කර සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රී ලාංකික මාධ්‍ය බලධාරීනට අපි මෙයින් දන්වා සිටිමු ප්‍රංශයෙහි ශ්‍රී ලාංකික වියතුන්

පිටු